Featured Media Centre New Zealand tour of Sri Lanka 2019 News

විස්සයි/20 පුහුණු තරගයේ ජය නවසීලන්තයට

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැති විස්සයි/20 පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව ලකුණු 33 ක ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන සැප්තැම්බර් 01 වැනිදා ඇරඹෙන තරග 3 කින් සමන්විත විස්සයි/20 ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (29 දා) ලබා ගත්තේය.

තරග 3 කින් සමන්විත විස්සයි/20 තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමි පළමු හා එකම විස්සයි/20 තරගය වූ මේ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ලකුණු 169 ක ඉලක්කයක් ලබා දුන් නමුත් ඊට පිළිතුරු ලෙස  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී ලබාගත හැකි වූයේ කඩුලු 9 කට ලකුණු 135 ක් පමණි.

ඉෂ් සෝධි විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේදීම ලකුණු 11 ක් උදුරා ගනිමින් ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත් වුවත් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 24 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී යෑම මෙම ලකුණු සංඛ්‍යාව කරා යෑමට නොහැකි වීමට ප්‍රධානම හේතුව බවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ විනාශ කර දැමූ පන්දු යවන්නා බවට පත්වූ වේග පන්දු යවන ස්කොට් කුග්ලයින් ප්‍රථමයෙන්ම සධීර සමරවික්‍රමගේ කඩුල්ලද අනතුරුව ධනුෂ්ක ගුණතිලකවද දවා ගනිමින් සිය කඩුලු දඩයම ඇරඹීය. මුලු ලකුණු සංඛ්‍යාව 37  සටහන් වද්දී කුග්ලටින් විසින් නායක අශාන් ප්‍රියන්ජනද මිචෙල් සැන්ට්නර් විසින් ඇන්ජලෝ පෙරේරාවද දවා ගැනීම සමත්වීම නිසා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල තවත් අසරණ භාවයට පත්විය.

පස්වැනි කඩුල්ලට එක්වූ භානුක රාජපක්ෂ සහ ෂෙහාන් ජයසූරිය පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට යම් සහනයක් රැගෙන ඒමට සමත්වූහ. එහිදී භනුක පන්දු 23 කදී ලකුණු 22 ක්ද ෂෙහාන් ජයසූරිය පන්දු 25 කදී ලකුණු 26 ක්ද රැස් කළහ. මොවුන් දෙදෙනාම සිය ඉනිමට එක් හයේ පහර බැගින් එල්ල කරද්දී ෂෙහාන් හතරේ පහර 2 කින්ද භානුක තවත් හතරේ පහරකින්ද සිය ඉනිම සරසා ගත්තේය.

මැද පෙළින් පැමිණි දසුන් ශානක හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 11 කදී වේගවත් ලකුණු 25 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගෙන් නොලැබුණු වේගය දිගින් දිගටම පවත්වාගෙන යෑමට උත්සාහ දරද්දී සැන්ට්නර්ගේ ගොදුරක් ලෙසින් දසුන් දැවී ගියේය. විස්සයි/20 තරගාවලිය සඳහා නම් කරන ලද වනිඳු හසරංග කුග්ලයින්ගේ අවසන් ගොදුර ලෙසින් මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියේය. නවසීලන්ත ඉනිමේ හොඳම පන්දුයවන්නා වූ කුග්ලින් පන්දුවාර 4 කදී ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගනිමින් ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වයක් දැක්වීය. ප්‍රථම පන්දුවාරයේදීම දැඩි ප්‍රහාරයට ලක්වීම මත 12 වැනි පන්දුවාරය තෙක් පන්දු යැවීමට නොහැකි වූ ඉෂ් සෝධිද කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

නවසීලන්ත ඉනිම ඇරැඹි මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක් එක් කරන ලද්දේ පන්දු 48 කට මුහුණ දෙමිනි. විස්සයි/20 තරගාවලියේ සිට කණ්ඩායමට එක්වූ මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ අතර පළමු කඩුල්ලට සාර්ථක සම්බන්ධතාවයක් එක් කළද මුන්රෝට සාපේක්ෂව එතරම් විශ්වාසත්වයක් ගොඩනගා ගැනීමට ගප්ටිල් අසමත්විය.

