England Test Tour of Sri Lanka 2021 Featured Media Centre News

එංගලන්ත පන්දු යැවීම ගැන මැතිව්ස්ගෙන් තක්සේරුවක්

Chamila Karawita reporting from Galle

ශ්‍රී ලංකා පිල රැස් කර ගත් ලකුණු 381 කට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම 7 වැනි ඕවරය වන විට පිටියට පිවිසි නායක ජෝ රූට්,  පන්දු යවන්නන්ගෙන් එල්ල වුණු පීඩනය නොතකා එංගලන්ත පිල දෙවැනි දින අවසනදී රැස් කරන ලද ලකුණු 98 න් 67 කම හිමිකරුවා බවට පත්වූවේය. රිවර් ස්වීප් පහර වලින් ගහණ වුණු රූට්ගේ ඉනිම වඩා ගොඩ නැඟුණු බෙයාර්ස්ටෝ ද ලකුණු 24 කින් සිය නායකයාට සහයෝගය ලබා දුන්නේය.

ඒ අනුව තරගය හෙට දිනයේදී ආරම්භ කරන විට ශ්‍රී ලංකා ඉනිම අභිබවා යෑමට එංගලන්ත පිලට තවත් ලකුණු 283 ක් අවශ්‍යය. වඩාත් අවධානයට යොමුවන කරුණ බවට පත් වන්නේ සවස් යාමයේ සිට තණතීරුව දඟ කැවීමට පටන් ගෙන තිබීමයි.

“තණතිල්ල පළවැනි තරගයට වඩා ඉතාමත් හොද තණතිල්ලක. පළවැනි දවස් එකහමාරෙ පන්දුව ඒ තරම් දඟ කැවුණේ නෑ” යි සඳහන් කර සිටි ශ්‍රී ලංකා පිලේ පළපුරුදම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්, “ඒත් හවස් යාමයේ ඉඳන් හොඳට පන්දුව දඟ කැවෙනවා” යි තණතීරුවේ හැසිරීම පිළිබඳව වාර්තාව යාවත්කාලීන කළේය.

දෙවැනි දවස නිමාවත් සමඟ අදහස් දැක්වීම සඳහා මාධ්‍ය වෙත පැමිණි මැතිව්ස් තණතීරුවේ වත්මන් ස්වභාවය පිළිබඳව අදහස් දැක්වීය.

“ජෝ රූට් සහ බෙයාර්ස්ටෝ කියන්නේ දඟ පන්දුවට හොඳම ක්‍රීඩා කරන දෙන්නෙක්. නමුත් හෙට දිනයේ පළමු පන්දුවාර 3 ඇතුළතදී ඔවුන් දෙදෙනාගෙන් එක් කඩුල්ලක් දවා ගන්න පුලුවන් වුණොත් ලොකු අත්වැළක් වෙයි තරගයෙන් ඉදිරියට යන්න. දැන් තණතිල්ල දඟ කැවෙන නිසා අපි හොඳට පන්දු යැව්වොත් අනිවාර්යයෙන්ම කඩුලු දවා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. හෙට දවසේදි අපේ බලාපොරොත්තුව තමයි ඒක” යි මැතිව්ස් අදහස් දක්වයි.

පළමු ඉනිමේදී ලකුණු 400 සීමාවේ ආසන්නයට යෑම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලබා ගන්නා ලද ශතකය ශ්‍රී ලංකා පිලට ආභරණයක් බඳු වීය. ඉතාමත් වෙහෙසකර පිතිකරණයක් අවසානයේ මැතිව්ස් පළමු දිනයේදී ලකුණු 107 ක් රැස් කළ නමුත් දෙවැනි දිනය තුළදී ඔහුට තවත් එක් කර ගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. “සතුටුයි. හැබැයි ඒ වගේම කණගාටුයි. මොකද අද දිනයේදී මට ලකුණු පුවරුවට දෙන්න පුලුවන් වුණේ ලකුණු 3 ක් විතරයි. තව ටිකක් වෙලා බැට් කළා නම් තවත් ලකුණු ටිකක් ගන්න අවස්ථාවක් තිබුණා. නමුත් 381 කියන්නේත් අපි හොඳ තත්ත්වයක ඉන්නවා කියන එක. කිව්වා වගේ කඩුලු 2 න් එකක් ඉක්මනින් දවා ගත්තොත් තරගය ජය ගන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා”යි තම ඇන්ජලෝ සඳහන් කර සිටියේය.

