Featured Media Centre New Zealand tour of Sri Lanka 2019 News

නවසීලන්ත ඉදිරි පෙළ අකිල වනසයි

චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට

වසරකට ආසන්න කාලයකට පසු ටෙස්ට් පන්දුව අතට ගත් අකිල ධනංජයගේ සුපිරි පන්දු යැවීම ප්‍රධාන කොට ටෙස්ට් ලෝක ශූරතාව යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (14 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගය අයහපත් කාලගුණය හේතුවෙන් පළමු දිනට අත හැර දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 5 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඕවර 68 කට සීමා වුණු දිනයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සාර්ථක ඵල නෙළා ගනිද්දී ධෛර්යවන්ත ලෙසින් පන්දුවට පහර දුන් රොස් ටේලර් ප්‍රමුඛ  පිතිකරුවෝ ලකුණු 203 ක් දක්වා නවසීලන්ත ලකුණු පුවරුව ඔසවා තැබූහ.

දැවී ගිය කඩුලු 5 ම හිමිකරුවා බවට අකිල ධනංජය පත් වද්දී නවසීලන්තය වෙනුවෙන් සටන අත් නොහළ රොස් ටේලර් තරගය නිමා කරන විට පන්දු 131 කට මුහුණ දී ලකුණු 86 ක් ලබා සිටියේය. මෙය ටේලර්ගේ ටෙස්ට් තරග දිවියේ 32 වැනි සහ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වුණු 5 වැනි අර්ධ ශතකය වන්නේය. අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් මිචෙල් සැන්ට්නර්ද පන්දු 21 කදී ලකුණු 08 ක්ද ලබා දෙවැනි දිනය වන හෙට (15 දා) දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටියි.

ලකුණු 07 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනකුම දැවී යද්දී සිය පරිණත භාවය මැනවින් ප්‍රයෝජනයට ගෙන රොස් ටේලර්, හෙන්රි නිකල්ස් සමඟ එක්ව ලකුණින් ලකුණ රැස් කරමින් නවසීලන්ත ඉනිම ගොඩ ගැනීමේ වෑයමක නිරත වූහ. අවසානයේ ශතක සම්බන්ධතාවයක් ලෙසින් එම සම්බන්ධතාව පරිවර්තනය වන තෙක් බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්විය.

දිවා ආහාරයත් තේ පානයට පන්දුවාර දෙකක් ඉතිරිව තිබෙන තෙක් ගොඩනැංවුණු ලකුණු 100 ක සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවද අකිලගේ පන්දු යැවීම හමුවේ නිමාවට පත්විය. හෙන්රි නිකල්ස් එල්ල කරන ලද ස්වීප් පහර වැරදී යෑමෙන් එය කඩුල්ල මුවා කර අවස්ථාවක් බවට විනිසුරුවරයා සංඥා කළද ඒ පිළිබඳව සෑහීමකට පත් නොවුණු පිතිකරු එය තෙවැනි විනිසුරුවරයා දක්වා යොමු කරවීය. එහෙත් ප්‍රතිඵලයේ වෙනසක් නොවීය.

නිකල්ස්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිස් බී.ජේ. වොට්ලින්ටද පිටියේ ස්ථාවර වීමට අවස්ථාව නොදුන් අකිල ඊළඟ ඕවරයේදී ඔහුවද කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කර ගනිමින් තම කඩුලු 5 සම්පූර්ණ කරගත්තේය. අකිලගේ ටෙස්ට් තරග දිවියේ 6 වැනි තරගයට පත්වූ මේ තරගය වන විට කඩුලු 5 කට හෝ ඊට වැඩියෙන් දවා ගනු ලැබූ සිව්වැනි අවස්ථාව ලෙසින්ද මෙම පන්දු යැවීම සටහන් විය.

වොට්ලින් දැවී යෑමත් සමඟම තරගය තේ පානය සඳහා නවතා දැමුණු අතර නැවත ප.ව. 3 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබිණ. එහෙත් ගාලු අහස් කුස කළු කරමින් පැමිණි වැහි වළාව හේතුවෙන් වැසි ආවරණ වලින් පිටිය ආවරණය කිරීමට ක්‍රීඩාංගණයේ සේවක පිරිස කටයුතු යෙදුවද බලාපොරොත්තු වූ අයුරින් වර්ෂාවෙන් බාධා නොපැමිණියේය. කෙසේ වෙතත් මිනිත්තු 13 ක කාලයක ප්‍රමාදයකින් පසු තරගය යළිත් ආරම්භ විය.