විස්සයි/20 රිද්මයට අනුගතය වෙමින් පිටිය පුරා පහර එල්ල කළ මුන්රෝ ලකුණු 48 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට අවස්ථාව දීමේ අදහසින් සිය ඉනිම අතහැර පිටියෙන් ඉවතට ගියේය. ඒ වන විටත් පන්දු 27 කට පමණක් මුහුණ දී සිටි මුන්රෝ තම ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 7 කින් වර්ණවත් කරගෙන තිබුණි.

මුන්රෝගේ පිටව යෑමත් සමඟ ලකුණු පුවරුවට ලකුණු 12 ක් එකතුවන අතර වාරයේ නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙකු දවා ගත් ෂෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංග නවසීලන්ත ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කිරීමට සමත්වූහ. ෂෙහාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා මාටින් ගප්ටිල්ට පිටියෙන් ඉවත්ව ගියේය. වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවකු ලෙස නම් දරා සිටින ගප්ටිල් දැවී යන විට ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව, මුහුණ දී තිබුණු පන්දු සංඛ්‍යාව වඩා වැඩි වීම කැපී පෙනිණි. හයේ පහර 2 ක් ද ඇතුළත්වුණු ගප්ටිල්ගේ ලකුණු 22 කින් සමන්විත ඉනිම සඳහා හේ පන්දු 24 කට මුහුණ දී තිබුණි.

ගප්ටිල්ගේ දැවී යෑමෙන් පසු ටිම් සීෆර්ට් දවා ගත් වනිඳු හසරංග තම දෙවැනි කඩුල්ල වශයෙන් ටොම් බෲස්ව ද දවා ගත්තේ මුලු ලකුණු සංඛ්‍යාව 105 ක්ව සටහන්ව තිබියදීය. ළඟ ළඟ කඩුලු දැවී ගියද නෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පළපුරුදු පිතිකරු රොස් ටේලර් වේගයෙන් පන්දුවට පහර දුන් බැවින් පන්දුවාරයකට ලකුණු 10 ක වේගයක් රඳවා ගැනීමට නවසීලන්ත පිලට හැකියාව ලැබිණ.

වැඩිම ලකුණු ලාභියා වූ රොස් ටේලර් පන්දු 34 කදී ලකුණු 53 ක් ලබා නවසීලන්ත ඉනිමේ පන්දුවාර සංඛ්‍යාව අවසන් වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේය. තරගය පැවැති කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය වටා හයේ පහර 4 ක් එල්ල කළ එල්ල කළ ටේලර්ගේ ඉනිමට එකම හතරේ පහරක් හෝ ඇතුළත් නොවීම විශේෂත්වයක් විය.

දෙරට අතර පැවැත්වෙන විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන සැප්තැම්බර් මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය නවසීලන්ත පිල පන්දුවාර 20 කදී 168/6 යි – (කොලින් මුන්රෝ 48, මාටින් ගප්ටිල් 22, ටොම් බෲස් 13, රොස් ටෙර්ලර් 53* ස්කොට් ගුග්ලින් 13* වනිඳු හසරංග 35/2, ෂෙහාන් ජයසූරිය 07/1, කසුන් රජිත 23/1)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පන්දුවාර 20 කදී 135/9 යි – (ෂෙහාන් ජයසූරිය 26, දසුන් ශාන්ක 25, භානුක රාජපක්ෂ 22, ධනුෂ්ක ගුණතිලක 19, ලක්ෂාන් සඳකැන් (නොදැවී) 13, ළහිරු මධුශංක 12, ස්කොට් කුග්ලින් 19/4, ඉෂ් සෝධි 43/3, මිචෙල් සැන්ට්නර් 23/1, ඩැරල් මිචෙල් 11/1)

Related posts

කොදෙව්වන්ට එරෙහි විස්සයි-20 ශ්‍රී ලංකා සංචිතයේ වෙනස් කම් 3 ක්

Web Admin

කොදෙව් පළමු ඉනිම 354 න් නවතියි

Chamila Karawita

Sri Lanka focused to play its brand of cricket – Coach Mickey Arthur & Dimuth

Web Admin