Featured Media Centre News Sinhala Column

සුභදායී ආකල්ප සමඟ කාන්තා පිල ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ඇති ප්‍රධානම අභියෝගය බවට පත්ව ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමය. ඒ සඳහා වූ සුදුසකම් ලැබීමේ තරගාවලිය මේ වන විටත් ක්‍රියාත්මක වන අතර එහි එක් කඩ ඉමක් වන ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා පිල ලබන 22 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. 

මෙම සංචාරය යටතේ ශ්‍රී ලංකා පිල එක්දින තරගාවලියට අමතරව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකටද සහභාගිවීමට නියමිතය. තරගාවලියට පිටත්ව යන කණ්ඩායමට නායිකාවන් දෙදෙනකු ඇතුළත් වීම විශේෂත්වයකි. මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් සඳහා වෙන වෙනම නායිකාවන් දෙදෙනෙකු කටයුතු කරනු ලබන පළමු තරගාවලිය ලෙසද මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත. එහිදී එක්දින තරගාවලිය හිටපු නායිකාවක වන ශෂිකලා සිරිවර්ධන විසින්ද විස්සයි-20 තරගාවලිය හිටපු නායිකාවක වන චමරි අතපත්තු විසින්ද මෙහෙයවනු ලබති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකාරිණිය වන චමරි අතපත්තුගෙන් නායකත්වයේ පීඩනය ඈත් කිරීමේ අරමුණ ඇතිව තේරීම් කමිටුව මෙම තීරණයට එළැඹි බව කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටි කාන්තා ප්‍රධාන පුහුණුකරුවා, “අපි බැලුවොත් ලෝකයේ අනිත් කණ්ඩායම් මේ ආකාරයටම අත්හදා බැලීම් සිදු කරනවා. ඒකට ලොකුම හේතුව වෙන්නේ නායකාවට එහෙමත් නැත්නම් නායකයාට නායකත්වය කියන්නේ ලොකු පීඩනයක් තියෙන නිසා. විශේෂයෙන් තරග දිනන්න වගේම තමන්ගේ පෞද්ගලික දක්ෂතා වැනි දේවලින්. චමරි කියන්නේ අපිට ඉතාමත් වැදගත් ක්‍රීඩිකාවක්. ඒ නිසා අපි හිතුවා ලබන වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන තෙක් චමරිව නිදහස දෙන්න අවශ්‍යයි කියලා. අතපත්තුට අවස්ථාව දෙන්න ශෂිකලාත් (සිරිවර්ධන) කැමැති වුණා. මේ හරහා ඇයට එයාගේ පෞද්ගලික, ශ්‍රේණිගත කිරීම් සහ පෞද්ගලික ඉලක්කවලට යන්න අවස්ථාව සැලසෙනවා”යි පැවැසීය.

දෙරට අතර විස්සයි-20 තරගාවලිය ලබන 29 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකා පිල 27 වැනි දා පුහුණු තරගයට සහභාගිවීමට නියමිතව තිබේ. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන ප්‍රධානම තරගාවලිය වන එක්දින තරගාවලිය ලබන ඔක්තෝබර් මස 05 වැනිදා බ්‍රිස්බේන්හිදී ආරම්භ වේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් මීට පෙර ඔස්ට්‍රේලියාව සමඟ එක්දින තරගවලදී ක්‍රීඩා කර ඇතත් ද්වී පාර්ශ්වික තරගාවලියකට සහභාගිවනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.

ලෝකයේ අංක 1 එක්දින කණ්ඩායම වන ඔස්ට්‍රේලියානු කාන්තා පිල සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ අද (20 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා එක්දින නායිකාව වන ශෂිකලා සිරිවර්ධන, ලෝක කුසලාන තරගාවලියට පෙර ඔස්ට්‍රේලියාව සමඟ ඔස්ට්‍රේලියාවේදීම තරග වැදීමට අවස්ථාව හිමිවීම තම කණ්ඩායමට ඉතා හොඳ අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියාය.

