Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019

අපේ ඉලක්කය ලකුණු 300 ක් – දිමුත් කරුණාරත්න

Chamila Karawita reporting from Rawalpindi 

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සාර්ථක ආරම්භයක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන්ට සමත් වුවද පන්දුවට පහර දුන් කිසිම පිතිකරුවකුට දීර්ඝ ඉනිම කරා යෑමට නොහැකි වීම මත තරගයේ පළමු දිනයේ වැඩි ඵල පාකිස්තානු පිල සතු කරගෙන සිටියි. ඒ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 202 ක් ඇතුළතදී ලබා ගනිමිනි. 

පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු සමත් වූ නමුත් මැද පෙළ පිතිකරුවන් අතින් වූ අතපසුවීම් හේතුවෙන් එසේ ලද සාර්ථකත්වය දිවා ආහාරයත් තේ පානයත් අතර වූ කාලයේදී සම්පූර්ණයෙන්ම උඩු යටි කුරු වූයේ ලකුණු 31 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් දවා ගැනීමට පාකිස්තානු වේග පන්දු යවන්නන් සමත්වීම නිසාය. 

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 62 ක වටිනා සම්බන්ධතාව හේතු කොට ගෙන පළමු දිනය ක්‍රීඩාව අහවර කරන විට සැනසිලිදායක හෙවත් ලකුණු 200 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබේ. 

වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් මෙම තරගයට අවතීර්ණව සිටින පාකිස්තානු කණ්ඩායමට මෙය තරමක මානසික වාසියක් ගෙන දෙන්නක් වුවත් ඒ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසන්නේ තවමත් තරගය දෙපිළටම විවෘතව තිබෙන බවයි.

“තරගය අනුව කණ්ඩායම් දෙකටම පනහට පනහ තියෙන තරගයක්. පළමු සැසියේදී අපි හොඳින් ක්‍රීඩා කළා. නමුත් දෙවැනි සැසියේදී පාකිස්තානු පන්දු යවන්නෝ යළිත් තරගයට අවතීර්ණ වෙලා වැඩි වාසි ඔවුන්ගේ පැත්තට හරවා ගත්තා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තමයි දිවා ආහාරයෙන් පසු ඔවුන් නියමිත ස්ථානවල පන්දු යවලා අපේ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කළා. ඒ කොහොම වුණත් තණතීරුව නම් තවමත් පන්දුවට පහර දීමට සුදුසු තත්ත්වයේ තියෙනවා. මම දනින්නේ අවාසනාවකට අපේ අතින් අඩුපාඩු කම් සිද්ධ වුණ එක. නමුත් දික්වැල්ල සහ ධනංජය හෙට තරගයේදී හොඳින් ලකුණු අතරට ආවොත් මේ තරගය හොඳ තරගයක් බවට පත් වේවි”යි දිමුත් පවසයි.

පළමු දිනය අවසනදී ධනංජය ද සිල්වා ලකුණු 38 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැඳී සිටින පිතිකරුවන් වෙති. කණ්ඩායම සමබර කිරීම වෙනුවෙන් මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණෙන නමුත් මොවුන් දෙදෙනාම මීට පෙර ආරම්භක පිතිකරුවන් මෙන්ම ඉදිරි පෙළින් පන්දුවට පහර දෙමින් දැවැන්ත ඉනිම ගොඩ නැංවීමට සමත්වූ පිතිකරුවෝ බැවින් හෙට දිනයේදී පාකිස්තානය බලාපොරොත්තු නොවූ වෙනසක් ඇති කිරීමේ හැකියාව හොඳින්ම පවතිනු ඇත.

“අපේ ඇත්තම ඉලක්කය වෙලා තිබුණේ ලකුණු 300 සීමාව ඉක්මවා යන්න. පන්දු යවන්නන්ට රිසි විදියට පන්දු යවන්න නම් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ තිබිය යුතුයි. අපි හොඳ ආරම්භයක් ලබා ගත්තත් මැදද ඒ ආරම්භය එක දිගට රඳවා ගැනීමට නොහැකි වුණා. ඒත් මැදදි වුණු ඒ අවාසිය මැතිව්ස්ගේ ඉනිමෙන් පොඩ්ඩක් අඩු වුණා. දික්වැල්ල සහ ධනංජය දෙන්නා හෙට උදේ අළුතෙන් තරගයට අවතීර්ණ වෙලා ලකුණු 300 කට එහා ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායම ඇදගෙන යන්න පුලුවන් වුණොත් මං හිතනවා අපි බලාපොරොත්තු වුණු දේ කරා අපිට යන්න හැකියාව ලැබෙයි කියලා” යි ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා නායකයා අදහස් දැක්වීය. 

