Developments Featured Media Centre News

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි සැලසුම් ගැන උප සභාපති රවීන් වික්‍රමරත්නගෙන් ඉඟියක්

Chamila Karawita reporting from Lahore

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානු තරග සංචාරය සඳහා පිටත්ව ගියේ ආරක්ෂාව පිළිබඳව දෙගිඩියාවකිනි. කරච්චි නුවරට ප්‍රථමයෙන් ගොඩ බැසි ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුව ලාහෝර් නුවර පැමිණියේ විස්සයි-20 තරගාවලිය සඳහා තරග වැදීමටය. රාජ්‍ය නායකයකුට ලබාදෙන ආරක්ෂාව හා සමාන ආරක්ෂාවක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන පසුබිමකදී ඔවුන්ව මෙහි තනි නොකිරීමට වග බලාගත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානී ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා මෙන්ම උප සභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් දෙගිඩියාවෙන් පසුවන ක්‍රීඩකයින්ගේ මානසිකත්වය සුව අතට පත් කර ගැනීම සඳහා පාකිස්තානයට පැමිණියහ. එසේ පැමිණි ඉහළ නිලධාරීන් අතර උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාව මුණ ගැසුණේ ලාහෝරහි ශ්‍රී ලංකා පිල රැඳී සිටින පර්ල් කොන්ටිනෙන්ටල් හෝටල් පරිශ්‍රයේදීය. විවේකයක් ලද නිනව්වකදී මාධ්‍ය සමඟ අදහස් දැක්වූ ඒ මහතා පාකිස්තානු තරග සංචාරයේදී ලබා දී තිබෙන ආරක්ෂාව සම්බන්ධව මෙන්ම මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියට ගැනීමට නියමිත තීරණ තීන්දු පිළිබඳව අනාවරණයක් සිදු කළේය. පහතින් දැක්වෙන්නේ ඒ මහතා සමඟ සිදුකරන ලද සාකච්ඡාවයි.

ප්‍රශ්නය :- පාකිස්තානු ක්‍රිකට් සංචාරයෙන් පසු ඔබ ඇතුළු වත්මන් ක්‍රිකට් පරිපාලනය ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙළක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවද..?

පිළිතුර :- විශේෂයෙන් ගත්තොත් දේශීය වශයෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් දියුණු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේ අපිට ආවේණික වූ රටාවක් තියෙනවා. ඒ රටාව එක්ක තමයි අපි ඉදිරියට යන්න ඕන. ඒකෙදි දක්ෂතා තියෙන ක්‍රීඩකයින් හඳුනගෙන ජාතික තලයට රැගෙන ඒම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට්හි වගකීම වෙලා තියෙන්නේ. ක්‍රීඩකයාට ජාතික තලයට එන්න නම් අපි සැලසුමක් හදන්න ඕන වගේම සාර්ථක තරගාවලි සංවිධානය කරන්න ඕන. එතකොට තමයි ඔවුන්ට කැපී පෙනිලා ඉදිරියට එන්න පුලුවන් වෙන්නේ. සුබදායි විදියට අපි බැලුවොත් එහෙම වයස 23 න් පහළ ක්‍රීඩා සමාජ තරගාවලිය නැවත වරක් අපි පටන් ගත්තා. ඒ වගේම 19 න් පහළ සුපිරි පළාත් තරගාවලියක් පැවැත්වුවා. ඒ වගේම අවුරුදු 15 න් පහළ දැනට ක්‍රීඩා කරමින් යනවා. ඔවුන් අතරත් සුපිරි පළාත් තරගාවලියක් ඉදිරියේදී එනවා. ඒ වයස් කාණ්ඩය යටතේ ලංකාවේ හොඳම ක්‍රීඩකයින් 80 දෙනාම ඉදිරියට ගෙන ඒමේ රටාවක් තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතිං මං හිතනවා මෙතැනින් ඉදිරියට එන ක්‍රීඩකයින්ව රැක ගැනීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වගකීමක්.

