Sinhala Column

කපුගෙදරට කන්ද උඩරට උපහාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුවන චාමර කපුගෙදරට ඔහු සිප්සතර හැදෑරු මහනුවර ධර්මරාජ විදුහල නොබෝදා උපහාර උත්සවයක් පැවැත්වීය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් පාසලෙන් නික්මයන අවස්ථාවේ තම රට නියෝජනය කරන ජාතික කණ්ඩායමට ඇතුලුවීම වත්මන් අවධියේ දක්නට නොලැබෙන දුලභ දර්ශනයකි. පාසලෙන් කෙළින්ම ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායමට එක්වූ මෙරට අවසාන පාසල් ක්‍රීඩකයන් දෙතුන් දෙනාගෙන් අයෙකුවන කපුගෙදර වැනි ක්‍රීඩකයෙකුගෙන් පාසල් ක්‍රීඩකයනට ජාතික මට්ටමින් යම් ආදර්ශයක් ගත හැකි හෙයින් ඔහු පිළිබඳව සටහනක් තැබීම වැදගත්වේ.

චාමර කපුගෙදර 2006 වසරේදී 18 හැවිරිදි පාසල් සිසුවෙකුව සිට ඉන් ඉවත්වනවාත් සමගම එම වසරේම ජාතික ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නියෝජනය කලේ ලොව දැවැන්තයන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග තරගවදිමිනි. එම දිනවල ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පැවැති වී.බී. (VB) එක්දින තරගාවලියේ අවසාන මහා තරග තුනේ පළමු තරගයේදී මොහු එවක ලොව වේගවත්ම පන්දු යවන්‍නා වන බ්‍රෙට් ලීට පිට පිටම දැවැන්ත හයේ පහර එල්ල කරමින් පන්දු 21කදී ලබාගත් ලකුනු 38 බොහෝදෙනෙකුගේ මතකයේ තවමත් පවතී. ඔහුගේ එම ඉනිම මත ශ්‍රී ලංකාව ජයගත් අතර ඕස්ට්‍රේලියාව එවර තම රටේදී පරාජය වූයේ වසර නවයකට පසුවය.

2006 වසරේදීම 18 හැවිරිදි වියේ පසුවෙමින් කපුගෙදර ශ්‍රී ලංකා ටෙස්ට් පිල ප්‍රථම වරට නියෝජනය කළේ එංගලන්තය සමග ක්‍රිකට් “රන්දෙවොල” ලෙස නමක් දිනා සිටින ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. එම වසරේ සිට ටෙස්ට් තරග අටකදී අර්ධ ශතක හතරක් සමග ලකුණු 418ක් ලබා ඇත්තේ ඉනිමක 34.8ක හොද සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් ලබාගනිමිනි. කපුගෙදර වඩාත් දස්කම් දැක්වූයේ එක්දින සහ 20-20 තරගාවලියන්හිදීය එක්දින තරග 102කදී අර්ධ ශතක 8ක් සමග ලකුණු 1624ක්ද 20-20 තරග 43කදී අර්ධ ශතකයක් සමග 703ක්ද හේ ලබාසිටී.

1987 පෙබරවාරි 24 වැනිදා මහනුවර දී උපත ලද චාමර කාන්ත කපුගෙදර කොළඹින් පිටත පළාතකින් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකි වත්මන් අවධියේදී මෙන් නොව එකළ පිට පළාතකින් ජාතික පිලට එක්වර ක්‍රීඩකයෙකු එක්වන්නේ කලාතුරකිනි. පාසල් වියේ සියළු වයස් සීමාවන්හි නායකත්වය දරා ඇති චාමර කපුගෙදර 2017 ජූලි මස ඉන්දියාව සමග එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමටද නායකත්වය ලබා දුන්නේය. ඔහු චෙන්නායි සුපර් කින්ස් ද නියෝජනය කළේය. ධර්මරාජය දැයට විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් ලබාදී ඇති පාසලකි.Kandy Express (මහනුවර සීඝ්‍රගාමී) විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා ටී.බී.කෙහෙල්ගමුව තුන් ඉරියව් ක්‍රීඩක සනී යටවර බිහිවූයේත් මේ කන්ද උඩරට සිප්හලෙනි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Related posts

“වාසනාව තිබුණා නම් මීට වඩා ඉදිරියට යන්න තිබුණා” – කසුන් රාජිත

Web Admin

රාවල්පින්ඩි ඌෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක පහයි අප සියල්ලටම සූදානම් – කළමණාකරු අසන්ත ද මෙල් පවසයි

Web Admin

19න් පහළ කණ්ඩායම කොදෙව් පිල පරදවයි

Web Admin