Domestic Cricket Featured Media Centre News Premier League

අනුශුරයන් වෙන්න එන්.සී.සී සහ මේරියන්ස් අතර දැඩි සටනක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේදී අනුශූරතාව දිනා ගැනීම සඳහා හලාවත මේරියන්ස් සහ එන්. සී. සී. අතර පවතින තරගය තව තවත් උණුසුම් වෙමින් දෙපිළම සිය ප්‍රතිවාදීන් හමුවේ කරට කරට කර සටනක් දෙමින් දෙවැනි දිනය අවසන් කළහ.

එහිදී එන්. සී. සී. කණ්ඩායම කෝල්ට්ස් පිලට පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දී තිබෙන අතර දිනය අවසනදී ලකුණු 119 ක් ඇතුළත කඩුලු 6 ක් දවා ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව කෝල්ට්ස් කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරී සිටීමට නම් අත ඇති කඩුලු 4 ඇතුළත ලකුණු 117 ක් ලබා ගත යුතුව තිබේ. 

මේ අතර ශූරතාව දිනා සිටින සී. සී. සී. කණ්ඩායමට එරෙහිව ප්‍රබල සටනක් දියත් කරමින් සිටින හලාවත මේරියන්ස් කණ්ඩායම පළමු ඉනිම කඩුලු 9 කට ලකුණු 458 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා සී. සී. සී. කණ්ඩායමට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව ලකුණු 171 ක පළමු ඉනිමේ අවාසිය සමඟින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සී. සී. සී. පිල කඩුලු 2 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටියි. 

අද දිනයේදී සිදුවූ කැපී පෙනෙම සිදුවීම බවට පත්වූයේ යුද හමුදා කණ්ඩායම නියෝජනය කරනු ලබන දිනේෂ් චන්දිමාල් සිය පළමු පෙළ තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 354 ක් ලබා ගනිමින් නව ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරග වාර්තාවක් පිහිටුවීමට සමත්වීමය. 

සැරසන්ස් ක්‍රීඩා සමාජට එරෙහිව රැස් කරන ලද මෙම සුවිශේෂී ඉනිම ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තා බවට පත්විය. පන්දු 391 කදී වාර්තා වුණු චන්දිමාල්ගේ නොබිඳුණු ලකුණු 354 ක ඉනිම හයේ පහර 9 කින් සහ හතරේ පහර 33 කින් වර්ණවත් විය.

චන්දිමාල්ගේ සුවිශේෂී ත්‍රිත්ව ශතකය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වාර්තා වුණු 10 වැනි ත්‍රිත්ව ශතකය වුණු අතර එය පළමු පෙළ තරග අතර ලැයිස්තු ගත කිරීමේදී මහේල ජයවර්ධන විසින් 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී රැස් කරන ලද ලකුණු 374 ට පමණක් දෙවැනි වේ.

ජාත්‍යන්තර ටෙස්ට් තරග අංශය යටතේ මහේල ජයවර්ධන හැරුණු කොට ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය රැස් කරන ලද 340 ත්, බංග්ලාදේශයට එරෙහිව කුමාර් සංගක්කාර රැස් කරන ලද ලකුණු 319 ක ඉනිම හැර මෙරට දේශීය ක්‍රිකට් පිටියේදී වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසින් චන්දිමාල් විසින් අද රැස් කරන ලද ලකුණු 354 ක ඉනිම සටහන් විය. චන්දිමාල් විසින් අද බිඳ හෙළන ලද්දේ 2015 වසරේදී ටැමිල් යුනියන් කණ්ඩායම නියෝජනය කළ කිත්රුවන් විතානගේ, ගුවන් හමුදා පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 351 ක ඉනිම විය.

ෂෙහාන්ගේ ඉනිමෙන් මේරියන්ස් බලාපොරොත්තු ඉහළ යයි මාලින්ද කඩුලු 50 සමාජයට

අනුශූරතාවය දිනා ගැනීම පිළිබඳව දැඩි බලාපොරොත්තු තබා සිටින හලාවත මේරියන්ස් පිලට ෂෙහාන් ජයසූරිය රැස් කරන ලද වටිනා ශතකය හේතුවෙන් තරගයේ වැඩි වාසි තම කණ්ඩායම වෙත හරවා ගැනීමට අවස්ථාව උදාවී තිබේ. 

ලසිත් කෲස්පුල්ලේ සහ ඕෂධ ප්‍රනාන්දු එක්ව පළමු ඉනිමට ගොඩනංවන ලද ලකුණු 76 ක සාර්ථක සම්බන්ධතාවය ප්‍රධාන කොට පළමු ඉනිමේදී ලකුණු 171 කින් පෙරමුණ ගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්විය. ලකුණු 288 ක පළමු ඉනිමේ ඉලක්කයක් ප්‍රථමයෙන් සපුරා ගත් හලාවත මේරියන්ස් පිල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෂෙහාන් ජයසූරිය ලකුණු 108 ක් ලබා ගැනීමට සමත්වූවේය.

