Featured LPL Media Centre News

බෝල් 106 ක් ඩොට් දාපු හැටි ගැන වනිඳුගෙන් ‘හෙළිදරව්වක්’

Chamila Karawita

වනිඳු හසරංග යනු ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ පසු පස සිටි යෝධ සෙවණැල්ල වූ ක්‍රීඩකයා යැයි කිවහොත් නිවැරදිය. මන්ද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතාව දක්වා පැමිණි ගමනේදී වනිඳුගේ පන්දු යැවීම ඒ තරම්ම ඉවහල් වූ බැවිනි. එය වඩාත් සාධාරණීය වන්නේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් පමණක් නොව තරගාවලියේ වීරයා සම්මානයෙන්ද වනිඳු පිදුම් ලැබූ බැවිනි. තරගාවලිය තුළ ජැෆ්නා ස්ටැලියන්ස් පිල ක්‍රීඩා කරන 10 දීම වනිඳුගේ පන්දු යැවීම කැපී පෙනුණි.

“ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවේ පැවැත්වුණු පළවැනි තරගාවලිය ජයග්‍රහණය කරන්න ලැබුණු එක ගොඩක්ම සතුටුයි. ඒ වගේමයි තරගාවලියේ වීරයා වීමට හැකිවීමත්. එවැනි සම්මානයක් ගන්නවා කියන්නේ ඕනෑම කෙනෙක්ට සතුටුයි. ඒ වගේම මට මේ සම්මානය ගන්න උදව් කරපු අයට ස්තූති කරගන්න මෙය අවස්ථාවක් කරගන්නවා”යි නියමතමානීත්වයෙන් වූ තම සතුට වනිඳු බෙදා ගත්තේ එසේය.

අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව සිය පළමු එල්.පී.එල්. සටන දියත් කළ වනිඳු යවන ලද පන්දුවාර 4,  ලකුණු 12 ක් පමණක් දී කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූවේය. එතැන් පටන් ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිවම පැවැති අවසන් මහ තරගය වන තෙක් පන්දුවාර 37 ක් හෙවත් පන්දු 222 ක් ක්‍රියාත්මක කළ දකුණත් පා දඟ පන්දු යවන්නා ඒ අතුරින් පන්දු 106 ක් නිලකුණු පන්දු ලෙසින් යැවීමට සමත්වී තිබේ. මෙම ප්‍රතිශතයක් ගෙන බැලීමේදී 48% ක කට ආසන්න සංඛ්‍යාවකි.

පන්දුවාර 20 තරග අංශයේ සාර්ථක පන්දුවාරයක් යනු ලකුණු 7 ක් හෝ 8 කට අඩුවෙන් තබා ගැනීම ලෙසින් වත්මන් ක්‍රිකට් ලොව සැලකුවද වනිඳු පන්දුවාරයක පන්දු සංඛ්‍යාවට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් හෙවත් 5.27 ක් රඳවා ගැනීමට සමත්වීම ඔහු කෙතරම් සාර්ථක පන්දු යවන්නකු වූවේදැයි පෙන්නුම් කිරීමට තවත් වෙනත් මිණුම් දණ්ඩක් අවශ්‍ය නොවේ.

අවසන් මහ තරගය ඇතුළුව තරග 10 කට ක්‍රීඩා කළ වනිඳු කඩුලු 17 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේ ඔහුට පිටුපසින් සිටින ධනංජය ලක්ෂාන්ට වඩා කඩුලු 4 ක් ඉදිරියෙන් සිටිමිනි. වනිඳුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 11.29 ක් ලෙස සටහන්වේ. වනිඳුගේ පන්දු වලට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායම් වල පිතිකරුවන් එල්ල කිරීමට සමත්ව ඇත්තේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් පමණක් වන අතර එහි සමස්ථ එකතුව ඔහු දවා ගත් කඩුලු සංඛ්‍යාවට වඩා වැඩි වන්නේ දෙකකින් පමණක් වීමද විශේෂත්වයක් වේ.

එමෙන්ම මෙවර තරගාවලියේ නිලකුණු පන්දුවාර යැවීමට පන්දු යවන්නන් තිදෙනෙකු පමණක් සමත්වී සිටින අතර ඒ අතරින් නිලකුණු පන්දුවාර 2 ක් යැවීමට සමත්ව ඇත්තේ වනිඳු පමණි. වනිඳුට අමතරව නිලකුණු පන්දුවාර 1 බැගින් යැවීමට සමත්ව සිටින්නේ ගෝල් ග්ලැඩියේටර් පිලේ මොහොමඩ් අමීර් සහ කැන්ඩි ටස්කර්ස් පිලේ අසේල ගුණරත්න පමණි.

