Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019

ශ්‍රී ලංකාව සටනක් දී පරදියි, දසුන් සහ ෂෙහාන්ගේ උත්සාහය අපතේ යයි

Chamila Karawita reporting from Karachi

ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාම ලකුණු 28 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වුවද දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 177 ක වාර්තා ගත සම්බන්ධතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව අද (30 දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී තියුණු සටනක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

පාකිස්තානය හමුවේ ලකුණු 67 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් වින්දද මෙම පිතිකරුවන්ගේ ධෛර්යවන්තම පිතිහරඹය තරගය ශ්‍රී ලංකා ඉනිම පුරාවට කැපී පෙනිණ. ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 6.12 ක් ලබා ගැනීමේ අභියෝගය කර මත දරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් මීට වඩා දායකත්වයක් සිය කණ්ඩායමට ලබා දුන්නේ නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා ශ්‍රී ලංකා පිලේ වාසියට හිටිනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 46කුත් පන්දු 5 කදී ලකුණු 238 කට සීමා කළ පාකිස්තානු පන්දු යවන්නෝ 1-0 ක් ලෙස සිය කණ්ඩායම පෙරමුණ කරා ගෙන ආවේය.

පන්දු 61 ක් තුළ පළමු කඩුලු 5 ම ලකුණු 28ක් ඇතුළත බිඳ වැටී තිබියදී පිටියට එක්වූ දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 177 ක සම්බන්ධතාවය නිසා ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ හැකියාව ලැබිණ. එපමණක් නොව විටෙක එම සම්බන්ධතාව එතෙක් පාකිස්තානය සතුව තිබූ තරගයේ වැඩි වාසිය දෙපිළ අතර දෝලනය කරන මට්ටමට බලපෑමක් ඇති කරවීමට හැකියාව ලැබුණු සම්බන්ධතාවයක් බවට පත්විය. 

පන්දු 184 ක් වැය කරමින් ගොඩ නංවන ලද එම 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලෝකෙන්ම සිව්වැන්න බවට පත්වද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවන් යුගලක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. මීට පෙර 6 වැනි කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන ලද වාර්තාව ලෙසින් සටහන් වූයේ චාමර සිල්වා සහ චාමර කපුගෙදර එක්ව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පෝරට් ඔෆ් ස්පේන්හි (2008) රැස් කරන ලද ලකුණු 159 ක සම්බන්ධතාවයි. මෙම සම්බන්ධතාවය පාකිස්තානයට සංසන්දනය කිරීමේදී දෙවැනි තැනට පත් වූයේ 1991 වසරේදී ශ්‍රීමත් රිචී රිචර්ඩ්සන් සහ ජෙෆ් ඩුජෝන් එක්ව සාජාහි රැස් කර තිබූ ලකුණු 154 ක ලකුණු සංඛ්‍යාව වේ.

එම සම්බන්ධතාවයේදී වැඩිම දායකත්වයක් දක්වන ලද පිතිකරුවා බවට පත්වූයේ ෂෙහාන් ජයසූරියයි. හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම වර්ණවත් කරගත් ෂෙහාන් ලකුණු 96 ක් ලබා ගත්තේය. ක්‍රීඩාංගණයේ පවතින උෂ්ණාධික තත්ත්වයට අමතරව විදුලි ආලෝක ධාරාවන් වලින් නිකුත් වන රස්නය හේතුවෙන් පන්දුවට පහර දෙන අතුතරදී මෙම පිතිකරුවන් දැඩි වෙහෙසට පත්ව සිටිනු දක්නට ලැබුණු අතර දෙවතාවක්ම ජයසූරිය භෞත චිකිත්සකවරයාගේ සහාය පැතීය.

තරගය පැවැති කරච්චි ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක කුළුණක ආලෝක පහන් ක්‍රියා විරහිත වීම නිසා තරගය මිනිත්තු කීපයක් නවතා දැමීමට සිදුවීම නිසා කෙටි විවේක කීපයක්ම ලබා ගැනීමේ හැකියාව මොවුන් දෙපළට අවස්ථාව උදාවිය. පාකිස්තානු පිලේ පිලේ සාර්ථකම පන්දු යවන්නා වුණු උස්මාන් ශින්වාරිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නායක ශෆ්‍රාස් අහමඩ් ට උඩ පන්දුවක් දී දැවී යන විට ශතකයට ලකුණු 4 ක් මෑතින් සිටියේය. එබැවින් ෂෙහාන්ට මංගල ශතකය පසෙකලා මංගල අර්ධ ශතකයෙන් පමණක් සෑහීමට පත් වීමට සිදුවිය.

ෂෙහාන් දැවී යන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ලකුණු 101 ක් පමණක් වන අතර ඒ සඳහා පන්දු 56 ක් ඉතිරිව තිබිණ. ෂෙහාන්ට අනගි සහායක් ලබා දුන් දසුන් ශානක පන්දු 80 කදී ලකුණු 68 ක් ලබා ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ ශානකගේ ඉනිමද ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එකතු වීමට මත්තෙන් දැවී යෑම නිසා ජයග්‍රහණය පිළිබඳ ගොඩනැංවුණු බලාපොරොත්තු සියල්ල බිඳ වැටිණ.