තරගය ක්‍රියාත්මක පිණ්ඩි ක්‍රීඩාංගණය අවට උදෑසන සිටම මීදුම සහිත තත්ත්වයක් පැවැති හෙයින් තරග ආරම්භ වී ඉතා සුළු වේලාවකින් පසු විදුලි ආලෝකය උපයෝගී කර ගැනීමට තීරණය වීමද වසර 10 කට පසු පැවැත්වෙන ටෙස්ට් තරගයේ සුවිශේෂී සිදුවීමක්. ඒ පිළිබඳව අදහස් දක්වා සිටින කරුණාරත්න දරන්නේ මෙවැනි අදහසකි. 

“මම පන්දුවට පහර දෙද්දී විදුලි ආලෝකය දාපු එක හොඳ දෙයක් වුණා. මොකද ඒ වෙලාවේ මීදුම වගේ ගතියක් තිබුණ නිසා පන්දුව හරියට ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නෑ. නමුත් විදුලි ආලෝකය ලැබුණට පස්සේ ඒ තත්ත්වය නැති වෙලා ගියා. තණතීරුවත් ඉක්මනට වේළෙන ගතියක් පෙන්නුම් කරපු නිසා පන්දුවට පහර දෙන එකත් ටිකක් පහසු වුණා.  මං හිතන්නේ විදුලි ආලෝකය භාවිතා කිරීම අපිට ගොඩක් වාසිදායක වුණා කියලා මං හිතනවා” යනුවෙනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් සමඟ ඉනිම ඇරැඹි ඕසද ප්‍රනාන්දු ඉතා ඉවසීමෙන් පන්දුවට පහර දෙමින් සිය නායකයාට ඉතා හොද සහයෝගයක් ලබා දීම ශ්‍රී ලංකා කණ්ඩායම සුබ පෙර නිමිත්තකට ඉඟි පළ කිරීමක් විය. මන්ද යත් ගෙවී ගිය කාලය මුළුල්ලේම දිමුත් සමඟ ඉනිම ආරම්භ කිරීම සඳහා සාර්ථක පිතිකරුවකු සොයා ගැනීමට ක්‍රිකට් තේරීම් වලට නොහැකි වී ඇති බැවිනි. 

“එයාගේ (ඕෂද) තුන්වැනි ටෙස්ට් තරගය වුණත් හොඳින් බැට් කළා. ආරම්භක පිතිකරුවකු විදියට ඔහුගේ විලාශය ගොඩක් හොඳයි. හොඳ ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කරනවා. ඒ දේ අනිත් පැත්තෙන් පන්දුවට පහර දුන්න මටත් ගොඩක් වැදගත් වුණා. මොකද ඒ වගේ පිතිකරුවෙක් විශ්වාසයෙන් ක්‍රීඩා කරනකොට අනිත් පැත්තෙ ඉන්න කෙනාටත් ලොකු ශක්තියක් එන නිසා”. 

“මං හිතන්නේ මටත් වඩා හොඳට ඕෂද ක්‍රීඩා කළා කියලා කියන්න පුලුවන්. ඔහු වේග පන්දු යවන්නන් හමුවේ හොඳින් පිත්ත හැසිරුණා. පොඩි පොඩි දේවල් ටිකක් තමයි එයාට හදාගන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවල එයා පොඩ්ඩක් අතහරින ගතියක් මම දැක්කා. ඒ හැම වෙලාවෙම මම එයාට කිව්වේ තරගය අත හරින්න එපා, කොහොම හරි ඇදගෙන යමු කියන එක. අලුත් ක්‍රීඩකයෙන් හින්දා විශේෂයෙන්ම ටෙස්ට් තරග රටාව කොයි වගේද කියන එක ඔහුට කියා දෙන්න ඕන. ඔහු නිතරම ක්‍රීඩා කරන්න බලන්නේ දේශීය තරගාවලියේදී වගේ ඉක්මනින් ලකුණු ලබා ගන්න. නමුත් මෙතැනදි අපි ඔහුට ඒ තරගවලට වඩා ටෙස්ට් තරග හාත්පසින්ම වෙනස් කියන එක කියලා දෙන්න ඕන” යැයි නව සහායකයා ගැන ශ්‍රී ලංකා නායකයා ධනාත්මකව අදහස් පළ කර සිටියේය.

Related posts

Sri Lanka working on the right combinations – Head Coach Harsha de Silva

Web Admin

දිමුත්ගේ අනාගත අරමුණ

Chamila Karawita

පහසුකම් අඩු ක්‍රීඩාංගණ 6ක් සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් අත හිත

Web Admin