හතරේ පහර 13 කින් සහ හයේ පහර 3 කින් සමන්විත වුණු ජයසූරියගේ ඉනිම ලක්ෂාන් සඳකැන් බිඳ දැමීමට සමත් වුවත් ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 14 දී ලකුණු 8 ක දළ වේගයක් රඳවා තබා ගැනීමට මේරියන්ස් පිතිකරුවෝ සමත්වූහ. කෙසේ වෙතත් ඉනිම අවසන් වන විට මාලින්ද පුෂ්පකුමාර විසින් දවාගන්නා ලද කඩුලු 4 හැරුණු කොට සිය නම ඉදිරියෙන් කඩුලු 3 ක හිමිකරුවා බවට පත්වීමට සඳකැන්ට හැකියාව ලැබිණ. මේරියන්ස් පිලේ අවසන් පිතිකරුවා වූ නිමේෂ් විමුක්තිගේ කඩුල්ල දවා ගත්මාලින්ද පුෂ්පකුමාර මෙවර තරග වාරයේ කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නන් අතරට එක්විය.

සී.සී.සී පළමු ඉනිම පන්දු වාර ස59.5දී ලකුණු 287 – (ලසිත් අබේරත්න 68, ළහිරු මධුශංඛ 45, අෂාන් ප්‍රියංජන් 35, ලක්ෂාන් සඳකැන් 35,විශ්ව ප්‍රනාන්දු 16*, වනිඳු හසරංග 23, නිමේෂ් විමුක්ති 59/5, අසිත ප්‍රනාන්දු 75/3

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 87 කදී කඩුලු 9 ට ලකුණු 458 යි – ඕෂධ ප්‍රනාන්දු 85, ලසිත් කෲස්පුල්ලේ 50, රමේෂ් බුද්ධික 56, ෂෙහාන් ජයසූරිය 108, පුලින තරංග 34, කසුන් විදුර 61, තික්ෂිල ද සිල්වා 20, නිමේෂ් විමුක්ති 12, මාලින්ද පුෂ්පකුමාර 106/4, ලක්ෂාන් සඳකැන් 112/3)

සී.සී.සී. දවෙැනි ඉනිම පන්දුවාර 18 කදී කඩුලු 2 ට ලකුණු 68 යි – (මිනෝද් භානුක 25, කුසල් මෙන්ඩිස් 25*, රොන් චන්ද්‍රගුප්ත 14, ෂෙහාන් ජයසූරිය 17/2)

මැතිව්ස් 9000 පන්නයි 

අනුශූරතාව දිනා ගැනීමේදී හලාවත මේරියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින එන්. සී. සී. කණ්ඩායම මේ වන විට තරගයේ 50% කට වඩා වැඩි වාසි අත්කර ගැනීමට සමත්ව සිටියි. ඔවුන්ට මෙම තරගයේ ඉනිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් තවත් අවශ්‍යව පවතින්නේ කෝල්ට්ස් කණ්ඩායමේ කඩුලු 4 ක් පමණක් වන අතර ඉනිමක ජයග්‍රහණයක් සඳහා එන්. සී. සී. පිල සතුව තවත් ලකුණු 117 ක් ඉතිරිව තිබේ. 

කෝල්ට්ස් පළමු ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් රැස් කරන ලද අර්ධ ශතකය හැරුණු කොට සෙසු එකම පිතිකරුවකු ලකුණු 40 සීමාවට පැමිණීමට අපොහොසත් වූහ. දෙවැනි ඉනිමේදී සධීර සමරවික්‍රම ලකුණු 51 ක් ලබා ගත් අතර ලකුණු 30 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස් මස් පිඬු පෙරැළීයෑමේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. 18 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී මැතිව්ස් පිටියෙන් ඉවත් වූ අතර දිනය හමාර වන තෙක්ම පිටියට පැමිණීමෙන් වැළකී සිටියේය.  කෙසේ වෙතත් අද දිනයේදී ලකුණු 30 ක් රැස් කරගත් ඇන්ජලෝ මැතිව්ස් පළමු පෙළ තරග දිවියේ ලකුණු 9000 සීමාව ඉක්මවා ලීමට සමත්වූවේය. 