“පළවැනි තරගයෙ ඉඳන් ගත්තහම මේ වගේ තණතීරුවක දඟ පන්දු යවන්නන්ට විතරක් නොවෙයි වේග පන්දු යවන්නන්ටත් පන්දු යවන එක ලේසි නෑ. මොකද පිතිකරුවන්ට යෝග්‍ය නිසා. ඒ වගේම හතරේ සීමාවත් ටිකක් ළඟ නිසා. ඒ නිසා මම පුලුවන් තරම් ට්‍රයි කළේ ඩොට් බෝල් (නිලකුණු පන්දු) දාන්න. අන්න ඒ උත්සාහය තමයි මම මේ තරගාවලියේ සාර්ථක පන්දු යවන්නකු බවට මාව පත් කළේ”යි පන්දු යවන්නකු ලෙස සාර්ථකවීමේ රහස වනිඳු ගෙන හැර පෑවේය.

“මම එහෙම ඩොට් බෝල් දානකොට, මට පුලුවන් වෙනවා පිතිකරුවා තුළට පීඩනය යොමු කරනවා. ඒ වගේ පීඩනයකට පත් කරමින් ඔහු නරක පහරවල් වලට පෙළැඹෙනවා”යි පැවැසූ වනිඳු, “මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ විකට්ටුව තුළටම පන්දුව යොමු කරන්න. ඒක තමයි මම පන්දු යවන්නකු විදියට සාර්ථක වෙන්න ලොකුම හේතුව වුණේ”යි පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2017 වසරේදී සිම්බාබ්වේට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත්වන වනිඳු සිය මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වාසනාවන්ත වන්නේය. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් එක්දින කණ්ඩායමට පැමිණි වනිඳු 2019 වසර වන තෙක් එක්දින තරග 15 කදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබූ නමුත්, විස්සයි-20 තරගයකට ක්‍රීඩා කරන ලද්දේ 2019 වසරේදී විය.

පා දඟ පන්දු යවන්නකු ලෙස සිය දායකත්වය ලබා දෙන වනිඳුගේ වඩාත්ම භයානක අවිය ලෙසින් භාවිතයට ගනු ලබන්නේ ‘ගුග්ලි’ පන්දුව වේ. වෙනත් පා දඟ පන්දු යවන්නන් යවන ගුග්ලි පන්දු මෙන් නොව වනිඳුගේ ඇති විශේෂත්වය වන්නේ පන්දුව යැවීමේදී එය ගුග්ලි පන්දුවක්ද නැතහොත් පා දඟ පන්දුවක්ද යන්න පිතිකරුවාට කල්තියා හඳුනා ගැනීමට නොහැකි වීමය. මන්ද යත් එම පන්දු දෙකම ඔහු යවනු ලබන්නේ එක හා සමාන ඉරියව්වකින් වන බැවිනි.

“ඇත්තටම මම කණ්ඩායමට ආපු දවසේ ඉඳන් මේ වනකම් ගොඩක් මහන් වුණා. විශේෂයෙන්ම ‘ගුග්ලි’ පන්දුව යැවීම පිළිබඳව. ඇත්තටම මට කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් තිබුණේ නෑ. ඒක නිසා මම තේරුණා මගේ පන්දු යැවීම වැඩි දියුණු කර ගන්න පුලුවන් නම් මට කණ්ඩායමේ ස්ථානයක් ලබාගන්න පුලුවන් කියන එක. ඒක නිසා මම ඒ ගැන ගොඩක් අත්හදා බැලීම් කළා. විශේෂයෙන්ම පන්දුව එකම ස්ථානයකට පතිත කරවන එකේ ඉඳන්. ඒ වගේම ගුග්ලි පන්දුව. මම පන්දු යවන්න ඇවිත් යොමු කරන පළමු පන්දුව ගුග්ලි පන්දුවක් යැවීමට හැකිවන තරමේ විශ්වාසයක් ඇති වන තරමට මම ඒ දක්ෂතාවය වැඩි දියුණු කරගත්තා. ඒ වගේම මගේ ඇඟේ පිහිටීම අනුව ගොඩක් පිතිකරුවන්ට මගේ පා දඟ පන්දුවයි ගුග්ලි පන්දුවයි එක වර හඳුන ගන්න බැරි එකත් මට වාසියකට හිටිනවා”යි වනිඳු  පන්දු යවන්නකු ලෙසින් සාර්ථකත්වයට පැමිණි ගමන පිළිබඳව කෙටි විස්තරයක් ගෙන හැර පෑවේය.

කෙසේ වෙතත් මෙම දඟ පන්දු යවන්නා දීර්ඝ තරග අංශය හෙවත් ටෙස්ට් තරග අංශයටද සිය දක්ෂතාවය රැගෙන ඒමට සමත්ව සිටියි. එහෙයින් ඔහුට එළැඹෙණ දෙසැම්බර් 26 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා වන කණ්ඩායමට ඇතුළත්වීමේ අවස්ථාව උදාවී තිබේ.

Related posts

Buoyed Sri Lanka will go flat out in second ODI at Hambantota

Web Admin

Match ticket sale for the New Zealand Tour of Sri Lanka commences

Web Admin

England tour dates for Sri Lanka 2020 announced

Web Admin