දකින්නත් ඇති ගිය සතියේදී අපි පුහුණුකරුවන් බඳවා ගන්න දැන්වීමක් දැම්මා. ඒ හරහා අධි කාර්ය සාධන දක්ෂතා මධ්‍යස්ථානයට අවශ්‍ය පුහුනුකරුවන්ව, සැලසුම් සකස් කරන එහෙමත් නැත්නම් ස්ට්‍රැටර්ජීස්ලාව ඒ තැන් වලට අනුගත කරන්නත් අපි වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ගන්න මෙන්න මේ කාරණාවලට තමයි අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ.

ප්‍රශ්නය :- අපේ කණ්ඩායමට තවමත් ජාතික පුහුණුකරුවකු නෑ. අනෙක් පුහුණුකරුවන්ගෙත් පුරප්පාඩු තියෙනවා. ඒ හිදැස් පුරවන්න ඉදිරියේදී කාවද ගන්න බලාපොරොත්තු වෙන්නේ…?

පිළිතුර :- අපිට ප්‍රශ්නයක් තියෙනවා හතුරුසිංහ පිළිබඳව. හතුරුසිංහගේ ප්‍රශ්නය පැත්තට තියලා ඉදිරියට අලුතෙන් ප්‍රධාන පුහුණුකරුවෙක් පුලුවන් තරම් ඉක්මනට ගන්නට සැලසුම් කරලා තියෙනවා. ඒකෙදි පුහුණුකරුවන් තිදෙනෙක් පමණ අපේ සැලකිල්ලට භාජනය වෙලා තියෙනවා. ඒ එක්කම මම කියන්න කැමැතියි අපේ සංකල්ප හඳුනගෙන ඉන්න ඩේව් වට්මෝර්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා.   විශේෂයෙන්ම ඔහුගේ මාර්ගයෙන් දිස්ත්‍රික්ක වල, පළාත් වල ඉන්න පුහුණුකරුවන්ව හරි මාර්ගයට යොමු කරමින් ඉදිරියට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා.

අන්තර්ජාතික තලයේදි අපිට අවශ්‍ය විශේෂයෙන් ම ප්‍රධාන පුහුණුකරුවක් සහ අනෙකුත් අංශවල පුහුණුකරුවන්. හැබැයි ලංකාවේ දැනට අපිත් එක්ක පුහුණුකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුනුත් අවුරුදු 10 ක් 15 ක් රටට ක්‍රීඩා කරපු අය. මෙතැනදී අපි කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි ලෝකය පුරා ඉන්න විශේෂිත වූ පන්දු යවන්නන් සහ පිතිකරුවන් පිළිබඳව පුහුනුකරුවන් කීප දෙනෙක් ගෙනල්ලා ඔවුන්ට යම් කිසි ව්‍යාපෘතියක් භාර දෙන්න. ඔවුන් සමඟ වැඩ කරද්දී අපේ පුහුණුකරුවන්ටත් අදහසක් එනවා ඔවුන්ගේ දක්ෂතා ඉහළ මට්ටමට ගෙන යන්නේ කොහොමද කියන එක ගැන. උදාහරණයක් විදියට එක් එක් අංශවල ලෝකයේ ඉන්න හොඳම පුහුණුකරුවන් එක එක කාලවලදී සති 2 ක වැඩමුළුවකට ලංකාවට ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන් වැඩ කරන්නේ ජාතික තලයේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, පළාත් පුහුණුකරුවන්, දිස්ත්‍රික් පුහුණුකරුවන් සමගයි. ඔවුන් ලබා දුන් දැනුම හරහා අපේ පුහුණුකරුවන්ට පුළුවන් ඉගෙන ගත් දැනුම ගමට ගෙනයන්න. මේ කාරණා තමයි අපි දැනට සාකච්ඡාවට බඳුන් කරලා තියෙන්නේ.

ප්‍රශ්නය :- කොයි කාලෙදි වගේද ඔවුන් ගෙන්වන්න බලාපොරොත්තු වන්නේ…?

