Featured LPL Media Centre News

කලම්බු කිංග්ස් ජයග්‍රාහී රිද්මය ‘අන්ඩර්ඩෝග්ස්’ලා නතර කරයිද…?

Chamila Karawita reporting from Hambantota 

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 සටන හෙවත් අවසන් පූර්ව සටන හෙට (13 දා) කලම්බු කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයෙන් ආරම්භ වේ. මූලික වටය යටතේ පැවැති තරග මෙන් නොව හෙට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ප.ව. 7 ට ආරම්භ වනු ඇත.

තරගාවලිය සඳහා වූ ක්‍රීඩක තෝරා ගැනීමේදී ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් අතර ඉදිරියෙන්ම පසු වුණු කණ්ඩායම වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් කණ්ඩායමයි. මූලික තරග වටයේ තරග වැදි පළමු තරග 5 ම පරාජයට පත් වූ නමුත් අවසන් මොහොතේදී දක්ෂතා අතරට පැමිණීමට සමත්ව සිටින ගෝල් ග්ලැඩියේටර් පිලද අවතක්සේරුවකට ලක් නොකළ හැකි කණ්ඩායමකි.

තරගාවලියේ රැඳී සිටීමට අත්‍යවශ්‍යම තරගය බවට පත් වුණු කලම්බු කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගය පහසුවෙන් ජය ගනිමින් අති භයානක කණ්ඩායමක් බව පෙන්නුම් කිරීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සමත්විය.

අවසන් මහ තරගයට එක් කඩඉමක් අභියස සිටින මෙම කණ්ඩායම් 2 ම ඊයේ ආලෝක ධාරා මධ්‍යයේ සිය පුහුණුවීම් වල නිරත වෙමින් ඔවුන් සතු දක්ෂතා තවත් මුවහත් කරගනු දැක ගත හැකි විය. මූලික වටය යටතේ පුහුණුවීම් සඳහා පුහුණු දැල් පමණක් භාවිතා කිරීමට කණ්ඩායම් වලට අවස්ථාව හිමිවූ නමුදු අවසන් පූර්ව තරග සඳහා වූ පෙර පුහුණුවීම් සඳහා තරගාවලිය ක්‍රියාත්මක මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතීරුව ලබා දීමට කටයුතු කර තිබීම කැපී පෙනෙන කරුණක් බවට පත්විය. 

කලම්බු කිංග්ස්

මූලික වටයේ සහභාගිවුණු තරග 8 න් 6 ක්ම ජය ගැනීමට සමත්ව සිටින කලම්බු කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙමින් අද තරගයට සහභාගිවේ. කලම්බු කිංග්ස් කණ්ඩායම දෙසින් ඇති ප්‍රධානතම සුබවාදී සලකුණ වන්නේ කණ්ඩායමේ සියල්ලන්ම දක්ෂතා අතරට පැමිණීමට සමත්ව සිටීමයි. ඒ අතරින් ආරම්භක පිතිකරුවන් යුගලය වන දිනේෂ් චන්දිමාල් සහ ලෝරි එවන්ස් කණ්ඩායමේ වැඩි බරක් දරනු ලබන පිතිකරුවන් යුගලය වේ. එම ප්‍රධාන බර අවි දෙකට අමතරව ඇන්ඩ්‍රෙ රසල්, අශාන් ප්‍රියන්ජන්, තික්ෂිල ද සිල්වා මෙන්ම ඩැනියෙල් බෙල් සඳහන් කළ හැක. දඹුල්ල වයිකින්ස් පිලට එරෙහි තරගයේදී කයිස් අහමඩ් ද අර්ධ ශතකයක් වාර්තා කරමින් නොපෙනන මානයක තිබූ ජයග්‍රහණයකට කණ්ඩායම රැගෙන යෑමට සමත්වීමට සමත්වීම ඔවුන් සතු පිතිකරණ ශක්තිය මොනවට කියා පාන්නකි.  

පිතිකරුවන්ගේ තත්ත්වය එසේ වුවත් හෙට දිනයේදී ඔවුන් මුහුණ දී සිටින බරපතල ගැටළුව බවට පත්ව ඇත්තේ ආරම්භක පිතිකරු ලෝරි එවන්ස්ගේ සහභාගිත්වය අවිනිශ්චිතව පැවැතීමයි. දඹුල්ල වයිකින්ස්ට එරෙහිව පැවැති තරගයේ පන්දුවට පහර දෙමින් සිටියත් එවන්ස් ආබාධයකට මුහුණ දුන් අතර පිතිකරණය පසෙක තබා ඔහු පිටියෙන් ඉවත් විය. මෙවර තරගාවලියේ එකම ශතක ලාභියා බවට පත්ව සිටින එවන්ස් පිටියෙන් ඉවත් වන විට පන්දු 24 කදී ලකුණු 53 ක් ලබා සිටියේය. 