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් වරට ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයකට සහභාගිවී ඇත්තේ ඉකුත් 2009 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී වන අතර එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව පුහුණු තරගයකදී ඔස්ට්‍රේලියානු පිල මුණ ගැසී තිබේ. එම තරග සංචාරයට සහභාගි වුණු සාමාජිකාවන්ගෙන් ක්‍රීඩිකාවන් තිදෙනෙකු වත්මන් කණ්ඩායමට ඇතුළත්ව සිටිති. නායිකා ශෂිකලා සිරිවර්ධන, උද්ශිකා ප්‍රබෝධනී සහ ඩිලානි මනෝදරා එම ක්‍රීඩිකාවෝ වෙති.

“අත්දැකීම් එක්ක බැලුවොත් අපිට වඩා ඔවුන්ගේ අත්දැකීම් වැඩියි. නමුත් උදේශිකා, ඩිලානි සහ මම ඒ තරගාවලිය ක්‍රීඩා කරපු අය. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩ සටහනත් එක්ක අනිත් ක්‍රීඩිකාවන්ටත් ගොඩක් හොඳ රටවල් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා”.

“දක්ෂතාවය සහ හැකියාව ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී වුණු අඩු පාඩු තමයි තිබුණේ. ඒ දේවල් ගැන අන්තිම කාලේ අපි ගොඩක් අවධානය යොමු කළා. අපි බාලපොරොත්තු වෙනවා ඒ කරපු සැලසුම් එක්ක එදා දවසේ හොඳන් ක්‍රීඩා කරන්න”යි ශෂිකලා පවසයි.

විස්සයි-20 නායිකා චමරි අතපත්තුද පවසන්නේ ඔස්ට්‍රේලියානු තත්ත්වයන් උඩ මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට සිදු වුවත් එදා දිනයේ හොඳින් තරග වැදුණහොත් ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දීමේ හැකියාව තම කණ්ඩායමට පවතින බවයි.

“ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ හොඳම කණ්ඩායම. ඔවුන්ගේ දේශීය තත්ත්වයන් යටතේ සෙල්ලම් කරන එක ලේසි නෑ. ඒත් විස්සයි-20 තරග කියන්නේ පොඩි කණ්ඩායමක් වුණත් උඩ ඉන්න කණ්ඩායමක් පරාජය කරන්න පුලුවන්. මොකද ඕවරයකින් දෙකකින් තරගය වෙනස් වෙන නිසා. ඒ වගේම මට හොද කණ්ඩායමක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ තරගාවලිය ලබන වසරේ තියෙන ලෝක කුසලාන තරගාවලියටත් හොඳ පෙරහුරුවක් ලබාගන්න හොඳ අවස්ථාවක්” යි චමරි පවසන්නීය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – ශෂිකලා සිරිවර්ධන (නායිකා), හර්ෂිතා මාධවී, චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී, හන්සිමා කරුණාරත්න, යශෝධා මෙන්ඩිස්, නිලක්ෂි ද සිල්වා, ඩිලානි මනෝදරා, ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා. අතිරේක – හසිනි පෙරේරා, ප්‍රසාදිනී වීරක්කොඩි, සත්්‍යා සංදීපනී, සචිනි නිසංසලා, මදුශිකා මෙත්තානන්ද.

විස්සයි-20 කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී, ශෂිකලා සිරිවර්ධන, අනුශ්කා සංජීවනී, හන්සිමා කරුණාරත්න, යශෝධා මෙන්ඩිස්, නිලක්ෂි ද සිල්වා, ඩිලානි මනෝදරා, ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා. අතිරේක – හසිනි පෙරේරා, ප්‍රසාදිනී වීරක්කොඩි, සත්‍යා සන්දීපනී, සචිනි නිසංසලා, මධුශිකා මෙත්තානන්ද.

Related posts

ක්‍රිකට් නැතිව බලපෑමට ලක්වූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහන

Web Admin

දික්වැල්ලගේ ආබාධය බරපතල නෑ

Web Admin

23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන ගමන අරඹයි

Chamila Karawita