Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019

විශ්වාසය කැටි කොට සිංහ රැළ අද විස්සයි-20 සටන අරඹයි

කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා – දසුන් ශානක

Chamila Karawita Reporting from Lahore

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලි 2-0 ක් ලෙස ජයගෙන සිටින සත්කාරක පාකිස්තානු පිල එම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව නැවතත් මුණ ගැසෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අද(05 දා) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත.

එක්දින තරග 2 ම පරාජයට පත් වුණු නමුත්, එම තරගවලදී පාකිස්තානය ජය ගනු ලැබුවේ සටනක් ලබා දෙමිනි. විටෙක ශ්‍රී ලංකාව දෙසටද තරගයේ වැඩි වාසි දෝලනය වූ නමුත් ක්‍රීඩකයින් අතින් සිදුවූ සුළු සුළු අඩුපාඩු එම පරාජයන්ට හේතු විය. එබැවින්  හෙටින් ඇරඹෙන විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව සිය උපරිම පාකිස්තානය යොදවනු ඇත.

එක්දින තරගාවලිය අවසානයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03 වැනිදා) කරච්චි සිට ලාහෝර් බලා පැමිණි නමුත් එදින ගමනාගමනය සඳහා වෙන්ව තිබිණ. කරච්චිහිදී ලබා දුන් ආරක්ෂාවට වඩාත් වැඩි ආරක්ෂාවක් ලාහෝර්හිදී ලබා දීමට පාකිස්තානු රජය කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. එවන් දැඩි ආරක්ෂක වැඩසටහන් මධ්‍යයේ ශ්‍රී ලංකා පිල මෙන්ම පාකිස්තානු පිල ගාඩාෆි ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වල නිරත වූහ. එහිදී පාකිස්තානු පිල සවස් යාමයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම විදුලි ආලෝක ධාරා මධ්‍යයේද සිදු කළහ.

කණ්ඩායම් වල ශක්තිය ගෙන බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු පිල ඉදිරියෙන් සිටියද විස්සයි-20 තරග අංශයේදී ඕනෑම අවස්ථාවක තරගය වෙනස් විය හැකි බැවින් කණ්ඩායම් සංසන්දනය කිරීම ඵල රහිතය.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා පිල හෙට තරගාවලියට අවතීර්ණ වන්නේ නව නායකයකු වන දසුන් ශානකගේ නායකත්වය යටතේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම තරග අංශයේ 10 වැනි නායකයා බවට පත්ව සිටින දසුන් ශානක නායකත්වය ලැබීම පිළිබඳව අදහස් දක්වමින්, “ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරනවා කියන්නේ ලොකු වගකීමක්. ඒ වගේම සතුටක්. නායකයකු විදියට මට ලැබුණ ලොකු අවස්ථාවක්. කණ්ඩායක් විදියට හොඳ සූදානමකින් පසු වෙනවා. නවක ක්‍රීඩකයින් එක්ක ක්‍රීඩා කරන්න වෙලා තිබුණත් තියෙන අත්දැකීම් උපරිම ලෙස යොදාගනිමින් හොද තරගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා”යි පැවැසීය.

“පාකිස්තානය ගත්තහම මෑත කාලයේ ඔවුන් උපරිම දක්ෂතා අතර ඉන්න කණ්ඩායමක් විදියට හඳුන්වන්න පුලුවන්. අපේ කණ්ඩායමේ කිසියම් පසුබෑමක් පෙන්නුම් කළාත් පාකිස්තානයට ඇවිල්ලා තරග වැදුණු තරග 2 න් ඔවුන්ව පරාජය කිරීමේ හැකියාව තියෙනවා කියලා අපි පෙන්නුවා. ඒ අනුව මං හිතනවා නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත වුණත් අපි හොඳ තරගයක් දීලා ඔවුන්ව පරාජය පත් කරන්න පුලුවන් කියලා. ලොකු විශ්වාසයක් තියෙනවා මගේ කණ්ඩායම ගැන”යි පවසන ශානක වැඩිදුරටත් අදහස් දක්වමින්, “ඇත්තටම මම කියන්න ඕන කණ්ඩායමක් විදියට මේ කට්ටිය ගොඩක් එකතුයි. ඔවුන්ගේ එකමුතු භාවය තරගයක් ජයග්‍රහණය කරන්න සෑහෙන වටිනවා. මම හිතනවා අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් මේ තරගාවලියේදී කරන්න පුලුවන් වෙයි කියලා”යි පවසයි.

