Featured News Padding Up Sinhala Column

විශිෂ්ඨ ක්‍රිකට් පරිපාලක එම්.රාජසිංහම් ජීවන ඉනිමට සමුදෙයි

මෑත කාලීන ක්‍රිකට් පරිපාලනයේ ඔහුගේ නම එතරම්ම ප්‍රචලිත නොවුණද ඉතිහාසය හාරා බැලීමේදී ඔහු ලක්දිව ක්‍රිකට් පරිපාලන කතාවේ පතාක යෝධයෙකි. මෙරට ක්‍රිකට් කෙළිමඬල පරිපාලනය කිරීමේදී එහි ප්‍රධාන තනතුරු රැසකට පණපෙවූ එතුමන් ඉකුත්දා සිය ජීවන කෙළිමඬලින් සදහටම සමුගනු ලැබුවේ එම්. රාජසිංහම් හෙවත් මුරුගයියා රාජසිංහම් යන නාමය සදා අමරණීය කර ගනිමිනි.

මිය යන විටත් ජීවන ගමනේ 83 වැනි කඩඉමේ පසුවුණු එතුමන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම්වරයකු මෙන්ම පරිපාලන තනතුරු රැසක කටයුතු කළේය. 1973 සිට 1978 දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප ලේකම්වරයා ලෙසින් කටයුතු කරන ලද රාජසිංහම් මහතා මිය යන විටත් කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයකු ලෙසින් කටයුතු කළේ වයස් ගතවීම සිය පරිපාලන ඥානයට බාධාවක් කර නොගනිමිනි. එතුමාගේ පරිපාලන ඥානය කොපමණද යන්න ඊටත් වඩා මිණුම් දණ්ඩක් අනවශ්‍යය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටු සාමාජිකයින් හැරුණු කොට ක්‍රිකට් ආයතන සේවයේ නියුතු සේවකයින් සිව් දෙනාගෙන් එක් අයෙකු ලෙසින් කටයුතු කරන ලද රාජසිංහම් මහතා, ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය උදාවුණු පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරීවරයා ලෙසින්  (Liaison officer) කටයුතු කිරීමට වාසනාව ලද්දෙකි.

1984 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සිදුකරන ලද තරග සංචාරයේදී එම කණ්ඩායමේ සහාය කළමනාකරු ලෙසින් කටයුතු කළ අප කථා නායකයා, අර්ජුන රණතුංග ඇතුළු සිංහ පිරිවර 1996 වසරේදී ‘විල්ස්’ ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී  ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලන අංශයේ කළමනාකරු ලෙසින් කටයුතු කරමින් කළේ සිය සේවයට මිල කළ නොහැකි වටිනාකමක් එක්කාසු කර ගනිමිනි.

සිය සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසුත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ඇප කැපවුණු ඒ මහතා තරගාවලි සංවිධාන කමිටුවෙහි සභාපතිවරයා ලෙසින් කටයුතු කරන ලදී. ඊට අමතරව අවශ්‍ය වූ විටෙක පත් කරනු ලබන විශේෂ විමර්ෂණ කමිටුවලද සාමාජිකයකු ලෙසින් අමිල මෙහෙයක් සිදුකර ඇති රාජසිංහම් මහතා, විනය සම්බන්ධව ඉතාම විනිවිධ භාවයකින් කටයුතු කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත් පුද්ගලයකු ලෙසින් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටියි.

1937 වසරේ පෙබරවාරි 08 වැනි දින මතුගමදී උපත ලද එම්.රාජසිංහම් මහතාගේ පියා මතුගම සිරිකඳුර වතුයායේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළේය. සහෝදරයන් තිදෙනකු සහ සහෝදරියන් තිදෙනකුට සමඟ හැදී වැඩුණු රාජසිංහම් මහතා සාමාන්‍ය පෙළ දක්වා මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේද උසස් පෙළ අළුත්ගම සහිරා විදුහලේදීද හදාරා තිබේ. රාජසිංහම් මහතා මානව සංවර්ධන (Human Resource) පිළිබඳව ඉන්දීය සරසවියක පශ්චාත් උපාධිධරයෙකු ද වේ.

පාසල් කාලයේ පටන් ක්‍රිකට් හා හොකී ක්‍රීඩාවන් වලට දක්ෂතා දැක්වූ අප කථා නායකයා පාසල් දිවියට සමුදීමෙන් පසු කෝල්ට්ස් සහ එස්.එස්.සී. යන ක්‍රීඩා සමාජයන් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළුණා පමණක් නොව වරාය හොකී කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් ලෙසින්ද සිය දායකත්වය ලබා දුන්නේය. ක්‍රිකට් පාලක මණ්ඩල පරිපාලනයට සහභාගිවීමට ප්‍රථම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ රාජ්‍ය වැවිලි සංස්ථාවේ රාජකාරියන්හි නිරතවුණු ඒ මහතා රාජ්‍ය වැවිලි සංස්ථාවේ පරිපාලන කළමණාකරු ලෙසින් පරිපාලන සේවය පිළිබඳ හසල දැනුමක් ලබා ගත්තෙකි .

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂකවරියක ලෙසින් කටයුතු කරන ලද පසුව ජාතික සංවර්ධන භාරකාර අරමුදලේ කාන්තා සහ ළමා පෝෂ්‍ය අංශ භාර නිලධාරිණියක ලෙසින් ක්‍රියා කළ සුරංගනී දයාරත්න මහත්මිය සමඟ 1988 මාර්තු 10 වැනිදා අතිනත ගත් රාජසිංහම් මහතා සැබැවින්ම කට දිව හැර කිව හැකි උතුම් ගති ගොන්නකින් පිරිපුන් පුද්ගලයෙකි. මේ සියල්ලම අද රාජසිංහම් මහත්මියට මෙන්ම ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයටම අමරණීය මතකයන් ගොන්නට එක්වී හමාරය.

වචනයකින් හෝ දෙකකින් හැඳින්විය නොහැකි ශ්‍රේෂ්ට පුද්ගලයකු වු එම්. රාජසිංහම් නම් වූ ඒ සොඳුරු මිනිසා අද සදහටම දෙනෙත් පියාගෙන අප හැර ගොස් අවසන්ය. එහෙත් ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ යුතු කම් සදා අමරණීයව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ තැන්පත් වනු ඇත.

Related posts

LPL ලාංඡනය එළි දක්වයි

Web Admin

Sri Lanka Cricket launches an Online Series of ‘Coaching Masterclass’

Web Admin

වෙළෙඳ සේවා තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කණ්ඩායමක්

Web Admin