පිළිතුර :- ඒක ගැන අපි බලන්න ඕන. පාකිස්තානු සංචාරය ඉවර වෙලා ගිය ගමන්ම අපි ඔස්ට්‍රේලියාවට යනවා. ඊට පස්සේ නොවැම්බර් මාසය විතරයි විවේකයකට තියෙන්නේ. ඉන් පස්සේ නැවත වතාවක් පාකිස්තානය සමඟ ටෙස්ට් තරගාවලියටත් පසුව ඉන්දියාවටත් යන්න තියෙනවා. අලුත් අවුරුද්දේ අයර්ලන්ත පිල ලංකාවට එනවා. ඊට පස්සේ එංගලන්තය. ඉතාමත් කාර්ය බහුල අවස්ථාවකයි ක්‍රීඩකයින් ඉන්නේ. මොනව කළත් මේ දැනුම ක්‍රීඩකයින්ට ලබා දෙන්න ඕන සාමාන්‍ය විවේකයක් තියෙන වෙලාවකයි. ඒ ගැන අපි අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒ නිසා ක්‍රීඩකයින්ට සංචාර නැති වේලාවන්වලදී තමයි මොවුන් ගෙන්වා ගන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර විට මේ මාසයේ වෙන්නට පුලුවන්. සුමාන දෙකක කාලයකට වගේ ක්‍රීඩකයින්ට පුලුවන් සම්බන්ධ වෙන්න. ලබන අවුරුද්ද වෙනකොට ලංකාවට තරගාවලි 7 කට ක්‍රීඩා කරන්න තියෙන නිසා තරගාවලි අතුතරදී තමයි අපිට මේ දේවල් කරන්න වෙන්නේ.

ප්‍රශ්නය :- ඉදිරියේදී බඳවා ගන්නට බලාපොරොත්තු වෙන පුහුණුකරුවන් කවුද කියලා කියන්න පුළුවන්ද…?

පිළිතුර :- නම් වශයෙන් කියන්න බැහැ. නම් වශයෙන් කිව්වාහම වෙන්නේ සමරහ කට්ටිය ඔවුන්ට එක එක කතා කියනවා. එතකොට පුහුණුකරුවන් හැටියට ඔවුන්ටත් අනියත බියක් ඇති වෙනවා. මොකද යම්කිසි පුහුණුකරුවෙක් එන්නට ගියාම ඔහුට තව කවුරු හරි පිටින් කියනවා ලංකාවට යන්න එපා. ඒ වගේ කතා කියනකොට ඕනම පුහුණුකරුවෙක් එන්නේ නෑ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ රස්සාව. එතකොට ඔහු අවිනිශ්චිත පරිසරයකට එන්න කැමැති නැහැ. ඒ නිසා මම ඔවුන්ව නම් වශයෙන් හඳුන්වන්න කැමැති නැහැ. අපි බලමු. කොහොමත් අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන එක නම් කියන්න පුළුවන්. පසුගිය මාස 3, 4 දිම අදාළ අංශයන්වලින් පුහුණුකරුවන්ට කතා කරනවා. ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා තමයි ඒ කටයුත්ත සිද්ධ කරන්නේ.

ප්‍රශ්නය :- අපේ පළමු පෙළ තරගාවලියේ ව්‍යුහය ගැන ගොඩක් විවේචන තියෙනවා. එහි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවක් තියෙනවද…?