හෙටින් ඇරඹෙන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි වගකීමක් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, නායක දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරියමත පැටවී තිබේ. අවසන් වුණු එක්දින තරගාවලියේදී පිතිකරුවන් ලෙස කැපී පෙනුණු මෙම පිතිකරුවන් තිදෙනා අතරින් ධනුෂ්ක ගුණතිලක තෙවැනි තරගයේදී ලකුණු 133 ක් ලබා ගනිමින් පිතිකරණ අංශයෙන් කැපී පෙනුණි. සෙසු ක්‍රීඩකයන් දෙපළ වුණු ශානක සහ ෂෙහාන් දෙවැනි තරගයේදී අර්ධ ශතක වාර්තා කර ගනිමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා ගත සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

අංක 3 පිතිකරු ස්ථානයේ අවිශ්ක ප්‍රනාන්දුද පිතිකරුවකු වශයෙන් ස්ථාවර වීමට නම් දක්ෂතා අතරට පැමිණීම අනිවාර්ය වනු ඇත. පැවැති තරගවලදී පිතිකරණ අංශයෙන් එතරම් දුර්වලතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිස් නොවුණත් පන්දු යැවීම සම්බන්ධවනම් ඇත්තේ තද බල දුර්වලතාවයකි. නවීකරණයට ලක්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු පාලනයට වඩා වැදගත් තාවයක් ගනු ලබන්නේ කඩුලු දවා ගැනීම වුවත් කඩුලු දවා ගැනීමට තරම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තවමත් තෙම්පරාදු වී නොමැති වීම ශ්‍රී ලංකාව මුහුණ දෙන තද බල අභියෝගයකි.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග පන්දු යැවීමේ අංශයේ ප්‍රධානියා වුවත් මෙම තරගාවලියට ඔහු සහභාගිවී නොමැති බැවින් කඩුලු දවා ගත හැකි පන්දු යවන්නකු ලෙස කටයුතු කිරීමේ වගකීම නිතැතින්ම නුවන් ප්‍රදීප් ඇතුළු වේග පන්දු යවන්නන්ගේ කර මතට පත් වනු ඇත. දඟ පන්දු යැවීමෙන් මෙතෙක් කල් කඩුලු දවාගත හැකි පන්දු යවන්නාගේ චරිතයට පණ පෙවූ අකිල ධනංජයද කණ්ඩායමේ නොමැති බැවින් එහි වැඩි වගකීමක් ලක්ෂාන් සඳකැන් වෙත පැවැරී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වා සිටින කණ්ඩායම් නායක දසුන් ශානක දරන්නේ වෙනම මතකයකි. ඔහු පවසා සිටින්නේ නවසීලන්තය සමඟ පැවැති විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කරන ලද කණ්ඩායමෙන් ඉවතට ගොස් සිටින්නේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණක් බැවින් ඔවුන් තිදෙනාගේ දක්ෂතා ආවරණය වන අයුරින් ක්‍රීඩකයන් ආදේශ කරමින් තරග වැදීම අපේක්ෂාව බවයි.

“අන්තිම විස්සයි-20 තරගයට ක්‍රීඩා කරපු කණ්ඩායමෙන් එළියට ගිහිල්ලා ඉන්නේ ක්‍රීඩකයින් 3 දෙනෙක් විතරයි. ලසිත් මාලිංග, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල විතරයි නැත්තේ. අපි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ ඔවුන් තිදෙනාට ක්‍රීඩකයින් ආදේශ කරන්නයි. මොකද ඉදිරියේදී ලෝක කුසලාන තරගාවලිය තියෙන හින්දා ලොකු වෙනස් කම් කරන එක හොඳ නැති නිසා. එහෙම කළොත් කාටවත් දක්ෂතා අතරට එන්න බැරි වෙනවා”.

