Sinhala Column

ශාරීරික යෝග්‍යතාවය තබා ගැනීම ක්‍රිඩකයා සතු කාර්යයක් – අනුර තෙන්නකෝන් | යෝග්‍යතාවය සඳහා අපි එදා පිදුරුතලාගලට දුවලා බහිනවා – බන්දුල වර්ණපුර

ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයන් අතිතයේ දී පවත්වා ගෙන ගිය අයුරුත් ක්‍රිඩයන් ඒ සඳහා උනන්දුවෙන් අවධානය යොමු කළ ආකාරය පිළිබඳවත් ශ්‍රි ලංකවට ටෙස්ට් තත්ත්වය හිමි විමට පෙර සිටි නායක වත්මන් ක්‍රිකට් උපදේශක අනුර තෙන්නකෝන් සහ ශ්‍රි ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමි විමෙන් පසු නායකත්වය දැරු පසුව ආසියානු ක්‍රිකට් සංගමයේ මෙහෙයුම් අධ්‍යක්ෂක සහා ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන ප්‍රධාන විධායකවරයෙකු වූ බන්දුල වර්ණපුර විග්‍රහා කළ අයුරු පහත දැක්වේ.

මොනයම් අවධියක වුවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ශාරීරික යෝග්‍යතාවය රැකගැනීම එම ක්‍රිකට් ක්‍රිඩකයා සතු කාර්යයක්. ඒ සඳහා දැඩි උවමනාවකින් උදේ සවස සහ හැකි සැම විටම උනන්දු විය යුතුයි. මෙයට අදාළ වන ශාරීරික ව්‍යායාම කිරීමට අතීතයට වඩා වත්මන් කාලයේ උපකරණත් උපදේ‍්ශකයනුත් සිටිනවා. එදා නොමැති අද බහුලව ඇති මේ පහසුකම්වලින් ප්‍රයෝජන ගැනීම ක්‍රීඩකයනගේ කාර්යයක්. කායික විද්‍යාඥයින්ගේ (Physio) කාර්යය වන්නේ අබාධයට ලක් වන ක්‍රිඩකයාට ප්‍රතිකාර කිරීමයි. ෆිට්නස් (යෝග්‍යතාව) නිරතුරුව රැක ගැනීම ක්‍රිඩකයා සතු කාර්යයක් වන්නේ යැයි ද අනුර තෙන්කෝන් ප්‍රකාශ කරයි.

අනුර තෙන්නකෝන් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය දැරෑ එක්දහස් නවසිය හැට හැත්තෑව දශකයන්හි ක්‍රිඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පිළිබඳ අදහස් දැක් වු හෙතෙම අපගේ කාලයේ නම් ශාරීරික අභ්‍යාස සඳහා උපකරණ හෝ උපදේශකයන් කිසිවෙකු සිටියේ නෑ. අපගේ ශාරීරික යෝග්‍යතාව රැක ගත්තේ අපිමයි. එතෙර සංචාරයක් එන විට මාසයකට කළින් උදේ සවස අපි ව්‍යායාම කරනවා.

යුධ හමුදාවේ හෝ ආරක්ෂක සේවාවන්හි නිලධාරීන් දෙදෙනෙකු අපව ව්‍යායාම්වල නිරත කරනවා. අප බොහෝ විට ව්‍යායාම් කරන්නේ එන්.සී.සී. හෝ එස්.එස්.සී. ක්‍රිඩාංගණවලයි. ව්‍යායාම් ක්‍රමානුකූලව කළ යුතුයි. වැඩිපුර ව්‍යායාම් ද සිරුරරට ඔරොත්තු දෙන්නේ නෑ. ක්‍රිකට් ක්‍රිඩකයෙකුට හොකී සහ බැඩ්මින්ටන් ක්‍රිඩා කිරීමෙන් අමතර ව්‍යායාම් ඉබේ ලබා ගත හැකි බව ද අනුර තෙන්නකෝන් කීය.

