Featured Media Centre New Zealand tour of Sri Lanka 2019 News

නවසීලන්තය එකට එක කරයි

ලකුණු 187 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල හැර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට හෝ කඩුල්ලේ රැදී සිටීමට නොහැකි වීම මත කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ඉනිමක සහ ලකුණු 65 ක නොසිතූ පරාජයක් අද (26 දා) අත්වින්දේය. ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වුණු තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස නවසීලන්තය සමව අවසන් කර ගනු ලැබුවේ ජයග්‍රහණයේදී කණ්ඩායම්වලට පිදෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද 60-60 ලෙස සමාන කරගනිමිනි.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වුණු අද දිනයේදී පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට තිබුණේ අවස්ථා දෙකකි. එනම් ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිට යැවීමට නියමිත වූ පන්දුවාර 91 ක් තුළ සිය කඩුලු රැක ගැනීම හෝ ලකුණු 187 කට වඩා වැඩියෙන් ලබා ගැනීමය. තරගය පැවැති දින 5 න් 3 කදීම වර්ෂාවෙන් බාධා ඇති වුවද තරගය පැවැති කාල සීමාවේදී උපරිම ප්‍රයෝජනය ගත් නවසීලන්ත කණ්ඩායම විසඳුමක් පෙනෙන තෙක් මානයක නොතිබුණු තරගය ජයග්‍රහණය කරා පරිවර්තනය කර ගැනීම සැබැවින්ම ප්‍රශංසනීය විය.

කඩුලු 6 කට ලකුණු 431 ක් ලබා ඉනිම අත්හිටුවීමෙන් පසු පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අසාර්ථක වීම නිසා ඉනිම ආරම්භයම අසීරුවට පත්විය. එම තත්ත්වය ප්‍රයෝජනයට ගත් නවසීලන්ත පන්දු යවන්නෝ දිවා ආහාරයට ප්‍රථම ශ්‍රී ලංකා ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5 ම දවා ගනු ලැබුවේ ලකුණු 33 ක් ඇතුළතය.

පන්දු රැකීමෙන් වැළැකී සිටීම නිසා කඩුලු 5 ක් බිඳ වැටෙන තුරු පන්දුවට පහර දීම සඳහා පැමිණීමට නොහැකි වූ දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල සමඟ එක්වෙමින් දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් පහර එල්ල කරමින් දිවා ආහාරය තෙක් කඩුලු ආරක්ෂා කරගත්හ. දිවා ආහාරයෙන් පසු ලකුණු 41 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මොවුන් දෙදෙනා සමත්වූ නමුත් ටිම් සවුති ඊට හරස් විය. පිට ඉන්නට මඳක් ඈතින් වන්නට ආ පන්දුව නිදැල්ලේ යෑමට හැරියද කඩුල්ල තුළට දෝලනය වීම නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දිමුත් දැවී ගියේය. එම දැවී යෑම තෙවැනි විනිසුරුට යොමු කළද තීරණයේ වෙනසක් නොවීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන අත්නොහළ නිරෝෂන් දික්වැල්ල සුරංග ලක්මාල් සමඟ එක්වෙමින් තේ පානය තෙක් කඩුලු ආරක්ෂා කරගත්හ. සුරංග ලක්මාල් දැවී ගියද නවසීලන්ත නායකයාට තිබූ එකම ගැටළුව වූයේ දික්වැල්ල පිටියේ රැඳී සිටීමය. දවා ගැනීම වෙනුවෙන් නොයෙකුත් උපායන් යෙදූ නමුත් ඒ සියල්ලගෙන්ම පරෙස්සම් වූ දික්වැල්ල ඒ අතරතුරදී සිය 13 වැනි ටෙස්ට් අර්ධ ශතකයද සම්පූර්ණ කරගත්තේය. දික්වැල්ල වටා පන්දු රකින්නන් රඳවමින් පන්දු යැවූ පතෙල්ගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කළද එය ෂෝට් ලෙග්හි පන්දු රැකී ලේතම්ගේ දෑතේ සිරවීම මත කඩුලු රකින්නාගේ වටිනා ඉනිම නිමාවට පත්විය. අදාළ දැවී යෑමේදී මහත් කම්පනයට පත් වූ දික්වැල්ල පහර එල්ල කර අයුරින්ම බිම බලාගෙන සිටියේ ඉන් පසුවීමට යන දේ සිහි ගන්වමිනි. ඉන් පසු වූවේද එයයි. දික්වැල්ල දැවී යන විට ලකුණු 118 ක් ලෙසින් සටහන් වූ ශ්‍රී ලංකා ඉනිම 71 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී නිමාවට පත්වන විට ලකුණු 122 ක් වශයෙන් සටහන් විය.