“ඇත්තටම අපිට මේ තරගයේදී තියෙන ලොකුම අභියෝගය වන්නේ පන්දු යැවීමේ අංශයේ තියෙන පොඩි පොඩි දුර්වලතායි. කරච්චිහි පැවැති එක්දින තරග 2 බැලුවොත් කඩුලු 2 ක් ගන්න පන්දු යවන්නකුට හැකි වුණානම් ඒ තරග ගොඩක් වෙනස් වෙන්න ඉඩ තිබ්බා. අපිට මතකයි පසුගිය කාලේ අපේ සාර්ථකත්වය තිබුණේ පන්දු යැවීමෙන් සාර්ථක පන්දු යවන්නන් කණ්ඩායම තුළ සිටිය නිසා. නමුත් මෑත කාලයේ කණ්ඩායමේ එවැනි පන්දු යවන්නෙක් නෑ. අකිල ධනංජය හිටියා. දැන් ඔහුත් නෑ. ඒ නිසා සඳකැන්ට තමයි මෙහි ගොඩක්ම වගකීම පැවරිලා තියෙන්නේ. අපි ගොඩක් දෙනා ඔහුගේ පන්දු යැවීම පිළිබඳව බලාපොරොත්තු තබා ගෙන ඉන්නවා”යි දසුන් පවසයි.

පාකිස්තානය

පාකිස්තානය මෙම තරගාවලියට පිවිසි සිටින්නේ විස්සයි-20 තරග අංශයේ විශේෂඥ පිතිකරුවකු ලෙසින් සැලකෙන උමර් අක්මාල්වද කැඳවමින්. ඔහුට අමතරව හිටපු ආරම්භක පිතිකරුවකු වන අහමඩ් ශෙෂාඩ්ද කණ්ඩායමට එක්ව සිටියි. මොවුන් දෙදෙනාගෙන් අහමඩ් ශේෂාඩ්ට හෙට තරගයේදී ස්ථානය විශ්වාස දායක නොමැත. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාට අමතරව පාකිස්තානුවන් සතුව තවත් ප්‍රබල අවි පවතියි. ඒ ආරම්භක පිතිකරු ෆකර් සමාන් සහ අංක 3 පිතිකරු බාබර් අසාම්ය. මොවුන් දෙදෙනාම එක්දින තරගාවලියේදී උපරිම දක්ෂතා අතරට පැමිණි පිතිකරුවන් වෙති.

වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් වන අසීෆ් අලී සහ ඉෆ්තිකාර් අහමඩ්ද  ඕනෑම අවස්ථාවක පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවීමට හැකියාව ඇති පිතිරුවෝ වෙති. පිතිකරණයට අමතරව පන්දු යැවීමද ඔවුන්ගේ ඉතා ප්‍රබලත්වයක පවතියි. විස්සයි-20 තරග අංශයේ ලොව අංක 1 ස්ථානයට වැජඹීමට වේග පන්දුවේ සහායද පාකිස්තානු පිලට ලැබී තිබේ. එහි ප්‍රධානියා වන්නේ වමතින් වේග පන්දු යවන මොහොමඩ් අමීර්ය. ඔහුට අමතරව වහාබ් රියාස් පන්දු යැවීමෙන් මොහොමඩ් හස්නන්, ඉමාඩ් වසීම් සහ ශාදාබ් ඛාන් පන්දු යැවීමෙන් පාකිස්තානය සතු ප්‍රබලම ක්‍රීඩකයන්ය.

දෙපිළේම නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කුසලාන නිරාවරණය සිදු කරන ලද අද දිනයේදී අදහස දක්වා සිටි පාකිස්තානු නායක සෆ්‍රාස් අහමඩ්, මෙවැනි තරග අංශයකදී කිසිම කණ්ඩායමක් අවතක්සේරුවන් සැලකිය නොහැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි පාකිස්තානු නායකයා, “ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදී ගොඩක් හොඳින් තරග වැදුණා. ඔවුන් තරගාවලිය පරාජයට පත් වුණත් අපිට හොඳ සටනක් දුන්නා. ඒක නිසා ඔවුන්ව කිසි විටෙකත් විස්සයි-20 තරග අංශයේදී සුළුවෙන් තැකිය නොහැකියි. අපි සතුව හොඳ දක්ෂ ක්‍රීඩකයින් සිටිනවා. ඔවුන් සමඟ ශ්‍රී ලංකාවට හොඳ අභියෝගයක් ලබා දෙන්න අපි සූදානමින් සිටිනවා”යි පැවැසයී.