පෞද්ගලික හේතූන් මත කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂල් ගිබ්ස් ඉවත් වීම මත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් නායක රංගන හේරත් මහතා කටයුතු කරන අතර ඔහුගේ අධීක්ෂණයෙන් අද දිනයේ පුහුණු සැසිය පැවැත්විණ. කෙසේ වෙතත් අද දිනයේදී නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ඇන්ඩ්‍රෙ රසල් පුහුණු සැසිය සඳහා සහභාගිවීමෙන් වැළකී සිටියහ.

ඇන්ජලෝ මැතිව්ස් 

තරගය පිළිබඳව අදහස් දැක්වූ කලම්බු කිංග්ස් නායක ඇන්ජලෝ මැතිව්ස්,  ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටීමට හැකි වුවද හෙට තරගය පැරදුනද තම කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවන බවයි. එම තත්ත්වය මත මෙම තරගය තමන් ඇතුළු කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන දෙන බවද සඳහන් කර සිටියේය.

“අවසන් පූර්ව තරගයකට ක්‍රීඩා කරනවා කියන්නේ ඕනෑම කණ්ඩායමකට ලොකු පීඩයක්. අපි ගෲප් ලීඩර්ස්ලා වුණා කියලා ඒකෙන් කිසිම වාසියක් නෑ. මොකද පළමු වටයේ තරග 8 න් 6 ක් ජය ගත්තත් හෙට තරගය පැරදුණොත් අපිට ගෙදර යන්න වෙන නිසා. හෙට අනිවාර්යයෙන්ම හොඳට ක්‍රීඩා කරන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. මොකදගාල්ල කණ්ඩයමත් ඉතාමත් හොඳයි. ඔවුන්ව කිසිසේත්ම සැහැල්ලුවට ලක් කරන්න බැහැ. ධනුෂ්ක (ගුණතිලක) හොඳටම ක්‍රීඩා කරනවා. ඒ වගේම ඔවුන් සතුව දේශීය මෙන්ම විදේශීය දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. ඒක නිසා හෙට තරගයේදී හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

අපේක්ෂිත කණ්ඩායම – දිනේෂ් චන්දිමාල්, ලෝරි එවන්ස්, හස්රාතුල්ලා සසායි, ඩැන්යෙල් බෙල්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඇන්ඩ්‍රෙ රසල්, අශාන් ප්‍රියන්ජන්, තික්ෂිල ද සිල්වා, ඉසුරු උදාන, කයිස් අහමඩ්, තරිඳු කෞෂාල්, දුෂ්මන්ත චමීර. 

ගෝල් ග්ලැඩියේටර්

අභිනව තරගාවලියේ වඩාත්ම පෙරැළිකාර කණ්ඩායම ලෙසින් හැඳින්විය හැකි ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම ධනුෂ්ක ගුණතිලකගේ ඒක පුද්ගල දක්ෂතා මත අවසන් කණ්ඩායම් 4 සුදුසුකම් ලද කණ්ඩායමක් යැයි හැඳින්වීම කිසිදු වරදක් නොමැත. සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරග 8 කදී ලකුණු 462 ක් රැස් කර ගැනීමට ධනුෂ්ක සමත්ව සිටින්නේ ඉනිමක සාමාන්‍ය 77 ක අගයක් රඳවා ගනිමිනි. කෙසේ වෙතත් ඔහු අද පැවැති පුහුණු සැසියට සහභාගිවීමෙන් වැළකී සිටි නමුත් එකී කාලය සිය ශාරීරික යෝග්‍යතා ව්‍යායාම වෙනුවෙන් කැප කළේය. 