දිමුත්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 250 සීමාව පසු කර ගිය සිව්වැනි පන්දු යවන්නා බවට පත්වූ සවුති ලකුණු පුවරුවට ලකුණු 02 ක් එක් වන අතර වාරයේදී ඩිල්රුවන් පෙරේරාවද දවා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 20 ක ඉනිම සමඟ ළහිරු තිරිමාන්න (00), කුසල් පෙරේරා (00), ඇන්ජලෝ මැතිව්ස් (07) සහ ධනංජය ද සිල්වා (01)  එකතුව රැස් කරකරන ලද්දේ ලකුණු 28 ක් පමණි. ෂෝට් මිඩ් විකට් කළාපයේ පන්දු රැකිමින් සිටි අජාස් පටේ‍්‍ල් පන්දුව රැගෙන පන්දු යවන්නනාගේ අන්තයට කෙළින්ම දමා ගැසීම නිසා ළහිරු තිරිමාන්න පළවැන් පන්දුවාරයේම දැවී ගිය අතර ඉන් පන්දුවාර 2 කට පසු පිට ඉන්නෙන් ඈතට ඇදී ගිය පන්දුවට එළවා පහරක්  එල්ල කිරීමට යෑමෙන් කුසල් පෙරේරාගේ ඉනිම හමාර විය. මොවුන් දෙපළම පිටියෙන් ඉවත් වන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ කුසල් මෙන්ඩිස් එල්ල කරන ලද හතරේ පහර පමණි.

දිනය ආරම්භයේදීම පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළද තවත් පන්දුවාර 5 ක් ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවෝ පළමු ඉනිමේ වාසිය ලකුණු 187 දක්වා ඉහළ දමා ගත්හ. ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමේ තීරණය නිසා ලකුණු 80 සීමාවේ රැදී සිටි බී. ජේ. වොට්ලින් සහ ඩි ග්‍රෑන්ඩ්හෝම්ට ශතක ලබා ගැනීම සඳහාද අවස්ථාව විවර වූ නමුත් ඉන් ප්‍රයෝජනය ලබා ගැනීමට සමත්වූයේ වොට්ලින් පමණි.

දිනය ආරම්භයේ යවන ලද දෙවැනි පන්දුවෙන්ම ඩි ග්‍රෑන්ඩ්හෝම්ව දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්විය. එල්ල කරන ලද ස්වීප් පහරක් ඩීප් ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ළහිරු කුමාරගේ දෑත් අතර සිරවීමෙන් ඩි ග්‍රෑන්ඩ්හෝම් පිටියෙන් ඉවතට ගියේ ඔහුගේ මෙන්ම නවසීලන්ත ලකුණු පුවරුව ද ක්‍රියාත්මක වීමටත් මත්තෙන්ය. පෙර දිනයේ වේගයෙන් පන්දුවට පහර දුන් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලබා ගත් ලකුණු 83 සඳහා පන්දු 77 කට පමණක් මුහුණ දුන්නේය. දැවැන්ත හයේ පහර 5 කින් සැරසුණු ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ ඉනිමට තවත් හතරේ පහර 5 ක්ද ඇතුළත්විය.

ගාල්ලේ පැවැති තරගයේදී දෙවැනි ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ බී. ජේ. වොට්ලින් ගාල්ලේදී ලබාගැනීමට නොහැකි වූ ශතකය කොළඹදී ලබා ගත්තේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි ශතකයට හිමිකම් කියමිනි.  හෝරා 5 කට වැඩි කාලයක් කඩුල්ලේ රැඳෙමින් පන්දුවට පහර දුන් වොට්ලින් ලකුණු 105 ක් ලබා ගත්තේය. නවසීලන්ත ඉනිම අත්හිටුවන විටත් තම කඩුල්ල ආරක්ෂා කරගත් හේ මුහුණ දුන් පන්දු 226 න් අවස්ථා 9 කදී හතරේ සීමාවේ එපිටට පන්දුව යැවීමට සමත්වී තිබිණ.

ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ටිම් සවුති වේගවත් ඉනිමක දියත් කරමින් නවසීලන්ත පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළේය. නවසීලන්ත ඉනිම අත්හිටුවීමට පෙර ලසිත් ඇඹුල්දෙණිය විසින් යවන ලද පන්දුවාරයේ අවසන් පන්දු 2 ට පිට පිටම හයේ පහර 2 ක් එල්ල කළ සවුති තවත් හතරේ පහර 2 ක් ද සමග පන්දු 10 කදී ලකුණු 24 ක් ලබා ගත්තේය.

පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කරන ලද ටොම් ලේතම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි/20 තරගාවලිය ලබන සැප්තැම්බර් මස 01 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 03 වැනිදා සහ තෙවැනි තරගය 06 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. එම තරගාවලියට ප්‍රථම නවසීලන්ත පිල එක් විස්සයි/20 පුහුණු තරගයකට ලබන 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත.

Related posts

සටනකින් තොරවම නිමාවු තරගාවලියක්

Web Admin

SLC to dedicate 3rd ODI vs Bangladesh on behalf of fast bowler Nuwan Kulasekara

Web Admin

“ආදායම් උපයන සැලසුම් අපි සතුයි” -ක්‍රිකට් සභාපති

Chamila Karawita