එන්.සී.සී.පළමු ඉනිම පන්දු වාර 88.2කදී ලකුණු 458යි – (ඇන්ජලෝ පෙරේරා 107, කමිල් මිෂාර 72*, ළහිරු උදාන 66, නිරෝෂන් දික්වැල්ල 57, සහන් ආරච්චිගේ 44, චතුරංග ද සිල්වා 41, දුෂ්මන්ත චමීර 28, දිල්රුවන් පෙරේරා 119/4, ප්‍රභාත් ජයසූරිය 117/4)

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 51 කදී ලකුණු 222 යි – (ඇන්ජලෝ මැතිව්ස් 52, සධීර සමරවික්‍රම 39, ඩිල්රුවන් පෙරේරා 27, නිසල් තාරක 22, අකිල ධනංජය 22, චතුරංග ද සිල්වා 56/5, අෂේන් ඩැනියෙල් 59/2, ලසිත් ඇඹුල්දෙණිය 47/2)

කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 37 කදී කඩුලු 6 ට ලකුණු 117 යි – (සධීර සමරවික්‍රම 51, ඇන්ජලෝ මැතිව්ස් 30, ඩිල්රුවන් පෙරේරා 12, අෂේන් ඩැනියෙල් 30/3, දුෂ්මන්ත චමීර 12/2)

චන්දිමාල් ලකුණු 1000 සමාජයට – ලකුණු 13 කින් පළමු තැන අහිමි වෙයි 

දිනේෂ් චන්දිමාල් විසින් රැස් කරන ලද අනුකම්පා විරහිත ත්‍රිත්ව ශතකය හේතුවෙන් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 8 කට ලකුණු 642 ක දැවැන්ත ඉනිමක් ගොඩ නැංවීමට යුද හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණ.

මෙම තරගයේදී චන්දිමාල්ගේ ත්‍රිත්ව ශතකය හැරුණු විට අශාන් රන්දික (63) සහ පැතුම් ඩිල්ෂාන් (67) අර්ධ ශතක වාර්තා කළේය. 

පළමු පෙළ තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වුණු චන්දිමාල්ගේ සුවිශේෂී ඉනිමත් සමඟ මෙවර තරග වාරයේදී ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනි පිතිකරුවා බවට පත්වීමට චන්දිමාල්ට අවස්ථාව උදාවිය. කෙසේ වෙතත් අද දිනයේදී චන්දිමාල් තවත් ලකුණු 13 ක් ලබා ගත්තේ නම් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් එන්.සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ලබා සිටින ලකුණු 1039 ඉක්මවා යෑමේ අවස්ථාව අවස්ථාව තිබිණ. මෙවර තරග වාරයේදී තරග 8 කට ක්‍රීඩා කළ චන්දිමාල් මේ වන විට ඉනිම 13 කදී ලකුණු 1027 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 93.36 ක් රඳවා තබා ගනිමිනි. එම ලකුණු සාමාන්‍ය මෙම තරගාවලියේදී පිතිකරුවකු ලබා ඇති ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් සටහන් වේ.  

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 156.2 කදී කඩුලු 8 ට ලකුණු 642 යි – (දිනේෂ් චන්දිමාල් 354, අශාන් රන්දික 63, තුලින ඩිල්ෂාන් 19, පැතුම් ඩිල්ෂාන් 67, ලක්ෂාන් එදිරිසිංහ 45, ජනිත් සිල්වා 35, හේෂාන් හෙට්ටිආරච්චි 16*, ප්‍රමෝද් මදුවන්ත 90/2, සාලිය සමන් 97/2, මොහොමඩ් ඩිල්ෂාඩ් 86/2)

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 20.3 කදී කඩුලු 2 ට ලකුණු 72 යි – (සිතාර ගිම්හාන් 26, ගමිඳු කනිෂ්ක 40*, දුෂාන් විමුක්ති (34/2)

ජය පැරදුමෙන් තොර තරගයක පෙර නිමිති 

ජය පැරදුමෙන් තොර තරගයක පෙර නිමිති පෙන්නුම් කරමින් පැවැත්වෙන මෙම තරගයේදී රාගම පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 491 කට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බී. ආර්. සී, පිල කඩුලු 2 කට ලකුණු 142 ක් ලබා සිටියි. බී. ආර්. සී. වෙනුවෙන් නිසල් ෆ්‍රැන්සිස්කෝ ලකුණු 50 ක් ලබාගත් අතර ශානුක දුලාජ් ලකුණු 59 ක් ලබා හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. 

රාගම පළමු ඉනිම පන්දුවාර 134.1 කදී ලකුණු 491 යි – (උදාර ජයසුන්දර 158, ළහිරු තිරිමාන්න 140, බිනුර ප්‍රනාන්දු 52, අමිල අපෝන්සු 38, ශෂික දුල්ශාන් 21, සුපේෂල ජයතිලක 18, ඉෂාන් ජයරත්න 36, හෂේන් රාමනායක 80/3, දුවිඳු තිලකරත්න 136/3)

බී. ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 42.4 කදී කඩුලු 2 ට ලකුණු 142 යි – (නිසල් ‍ෆ්‍රන්සිස්කෝ 50, ලසිත් ලක්ෂාන් 32, ශානුක දුලාජ් 59*)

Related posts

තණතීරුවෙන් ලොකු සහයක් ලැබුණා – ඇඹුල්දෙණිය

Chamila Karawita

Angelo Mathews injury sidelined: Sri Lanka takes wing today for 2-Test match series vs. South Africa

Web Admin

බංග්ලාදේශයට එරෙහි පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

Chamila Karawita