මට මේ අවස්ථාවේ රසවත් සිදුවීමක් මතකයට එනවා. අප වරක් එංගලන්ත සංචාරයට පෙර මෙහි හොඳින් ම ව්‍යායාම් කළා. යම් සිද්ධියකට එම සංචාරය අවලංගු වුවා. ඊට සහභාගී විමට සිටි වේග පන්දු යවන සිල්වෙස්ටර් ඩයස් මට දිනක් අතර මඟදී මුණ ගැසුණා. ඔහු කීවා කැප්ටන් (නායකයා) අපි ටුවර් එකට උදේ හවස දුවපු දිවිල්ල එංගලන්තයට දිව්වා නම් අපි කෙළින්ම එහෙ කියලා යයි අනුර ප්‍රකාශ ක‍ළේය.

ශ්‍රි ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ නායක බන්දුල වර්ණපුර ක්‍රිඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයන් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අපි ශාරීරික යෝග්‍යතාව රැක ගැනීමට කරේ වතුර බෝතල් ඇතුළු ආම්පන්න ද එල්ලා ගෙන නුවර එළිය යුධ හමුදා කඳවුරේ සිට පිදුරුතලාගල කන්ද නැඟ නියමිත වේලාවකට කළින් ආපසු පැමිණීම සිදු කළ බවයි.

ක්‍රිඩකයෙකුට යහපත් ශාරීරික යෝග්‍යතාවයක් ලබා දීම ඔහුගේ කණ්ඩායමටවත් කළමණාකරුටවත් නායකයාටවත් උපනායකයාටවත් බැහැ. එය තමන් විසින් ම ලබා ගත යුතුයි.. එදා මෙන් නොව අද ක්‍රිකට් යනු වෘත්තීය ක්‍රිඩාවක්. එක සමාන දක්ෂතා ඇති දෙදෙනෙකු සිටින විට අවසාථාව ලැබෙන්නේ වඩා යෝග්‍ය ක්‍රිඩකයාටයි. ලකුණු 50ක් රැස් කර අපහසුවෙන් ඉවත්වන

පිතිකරුට වඩා ලකුණු 100ක් ගහන පිතිකරුට අවස්ථාව හිමිවනවා. පන්දු යැවීමත් එහෙමයි. කඩුලු තුනක් ගන්න කෙනාට වඩා කඩුලු පහක් ලබන පන්දු යවන්නාට ස්ථාන ලැබෙනවා.

ක්‍රිඩකයාගේ බර සමතුලිත ව තබා ගැනීම, වේගය, දුර දිවීම සහ දරා ගැනිමේ ශක්තිය හොඳින් රැක ගෙන තම කාර්යය හරි හැටි ඉටු කළ යුතුයි. පන්දම් අල්ලා තැනක් ගැනීමට මෙහි දී කිසිදු අවස්ථාවක් උදා වන්නේ නැතැයි ද කී බන්දුල වර්ණපුර ඔහුගේ අත්දැකීමක් ද විස්තර ක‍ළේ ය. මා පාසලෙන් අස් වූ පසු මුලින් වැඩ කළේ වැල්ලවත්ත රෙදි මෝලේ. ඉන් පසුව ලංකා දුම්කොළ සමාගමේ වැඩට යන්න කළින් අපි උදේ හයේ සිට පැය දෙකක් දෙකහමාරාක් පමණත් සවස රාජකාරී නිම වූ පසු සවස 4.30 සිට තවත් පැය දෙකක් දෙකහමාරක් පමණත් දිවීමටත් ව්‍යායාම්වල නිරතවීමටත් කාලය යොදන බවද බන්දුල වර්ණපුර පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

Related posts

“ලකුණු දාහක් ගන්න සැලසුමක් තිබුණා” පිතිකරුවන් අතර අංක 1 ට ආ ළහිරු උදාර

Web Admin

දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් සෙවීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්

Web Admin

වේග පන්දුවෙන් දස්කම් දක්වන දුෂ්මන්ත චමීර

Web Admin