නුහුරු දේශගුණයක සහ නුහුරු තණතීරුවක ක්‍රීඩා කළද එංගලන්ත කණ්ඩායම මෙම තරගයේදී ඉතාමත් හොඳින් පන්දු යැවූ බව මැතිව්ස්ගේ අදහසයි. “ඇත්තටම කළින් තරගයේද් ස්ටුවර්ට් බ්‍රෝඩ් බෝල් කරා වගේ මේ තරගයේදී ඇන්ඩර්සන් ඉතාමත් හොඳට පන්දු යැව්වා. ඔහු ඔහුගේ අත්දැකීම් උපරිම පාවිච්චි කරලා පන්දු යැව්වා. ඒ වගේම තමයි ඔවුන් කොච්චර අව්ව සැර වුණත් පන්දු යැවීම අමාරු වුණත් ඉතාමත් හොඳට පන්දු යැව්වා. ඒක අපේ පන්දු යවන්නන්ට හොඳ පාඩමක්. මොකද අව්ව වැටෙන්න වැටෙන්න මහන්සිය වැඩියි. ඒ අවස්ථාවේදී අපි පන්දු යැවිය යුත්තේ ඔවුන්ට ලකුණු ලබාගත නොහැකි වන විදියට. අපිට දඟ පන්දු යවන්නන් තුන්දෙනෙක් ඉන්නවා. මට විශ්වාසයක් තියෙනවා හෙට දිනයේදී ඔවුන් වගකීම හරියටම කරයි කියලා” යි මැතිව්ස් කියයි.

“ඔවුන්ගේ කණ්ඩායම ඉතාම සමබර කණ්ඩායමක්. පිතිකරණය සහ පන්දු යැවීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉන්නවා. අපි දැනගෙන සිටියා මේ අභියෝගයට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා කියලා. මං හිතන්නේ මම පන්දු දෙසිය ගාණක් සෙල්ලම් කරන්න වුණා ඒ ශතකය ලබා ගන්න. වෙන කණ්ඩායම් අවතක්සේරු කරනවා නොවෙයි. මේ විකට් එකේ පන්දු 200 ක් බැට් කළොත් මං හිතන්නේ ලේසියෙන්ම ලකුණු 150 ක් 170 කට එහා ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් එංගලන්ත කණ්ඩායම පන්දු යැවූ ආකාරය අපි දැක්කොත්, පන්දු රකින්නන් ස්ථාන ගත කිරීම ඉතාම ඉහළ මට්ටමක තිබුණා. විශේෂයෙන්ම තණතීරුවෙන් සහායක් නොලැබෙන අවස්ථාවලදී පවා ඔවුන් අපිට ලේසියෙන් ලකුණු ලබා ගන්න අවස්ථාවක් ලබා දුන්නේ නෑ. ඒකම තමයි මේ තරගයේදී අපේ පන්දු යවන්නන්ට ලබා ගන්න පුලුවන් දේ. මොකද ඔවුන් කොච්චර සීතල රටකින් ආවත්, කොච්චර අව්වේ මහන්සි වුණත් අපිට ලේසියෙන් ලකුණු ලබාගන්න දුන්නේ නෑ. ඔවුන් පළවැනි දවස විතරක් නොවෙයි දෙවැනි දවසත් හොඳටම පන්දු යැව්වා. තණතිල්ලලේ එතරම් උදව්වක් නැත්නම් පුලුවන් තරම් ලකුණු ලබා දෙන්නේ නැතුව තණතීරුව දායකත්වයක් දක්වනකම් හොඳට පන්දු යවන්න ඕන” යි හෙට දිනයේදී ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව මැතිව්ස් අදහස් දක්වා සිටියේය.

Related posts

CCC trounce Ragama CC by an innings and 125 runs: Others Drawn

Web Admin

මාලිංගගේ සමුගැනීමේ තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Web Admin

යොවුන් පිලෙන් ලකුණු 229 ක අභියෝගයක්

Chamila Karawita