ඉතිහාසය

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ප්‍රථමයෙන්ම විස්සයි-20 තරගයකදී මුණ ගැසී ඇත්තේ 2007 වසරේදීය. ජොහැන්නස්බර්ගිහි පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානු පිල සමත්වී තිබේ. එතැන් පටන් ඇරැඹි දෙරට අතර විස්සයි-20 ඉතිහාසයේදී දෙපිළ අවස්ථා 18 කදී එකිනෙකා මුණ ගැසී තිබෙන අතර ඉන් 13 වතාවක ජය පාකිස්තානුවන් අත්කර ගනිද්දී 5 වතාවක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ.

ඉතිහාසය එසේ සටහන් වද්දී දෙරට අතර මේ වන තෙක් ද්වීපාර්ශ්වික තරගාවලි 6 ක් පවත්වා ඇති අතර ඉන් 5 කම ජය පාකිස්තානය අත්කරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගාවලියකට පාකිස්තානයේදී සහභාගිවන පළමු අවස්ථාව වශයෙන් බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙන මෙම තරගාවලියේදී සුපුරුදු දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් පාකිස්තානයට එරෙහිව පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමේ අවස්ථාව සංචාරකයින්ට උදාවනු ඇත.

ලාහෝර් ක්‍රීඩාංගණය

ලොව නිර්මාණය කර ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර වැඩි ආකර්ශණයක් දිනා සිටින ක්‍රීඩාංගණයක් ලෙසින් ගඩාෆි ක්‍රීඩාංගණය සැලකෙයි. ප්‍රේක්ෂකයින් 20000 කට ආසන්න ප්‍රේක්ෂක පිරිසකට තරගය නැරඹීමේ අවස්ථාව හිමිවන මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව එක් වතාවකදී පාකිස්තානය මුණ ගැසී තිබෙන අතර එම තරගයෙන් ලකුණු 36 ක පරාජයක් ශ්‍රී ලංකාව අත් විඳ තිබේ. 2017 වසරේ ඩුබායිහි පැවැති විස්සයි-20 තරගාවලියේ අවසන් තරගය මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අතර ශ්‍රී ලංකා පිල තිසර පෙරේරාගේ නායකත්වය යටතේ තරග වැදිණ.

ජාත්‍යන්තර තරග පැවැත්වීමේ අවස්ථාව අහිමි වුවද දේශීය ක්‍රීඩා සමාජ තරග සඳහා විවෘතව පවතින ගඩාෆි තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ටද එක ලෙස වාසියක් ලබා දෙන තණතීරුවක් ලෙසින් සැලකේ. කරච්චිහි පවතින කාලගුණයට හාත් පසින්ම වෙනස් ශීත කාලගුණයක් ලාහෝර් වල පවතින හෙයින් රාත්‍රී කාලයේදී පින්න අපේක්ෂා කළ හැක.

පින්න පතිත වීමේදී එය පන්දු යවන්නන්ට වක්‍රා කාර ලෙසින් බලපෑමක් එල්ල විය හැකි බැවින් තරගයේ කාසියේ වාසිය දෙපිළටම තීරණාත්මක වනු ඇත. එබැවින් කාසියේ වාසිය දිනා පන්දු වට පහර දීම වඩාත් සුදුසු වනු ඇත. කෙසේ වෙතත් මෙහි පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී වර්ෂාව අපේක්ෂා කළ හැකි මට්ටමක පවතියි. ක්‍රීඩාංගණ සංවිධායකයින් පවසන ආකාරයට ඊයේ රාත්‍රියේදී ගඩාෆි ක්‍රීඩාංගණයට පැයකට අධික කාලයක් වර්ෂාවෙන් බාධා ඇති වී තිබෙන නමුත් එය තරගය පැවැත්වීම කෙරෙහි එතරම් බලපැමක් නොමැත.

ගඩාෆි ක්‍රීඩාංගණයේ විස්සයි-20 ඉතිහාසය ගෙන බැලීමේදී ශ්‍රී ලංකාවට අවාසි දායක වුවත් මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට කාරණා 2 ක් හේතුවෙන් වැදගත් තාවයක් උසුලයි. එහිදී ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ වැදගත්ම අවස්ථාවක් ලෙසින් සැලකෙන 1996 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරන ලද්දේ මෙම ක්‍රීඩාංගණයේ වීම ඉන් පළමු වැන්නය. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය ක්‍රීඩාවක් බවට පත්වීමට තරම් වූ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූයේ එම වසරේ මාර්තු 17 වැනිදා දිනා ගන්නා ලද ඒ සුවිශේෂී ලෝක කුසලානයයි. අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ තරග වැදි ශ්‍රී ලංකාව අවසන් මහ තරගයේදී ඔස්ට්‍රේලියානු පිල කඩුලු 7 ක පරාජයකට ඇද දමමින් එම සුවිශේෂී කුසලාන දිනා ගත්තේය.