කෙසේ වෙතත් අවසන් තරග 3 ට ක්‍රීඩා කිරීමේදී සෙසු පිතිකරුවන්ද දක්ෂතා අතරට පැමිණ සිටීම ගෝල් ග්ලැඩියේටර් කඳවුර සුභවාදී ආකල්ප එක් කරන්නකි. මෙවර තරගාවලියේ වැඩිම නවක ක්‍රීඩකයින් පිරිසක් ක්‍රීඩා කරනු ලබන කණ්ඩායමක් බවට ගෝල් ග්ලැඩියේටර් පිල පත් වුවද අවසන් මොහොතේදී කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන්, නායක භානුක රාජපක්ෂ මෙන්ම අසාන් අලී ලකුණු අතරට පැමිණීමට සමත්වීම හෙට තරගයේ ප්‍රතිවාදීන්ට අනතුරු හඟවන්නකි. 

පිතිකරණ අංශය එසේ පවතිද්දී වමත් වේග පන්දු යවන මොහොමඩ් අමීර් එම කණ්ඩායම සතු පන්දු යවන්නන්ගේ වැඩි වගකීමක් පැවැරී ඇති පන්දු යවන්නා වේ. මෙවර තරගාවලියේ කඩුලු 5 ක් ලද පළමු සහ එකම පන්දු යවන්නා බවට පත්ව සිටින අමීර් වේග පන්දු යවන්නකු සතුවිය යුතු රිද්මය පවත්වාගෙන යෑමට සමත්ව සිටියි. ඒ අතර ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන නුවන් තුෂාරද ලකුණු ලබා ගැනීමේ වේගය මෙන්ම කඩුලු දවා ගැනීමටද දක්ෂතාවය පෙන්නුම් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තු වැඩි කරවන්නකි. කෙසේ වෙතත් අවසන් තරගයේදී නුවන් තුෂාර දණ හිසේ ආබාධයකට මුහුණ දුන් නමුත් අද දිනයේ පැවැති පුහුණු සැසියේදී ඔහු සිය පන්දු යැවීමේ පුහුණුවීම් වල නිරත විය. 

භානුක රාජපක්ෂ 

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට තේරී පත් වූ කණ්ඩායම බවට පත් වුවද මූලිකව පරාජයට පත් වුණු තරග 5 න් කීපයක්ම ජය ගැනීමට සිය කණ්ඩායමට අවස්ථාවක් තිබූ නමුත් සිදුවූ අතපසුවීම් තුළින් එම අවස්ථා සියල්ල ගිලිහී ගිය බව සඳහන් කර සිටියේය.

“ඇත්තටම කියනවා නම් මේ තරගයට අපේ පෙර සූදානම ඉතා හොඳයි. විශේෂයෙන්ම අපි මැදදි හොඳ පුහුණු සැසියක් පැවැත්වීමට හැකියාව ලැබුවා. අපි ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයට ආවත් තරග 2 කට වඩා ජයග්‍රහණය කරන්න අවස්ථාව තිබුණා කියලා මම විශ්වාස කරනවා. නමුත් අපේම වැරදි නිසා ඒ දේ කරගන්න බැරි වුණා. ඒ වැරදි හින්දා තමයි අපිට ඒ දේවල් හදාගෙන මේ තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බ වුණේ. අනිත් එක අපිව හැමෝම හැඳින්වුවේ ‘අන්ඩර්ඩෝග්ස්ලා’ (අවතක්සේරුවෙන් යන අර්ථය). ඉතිං ඒක හින්දා අපිට පීඩනය කියන එක අඩුයි. ඇත්තටම පීඩනය තියෙන්නේ ගොඩක්ම කලම්බු කණ්ඩායමට. තරග 2 ක් දිනලත් අපිට ෆයිනල් එන්න අවස්ථාවත් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බලාපොරොත්තු වෙනවා”යි පවසා සිටියේය.  

අපේක්ෂිත කණ්ඩායම – ධනුෂ්ක ගුණතිලක, හස්රාතුල්ලා සසායි, අසාන් අලී, භානුක රාජපක්ෂ (නායක), අසාම් ඛාන්, ෂෙහාන් ජයසූරිය, සහන් ආරච්චිගේ, ධනංජය ලක්ෂාන්, ලක්ෂාන් සඳකැන්, මොහොමඩ් අමීර්, නුවන් තුෂාර. 

Related posts

Army SC, Ragama CC, Badureliya CC and NCC through to semi-finals

Web Admin

ඩැරන් සමී පවා කණගාටු වුණු ධනුෂ්ක ගුණතිලකගේ අළුත්ම දැවී යෑම

Chamila Karawita

මේක තමයි විය යුත්තේ – දසුන් ශානක

Chamila Karawita