එංගලන්තයට එරෙහිව පසුගිය වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවන ලද තහනමින් පසු සිය පන්දු යැවීමේ ඉරියව්ව යළිත් නවීකරණය කර ගැනීමට අකිලට සිදුවිය. නවීකරණය කර ගැනීමෙන් පසු අකිල ක්‍රීඩා කරන ලද පළමු තරගයේදීම අකිල මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වීම කැපී පෙනෙයි.

සිව්වැනි ඉනිමේ පන්දුවට පහර දීමේ අවධානමෙන් වැළකීමේ අරමුණ ඇතිව කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් කෙසේ නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් මෙල්ල කර දැමුවේද කිවහොත් පළමු පන්දුවාර 5 අවසනදී ඔවුන්ට ලබා ගැනීමට ඉඩ සලස්වා දුන්නේ ලකුණු 03 ක් පමණි. පන්දු යැවීමේ රිද්මය, පැයට කිලෝ මීටර 140 ට අධික වේගය සහ ඊට සරිලන දෝලනය ද සමඟ පන්දු යැවූ සුරංග ලක්මාල් සහ ළහිරු කුමාරගේ පන්දු හමුවේ නවසීලන්ත පිතිකරුවන් කීප අවස්ථාවකදීම අසීරුතාවයන් වලට මුහුණ දුන්නද ඒ හැම අවස්ථාවකම වාසනාව ප්‍රතිවාදී පිතිකරුවන් සතු විය.

හය වැනි පන්දුවාර ක්‍රියාත්මක කළ ළහිරු කුමාරගේ පළමු පන්දුව හතරේ සීමාවට යන තෙක්ම එකම හතරේ පහරක් එල්ල නොවුණු නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් එක් කිරීමට ජීත් රවාල් සහ ටොම් ලතම් සමත්වූහ. 08 වැනි පන්දුවාරයේදී පන්දු යැවීමට පැමිණි අකිල පළමු අවස්ථාවේදී එතරම් සාර්ථක වීමට නොහැකි වූ නමුත් පන්දුවේ ඔපය හීන වීමත් සමඟ පන්දු යවන ලද අන්තය මාරු කරමින් පන්දු යැවීමට පැමිණි අකිල ප්‍රථමයෙන්ම ටොම් ලතම්ව ද තවත් පන්දු 3 කට පසු නවසීලන්ත ඉනිමේ වටිනාම කඩුල්ල බවට පත්වූ නායක කේන් විලියම්සන්වද දවා ගත්තේය.  තියුණු ලෙස දඟ කැවුණු පන්දුවට පිත්ත පමණක් හුවා දැක්වීම හේතු කොට ලතම් ලකුණු 30 කට දැවී ගිය අතර පන්දුව තල්ලු කර යැවීමට කරන ලද උත්සාහයේදී එය සිලි මිඩ්ඕන් කළාපයේ පන්දු රැකි දිමුත් කරුණාරත්න විසින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම නිසා විලියම්සන් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.

ප්‍රධාන පිතිකරුවන් දෙදෙනකු දැවී ගියද තම අන්තය ආරක්ෂා කරගත් ජීත් රවාල් රොස් ටේලර් සමඟ එක්ව දිවා ආහාරය වන තෙක් කඩුල්ල ආරක්ෂා කර ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද දිවා ආහාරයට පෙර යවන ලද අවසන් පන්දුවාරයේදී අකිලගේ තෙවැනි ගොදුර බවට පත් වෙමින් ජීත් රවාල් පිටියෙන් ඉවත් විය.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ලකුණු සාරාංශය – නවසීලන්තය පන්දුවාර 68 කදී 203/5 යි – (රොස් ටේලර් (නොදැවී) 86, හෙන්රි නිකල්ස් 42, ජීත් රවාල් 33, ටොම් ලතම් 30, කේන් විලියම්සන් 00, බී.ජේ. වොට්ලින් 01, මිචෙල් සැන්ට්නර් 08, අකිල ධනංජය 57/5)

Related posts

Praveen Jayawickrama’s fairytale entry could hit jackpot for ICC Player of the Month Award

Web Admin

LiCC to continue as ‘Official Casual Clothing Sponsor of Sri Lanka Cricket’ for another three years

Web Admin

පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක

Web Admin