ශ්‍රී ලංකා ඉනිමේ සමස්ථයක් ගත් විට ෂෙහාන් සහ දසුන්ගේ ඉනිමට අමතරව සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා ලද්දේ වනිඳු හසරංග (30) ක් පමණි. එම ලකුණු සංඛ්‍යාව හැරුණු විට වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වූයේ පාකිස්තානු පිල විසින් ලබා දුන් ලකුණු 21 ක අතිරේක ලකුණු සංඛ්‍යාව පමණි.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු උස්මාන් ශිනවාරි පන්දුවාර 10 ක් යවමින් නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 51 කට කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ශින්වාරි කඩුලු 5 ක් දවා ගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙරද ඔහු ශ්‍රී ලංකාවට එරෙහිවම සිය පළමු කඩුලු 5 වාර්තා කර ගැනීමට සමත්වීමද විශේෂත්වයක් විය.

නුවන් ප්‍රදීප් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී ලද ලකුණු 20 ද සමඟ අවසන් පන්දුවාර 10 දී ලකුණු 89 ක් උදුරා ගත් පාකිස්තානුවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු හතක් දැවී ලකුණු 305 ක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ.

ඒ වෙනුවෙන් පාකිස්තානු ඉනිමේ කැපී පෙනෙන දක්ෂතා කීපයක්ම සටහන් වුණු අතර බාබර් අසාම්ගේ ශතකය ඒ අතුරින් කැපී පෙනුණි. පාකිස්තානු පිල වෙනුවෙන් සුවිශේෂීම ඉනිම ක්‍රීඩා කරන ලද අසාම් පන්දු 105 කදී ලකුණු 115 ක් රැස් කර ගනිමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට මඟ පෑදීය. පාකිස්තානු පිලේ ලකුණු මැෂිම බවට පත්ව සිටින බාබර් අසාම් අද රැස් කරගන්නා ලද්දේ ඔහුගේ එක්දින තරග දිවියේ 11 වැනි ශතකයයි.

හයේ පයහර 5 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම වර්ණවත් කරගත් අසාම් සමත්වද්දී පාකිස්තානු පිලේ අනෙක් බලාපොරොත්තු තබා ඇති පිතිකරුවා වන ෆකාර් සමාන් පන්දු 65 කදී ලකුණු 54 ක් රැස් කරගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කරගත් සමාන්, ඉමාම් උල්හක් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් එක් කළේය.

ආරම්භයේ සිටම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට අපහසුවකින් තොරව පන්දුවට පහර දුන් ඉමාම්ගේ ඉනිම සිය පළමු පන්දුවාරයේදීම නිමාවට පත් කිරීමට වනිඳු හසරංග සමත්විය. ඉමාම්ගේ පාදයේ වැදුණු පන්දුවට වනිඳු හසරංග කරන ලද ප්‍රබල ඉල්ලීම ප්‍රධාන විනිසුරු නිෂ්ප්‍රභා කර සිටියද එම තීරණයෙන් නොසෑහුණු ශ්‍රී ලංකා නායකයා එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමට තීරණය කළේය. සැබැවින්ම එය ප්‍රධාන විනිසුරුගේ ඉනිම අභියෝගයක් වන තීරණයක් බවට පත් වෙමින් ඉමාම්ගේ ඉනිම ලකුණු 31 කදී අවසන් විය.

පිටියට පැමිණි අවස්ථාවේ සිටම මනා විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන් බාබර් අසාම් ෆකාර් සමාන් සමඟ පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දමමින් සිටින අතරේදී යළිත් ඒ අතරට පැමිණි වනිඳු හසරංග සිය දෙවැනි කඩුල්ල ලෙසින් සමාන්ව දවා ගනු ලැබුවේ ඉසුරු උදානගේ සහායද ඇතිවය.

පාකිස්තානු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ බාබර් අසාම්ගේ ඉනිම වටා එතුණු හැරිස් සොහෙල් ඉනිමේ වටිනාම සම්බන්ධතාව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කළේය. ලකුණු 111 ක අදාළ කඩුල්ලේ සම්බන්ධතාවය පාකිස්තානු ඉනිම වඩාත් ශක්තිමත් කරන ලද සම්බන්ධතාවය බවට පත්විය. ඒ වෙනුවෙන් සොහෙල්ගේ දායකත්වය පන්දු 48 කදී ලකුණු 40 කිනි.

2015 වසරෙන් පසු එක්දින තරගයකට ක්‍රීඩා කිරීමට වරම් ලද ඉෆ්තිකාර් අහමඩ් පන්දු 20 කදී වේගවත් ලකුණු 32 ක් ලබා පාකිස්තානු ලකුණු පුවරුව ලකුණුඅ 300 ඔබ්බට රැගෙන ගියේය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල මුහුණ දුන් ප්‍රධානතම අභියෝය බවට පත් වූයේ අවසන් පන්දුවාර 10 දී පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කිරීමට නොහැකි වීමය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත ඉෆ්තිකාර්ගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දු වාර 7 දී ලකුණු 72 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා බවට වනිඳු හසරංග කඩුලු 2 ක් දවා ගත්තද ඔහුගේ පන්දුවාර 10 දී ලකුණු 63 ක් ලබාගැනීමට පාකිස්තානු පිතිකරුවන් සමත්විය.

Related posts

කැන්ඩි ටස්කර්ස් පිට පිටම දෙවැනි පරාජයත් ලබයි

Web Admin

පහසුකම් අඩු ක්‍රීඩාංගණ 6ක් සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් අත හිත

Web Admin

JAT Holdings සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි

Web Admin