ප්‍රශ්නය :- ඇත්තටම ඒ ගැන ගෙනියන මතය තමයි ලංකාවේ ක්‍රීඩා සමාජ වැඩියි කියන එක. ක්ලබ් 24 ක් තියෙන නිසා ක්ලබ් ගණන අඩු කරන්න ඕන කියන එක. එතකොට තරගකාරීත්වය උඩට යයි කියන මතයේ තමයි මේ පිළිබඳ අදහස් දක්වන පිරිස් ඉන්නේ. ඒ මතයට යම් පමණකට මම විරුද්ධයි. හැබැයි කණ්ඩායමක් හැටියට ගන්න තීරණයකට, තරගකාරීත්වය ඉහළ යයි කියන මතයට ගරු කිරීමක් කළ යුතුයි. එතෙනදි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙන්නේ ඉදිරි වසර 2 තුළදී ටියර් ඒ කාණ්ඩයේ දැනට තියෙන කණ්ඩායම් 14, 10 ක් දක්වා අඩු කරන්න. ඒ කියන්නේ කණ්ඩායම් 4 ක් පල්ලෙහාට දාන්න. එතකොට ටියර් බී එකේ දැනට සිටින කණ්ඩායම් 10, 14 ක් වෙනවා. එහෙම වුණොත් ටියර් ඒ තරගාවලියේ තරගකාරීත්වය ඉහළට ගන්න තමයි අපේ අදහස. ඒ සඳහා අදහස් දැන ගැනීමට සියළුම ක්‍රීඩා සමාජ, ඒ කියන්නේ ටියර් ඒ සහ බී කාණ්ඩ නියෝජනය කරන ක්‍රීඩා සමාජ හමුවන්නට ඉතා නුදුරේදීම කටයුතු කරනවා.  

ප්‍රශ්නය :- බොහෝ රටවල් ඔවුන්ගේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක බලා ගැනීම සඳහා විස්සයි-20 තරගාවලි සෑම රටකම තියෙනවා. කොහොමද ඒ ගැන ඔබ ඇතුළු වත්මන් පරිපාලන පිරිසගේ අදහස…?

පිළිතුර :- ඒ ගැන තියෙන්නේ මගේ මිශ්‍ර අදහසක්. වාණිජ විදියට බැලුවොත් ඒක ක්‍රිකට් ආයතනයට ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි මේ ක්‍රීඩකයින් මෙතැනට යනකොට වෙන අනිසි ප්‍රතිඵලත් තියෙනවා. ඒ තමයි තරුණ ක්‍රීඩකයනුත් ටෙස්ට් අංශයෙන් කළින්ම විශ්‍රාම ගැනීමට තීරණය කිරීම. එහෙම වෙලා ඔවුන් ඔවුන්ගේ උපරිමය ටී-20 තරග වලට ලබා දෙනවා. ඒ සඳහා හොඳම උදාහරණය තමයි පාකිස්තානයේ මොහොමඩ් අමීර්. ඔහු තවමත් වයස 24 ට අඩු ක්‍රීඩකයෙක්. හැබැයි ඔහු ටෙස්ට් වලින් අයින් වෙලා එක්දින සහ විස්සයි-20 ක්‍රීඩා කරනවා. එහෙම කරන්නේ ඔවුන්ට ඒකෙන් විශාල ප්‍රමාණයෙන් මුදල් හම්බ වෙන නිසා. ඔවුන්ට තියෙන්නේ ඕවර 4 යි පන්දු යවන්න. එතකොට මහන්සි වීම නෑ.

ලංකාවට මේ වගේ තරගාවලියක් අවශ්‍යයි. දක්ෂ ක්‍රීඩකයින්ව හොයාගන්න ඒ වගේ තරගාවලියක් හොඳ තෝ තැන්නක් වෙනවා. මෙතැනදි විස්සයි-20 තරගාවලිය පවත්වන විදියට අපිට හිතෙන විදියට පවත්වන්න බැහැ. ඇත්තටම සැලසුම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. මතක ඇති මීට අවුරුදු 09 කට 10 කට කළින් එස්.එල්.පී.එල්. කියලා තරගාවලියක් පටන් ගත්තා. හැබැයි ඒක සාර්ථකව පවත්වාගෙන යන්න බැරි වුණා. මේ දේවල් හරියාකාරව හිතලා බලලා තමයි අපි මේ තරගාවලිය පටන් ගන්නවා පටන් ගන්න ඕන.

ප්‍රශ්නය :- අපේ ක්‍රීඩකයින් ගොඩක්ම අපේ පළමු පෙළ තරගාවලිය අතහැර දමලා විදෙස් රටවල තරගාවලි වලට සහභාගි වෙනවා. විශේෂයෙන් මැදි වියේ ක්‍රීඩකයින්…?