ගඩාෆි ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වැදගත් වන අනෙක් කරුණ බවට පත් වන්නේ 2009 වසරේදී ශ්‍රී ලංකා පිල ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙනි. මාර්තු 03 වැනි දින ශ්‍රී ලංකා පිල ගමන් ගත් බස් රථය ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරය, පාකිස්තාන්‍ර ක්‍රිකට් ක්‍රීඩාවට මරු පහරක් එල්ල කරන ලද සිදුවීමක් බවට පත්විය. එම ප්‍රහාරයෙන් පසු ලොව කිසිදු කණ්ඩායමක් මෙහි පැමිණ තරග කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාකිස්තානය නොසිතූ අර්බුදයක පැටලිනි. එම අවාසනාවන්ත සිදුවීමෙන් ගෙවී ගිය වසර 12 කට අධික කාලයකින් පසු පූර්ණ තරගාවලියක් සඳහා පාකිස්තානයට පැමිණි පළමු රට වන්නේ ශ්‍රී ලංකා පිල වීමද විශේෂත්වයකි.

අපේක්ෂිත කණ්ඩායම්

තරුණ ක්‍රීඩකයින් රැසක් සමඟින් තරග වදින මෙම තරගාවලියේදී කණ්ඩායමට නම් කර සිටින ක්‍රීඩකයින් 16 දෙනාටම අවස්ථාවක් ලබා දීමේ අදිටනින් මෙම තරගාවලියට ශ්‍රී ලංකා පිල අවතීර්ණ ව සිටියි. කණ්ඩායම් කළමනාකාරවරයා ලෙසින් කටයුතු කරන අසන්ත ද මෙල් මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ සංචිතයේ පසුවන සෑඹ දෙනාටම අවස්ථාවන් ලබා දීමේ බලාපොරොත්තුවක් පවතින බවයි.

කෙසේ වෙතත් හෙට තරගය තරගාවලියේ පළමු තරගය වන බැවින් එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ බහුතරයක් හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න  මෙම තරගාවලියට ඇතුළත්ව නොමැති අතර ඒ සඳහා කණ්ඩායමට භානුක රාජපක්ෂ නම් කර තිබේ.

දෙරට අතර පැවැති තෙවැනි තරගයේදී එක්දින වරම් දිනූ මිනෝද් භානුක පිතිකරුවකු ලෙස කැපී පෙනෙන කාර්යය භාරයක් ඉටු කළ බැවින් ඔහුට හෙට තරගයේදී විස්සයි-20 තරග වරම් හිමිවනු ඇතැයි අපේක්ෂා කළ හැක. එම තරගයේදී කඩුලු රැකීමේ කාර්යය මිනෝද් විසින් සිදු කළද කඩුලු රකින්නකු ලෙස එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට හේ අපොහොස්ත වූ බැවින් බොහෝ විට හෙට තරගයේ කඩුලු රැකීම සධීර සමරවික්‍රම සිදු කළහොත් පුදුම විය යුතු නැත.

ශ්‍රී ලංකාව – 1. ධනුෂ්ක ගුණතිලක, 2. සධීර සමරවික්‍රම, 3. අවිශ්ක ප්‍රනාන්දු, 4. දසුන් ශානක (නායක), 5. ළහිරු මදුසංක, 6. ෂෙහාන් ජයසූරිය, 7. මිනෝද් භානුක, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්.

පාකිස්තානය – ෆකර් සමාන්, බාබර් අසාම්, හැරිස් සොහෙල්, අසීෆ් අලී, උමර් අක්මාල්, සෆ්‍රාස් අහමඩ් (නායක), ඉමාද් වසීම්, වහාබ් රියාස්, ශාදාබ් ඛාන්, මොහොමඩ් ආමර්, උස්මාන් ශින්වාරී.

Related posts

Sri Lanka Men’s squad engaged in the ‘Residential Training Camp’

Web Admin

Charith Asalanka has signaled his arrival as a potential young batsman for the future

Web Admin

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු ටෙස්ට් තරග සංචාරය ස්ථීර වෙයි

Web Admin