පිළිතුර :- සමස්තයක් හැටියට ගත්තොත් මැදිවියේ ක්‍රීඩකයින් පිට රටට යනවා. හැබැයි මෙතැනදි එක කාරණයක් මට කියන්න පුලුවන්. ලංකාවට ගහන්න ඔන්න මෙන්න තියෙද්දී කීදෙනෙක් පිට රට යනවද…? එහෙම ක්‍රීඩකයින් ගොඩක් අඩුයි. මැදි වියේ ක්‍රීඩකයින් කියන්නේ 29 සහ 35 අතර අය. ඔවුන් දන්නවා ඒ වයසෙදි ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න ගොඩක් අමාරුයි කියලා. එහෙම ක්‍රීඩකයින් පළමු පෙළ තරගාවලිය අත ඇරලා යන ගතියක් තියෙනවා. හැබැයි තරුණ ක්‍රීඩකයින් කොයි මොහොතක හෝ ලංකාවට ක්‍රීඩා කරන්න හම්බ වෙයි කියලා තවමත් රැදී ඉන්නවා.

උදාහරණයක් කියන්නම්. මේ වෙනොකට පාසල් වයස 19 න් පහළ 320 ක් ලංකාවේ ක්‍රිකට් ගහනවා. මේකෙන් අඩුම ගානේ තුන් දෙනෙක් විතර එක අවුරුද්දකට එළියට එනවා. එතනම ළමයි 900 ක් ඉන්නවා. ඒ ළමයි 900 න් දක්ෂතම ළමයි 50 කට වගේ තමයි අවුරුද්දකට අවස්ථාව ලැබෙන්නේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්න. එතකොට දක්ෂයින්ට තමයි එතනට එන්න පුලුවන්. අනිත් ළමයි දෙවැනි පෙළ සහ තෙවැනි පෙළ ක්‍රීඩා කරනවා. එහෙමත් නැත්නම් ආයතනයකට ගිහිල්ලා එතන ක්‍රීඩා කරනවා. එතකොට පරණ ක්‍රීඩකයින් ක්‍රීඩාවේ දිගටම රැඳී සිටියොත් අනිත් පැත්තෙන් වෙන්නෙත් හානියක්. මොකද තරුණ ක්‍රීඩකයින්ට ඉදිරියට එන්න වෙන්නේ නැති නිසා. සමහර වෙලාවට මම දකින්වා සමහර ක්‍රීඩා සමාජවල අවුරුදු 40-42 ක්‍රීඩකයින් ක්‍රීඩා කරනවා. එතකොට කොහෙද අර තරුණ ක්‍රීඩකයින් යන්නේ. ඒක නිසා මම හිතන්නේ නෑ ඒ පිළිබඳව අපි ලොකුවට හිතන්න ඕන කියලා. හැබැයි අපි එක සැලැස්මක් හැදුවා. කවුරු හෝ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් ඔහු ලංකාවෙන් පිටත යන්නේ නැතුව ඔහු ලංකාවේ දිගින් දිගටම ක්‍රීඩා කරනවා නම්, එතකොට අපි ඔහුට මාසික දිමනාවක් එහෙම නැත්නම් අවුරුද්දකට ලොකු ගාණක් ලබා දෙනවා. මොකද ඔහුගේ අත්දැකීම් තරුණ ක්‍රීඩකයින්ට බෙදා ගන්න අවස්ථාවක් ලැබෙන නිසා. වයස අවුරුදු 19 න් පහළ ඉඳලා නොයෙකුත් වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයින් 100 ක් පමණ පසුගිය අවුරුදු 3 ඉඳන් වාර්ෂික කොන්ත්‍රාත්තුවකට ඇතුළත් කරලා තියෙනවා. ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසරකට මිලියන 80 කට වඩා වැඩි මුදලක් වැය කරනවා.

ප්‍රශ්නය :- පාකිස්තානු තරගාවලියේ ආරක්ෂක තත්ත්වය ගැන දරන්නේ කොයි වගේ අදහසක්ද…?

පිළිතුර :- ඇත්තටම මේ තරගාවලියට එනකම්ම තිබුණේ අවිනිශ්චිත තත්ත්වයක්. කොහොම හරි ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපිට අනුමැතිය ලැබුණට පස්සේ දවස් 2 කට කළින් තමයි මේ තරගාවලියට එන්න තීරණය කළේ. මං හිතනවා මෙතැනදි අපි රජයක් හැටියට පාකිස්තානු රජය ගත්ත ආරක්ෂක වැඩපිළිවෙළ අගය කරන්නට ඕන. ඔවුන් දෙන්නට පුලුවන් සියළුම ආරක්ෂක විධි විධාන සැලසුම් කරපු ආකාරයට ලබා දෙනවා. ඒ වගේම ක්‍රිකට් ආයතනයයේ ඉහළ පෙළේ නිලධාරීනුත්. ලේකම් මොහාන් ද සිල්වා මහතා මීට කළින් මෙහි පැමිණ ආරක්ෂක තත්ත්වය ගැන සොයා බැලුවා. ඒ වගේම සභාපති ශම්මි සිල්වා මහතාත් මෙහි පැමිණියා. ඉහළ නිලධාරීන් විදියට අපි මෙහෙ එන්න තීරණය කළේත් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හොඳ අතට පත් කරන්න. නැත්නම් ඔවුන්ව විතරක් එවලා අපි කොළඹට වෙලා ඉන්න නොවෙයි. මෙතැන මොකක් හරි අවධානමක් තියෙනවා නම් අපිත් එතැන ඉඳලා ඔවුන්ව ධෛර්යමත් කරන්න. ඒ වගේම ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාත් වැඩ රාජකාරි තියෙද්දී පළමු තරගයට සහභාගි වුණා. ඉතිං රටක් හැටියට මං හිතනවා අපි මේ තරගාවලියට ගත්ත තීරණය ඉතාමත් වැදගත් එකක් කියලා.

ප්‍රශ්නය :- ඔබ පාකිස්තානයට පැමිණ සිටින කාලයෙදි මේ සම්බන්ධව ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද…?

පිළිතුර :- මට විතරක් නොවෙයි ඔබටත් තේරෙනවා ඇති එළියට ගිහිල්ලා මනුස්සයෙක් හම්බ වුණොත් ශ්‍රී ලංකාව කෙරෙහි කොයි තරම් ආදරයක් දක්වනවද කියන එක ගැන. ඒක මං ඇස් දෙකෙන් දැක්කා. මට මතකයි කළින් දවසේ රාත්‍රියේදි මට ඇමරිකාවේ ඉන්න පාකිස්තානු ජාතිකයෙක් හම්බ වුණා. ඔහු කිව්වේ ලෝකෙ එකම රට, බය නැතුව ඇවිල්ලා පාකිස්තානයේ ක්‍රීඩා කරන එක ගැන ආචාර කරනවා කියලා. ඇත්තටම මං හිතනවා ජාතියක් හැටියට අපිට කරන්න පුලුවන් ලොකුම කෙලෙහි ගුණය පාකිස්තානයට ලබා දුන්නා. මොකද අපිත් අවුරුද් 30 ක යුධ කාලයක් පසුකරගන ආවේ. ඒ යුද්ධෙදිත් පාකිස්තානු රජය අපිට රටක් විදියට යුද්ධයෙන් ගොඩ එන්න ගොඩක් උදව් උපකාර කළා. මං හිතනවා ඒ කළ දේට කෘතගුණ සැලකීමක් හැටියට තමයි මම මේ තරගාවලිය දකින්නේ.

Related posts

First aid know how compulsory for Level 1 coaches in future

Web Admin

‘ක්‍රිකට් ගමට’ ව්‍යාපෘතියෙන් ජාතික කණ්ඩායමට පැමිණි අළුත්ම තරුව – ඩිල්ෂාන් මධුශංක

Web Admin

U19 players recognized by Sri Lanka Cricket

Web Admin