Domestic Cricket Featured Media Centre Media Releases News

සී.සී.සී. – එස්.එස්.සී. – කුරුණෑගල සහ යුද හමුදාව අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (16 වැනිදා) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වලදී ජය වාර්තා කළ සී.සී.සී, එස්.එස්.සී, කුරුණෑගල යූත් සහ යුද හමුදා කණ්ඩායම් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබූහ.

රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව සී. සී. සී. පිල ලකුණු 57 කින්ද, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එස්. එස්. සී. පිල කඩුලු 6 කින්ද ද පරාජයට පත් කරමින්ද සහ මීගමුව කණ්ඩායමට එරෙහිව ලකුණු 6 ක ජයක් වාර්තා කළ යුද හමුදා කණ්ඩායම අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබූහ. අද පැවැති තරග වලදී  කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය විසින් ප්‍රබල එන්. සී. සී. පිල ලකුණු 63 ක ජයක් වාර්තා කරමින් මෙතෙක් තරගාවලියේ සිදුකරන ලද දැවැන්තම පෙරැළිය කරමින් අවසන් කණ්ඩායම් 4  අතර තරග වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනෙයි.

එන්.සී.සී – කුරුණෑගල තරගයේදී එන්.සි.සී ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායද්දී ඔවුනගේ ඉනිම පන්දුවාර 14.4කදී ලකුණු 92කට සීමාවූයේ මේ තරගාවලියේ විශාලම පෙරැළිය සිදුවීමෙනි. එහිදී හෙෂාන් හෙට්ටිආරච්චි එන්.සී.සී කඩුලු 5ක්ම දවාලූවේ ලකුණු 38ක් පමණක් ලබා දීමෙනි.

යුද හමුදා – මීගමුව තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ඉසිලු අතර යුද හමුදාව ලැබු ලකුණු 164 ක ඉලක්කය හඹා ගිය මීගමුව කණ්ඩායම කඩුලු 9කට ලකුණු 158ක් ලබා ජයග්‍රහණය අසලටම පැමිණියේය. මීගමුව කණ්ඩායම ජයග්‍රහණය පෙනී පෙනී තරග වදිද්දී පන්දුවාර 18.5 සිට 19.5 දක්වා පන්දු හතක් තුළ කඩුලු පහක් දැවීයාමෙන් ඔවුනගේ අපේක්ෂාව අවසාන මොහොතේදී සුන්විණි. නායක ඩිල්ෂාන් මුණවීර (59) සහ මාධව වර්ණපුර (55) මෙහිදී ජයග්‍රහණය පසුපස යාමේදී ප්‍රබල සටනක නියැළිණි.

සී.සී.සී – රාගම තරගයේදී සී.සී.සී නායක අෂාන් ප්‍රියංජන් තුන් ඉරියව්වේම දස්කම් පෑ අතර ලසිත් අබේරත්න නැවත වරක් ලකුණු 54ක් ලබා දක්ෂතා පෙන්වද්දී මාලිංග පුෂ්පකුමාර ලකුණු 20කට කඩුලු 4ක් දවාලූවේය.

එස්.එස්.සී – කෝල්ට්ස් තරගයේදී නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 41) සහ ප්‍රභාත් ජයසූරිය (16/4) විශේෂ දක්ෂතා මත ඔවුනට කඩුලු 6ක ජයක් අත්විය.

සී.සී.සී – රාගම

සී.සී.සී. පිලට ලකුණු 57 ක ජයක්

සී.සී.සී. සහ රාගම අතර සරවනමුත්තු පිටියේ පැවති ප්‍රථම අර්ධ අවසාන පූර්ව තරගයේදී සී.සී.සී. කණ්ඩායම ලකුණු 57ක පහසු ජයග්‍රහණයක් හිමිකර ගත්තේ තවත් පන්දුවාර තුනක්ම ඉතිරිව තිබියදී ය.

සී.සී.සී නායක අෂාන් ප්‍රියංජන් සෙසු ක්‍රීඩකයනට ආදර්ශයක් වෙමින් මෙදින දක්ෂ ලෙස ක්‍රීඩා කළේ ලකුණු 41ක් රැස්කර පසුව ලකුණු 16කට කඩුලු 2ක් ද බිඳ දමමිනි. අෂාන් සාර්ථක සබඳතා දෙකකට ද එක්විණි. ඒ සිව්වන කඩුල්ලට ලසිත් අබේරත්න සමඟ පන්දුවාර 5.5කදී ලකුණු 46ක් එක්කරමින් සහ පස්වන කඩුල්ල‍ට ළහිරු මධුශංඛ සමඟ පන්දුවාර 4කදී එක්කළ ලකුණු 42ය. සී.සී.සී. ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දුන් අනෙක් ක්‍රිඩකයන් දෙදෙනා වුයේ මාලින්ද පුෂ්පකුමාර (20/4යි) සහ ලසිත් අබේරත්නය. (ලකුණු 54යි පන්දු 38යි හතරේ 3යි හයේ 3යි.) ලසිත් අබේරත්න මේ තරගාවලිය පුරාම ලකුණු අතර සිටි දක්ෂ පිතිකරුවෙකි. නායක අෂාන් ප්‍රියංජන් ලකුණු 41ක් රැස් කළේ පන්දු 33කදී හතරේ තුනක් හා හයේ පහරක් සමඟිනි.

සී.සී.සී. පන්දු වාර 20කදී කඩුලු පහට 150යි – (ලසිත් අබේරත්න 54, අෂාන් ප්‍රියංජන් 41,මළිඳු මධුරංග 16, ළහිරු මධුශංඛ නොදැවී 16, බිනුර ප්‍රනාන්දු 29/2, අමිල අපොන්සු 16/2, ඉෂාන් ජයරත්න 24/1)

රාගම පන්දුවාර 17කදී සියලු දෙනා දැවී 93යි – (ජනිත් ලියනගේ 29, නිශාන් මධුෂ්ක 24, ඩෙලන් පීරිස් 13, බිනුර ප්‍රනාන්දු 12, මාලින්ද පුෂ්පකුමාර 20/4, නුවන් තුෂාර 15/2, අෂාන් ප්‍රියංජන් 16/2)

එස්.එස්.සී – කෝල්ට්ස්

එස්.එස්.සී. පිලට කඩුලු 6 ක ජයක්

සී.සී.සී ක්‍රිඩාංගණයේ පැවති තෙවන අවසාන පූර්ව තරගයෙන් එස්.එස්.සී කඩුලු හයක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දු 16ක්ම ඉතිරි ව තිබියදී ය. තරගාවලිය පුරාම ලකුණු අතර සිටින එස්.එස්.සී කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු මෙදිනද පන්දු 43ක දී හතරේ තුනක් හයේ පහරක් සමඟ ලකුණු 41ක් ලබා මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විණි. එස්.එස්.සී පන්දු යවන්නන් අතරින් කැපී පෙණුනු ප්‍රභාත් ජයසූරිය ලකුණු 16කට කඩුලු 4ක්ම දවාලීමට සමත් විය.

කොල්ට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ ලකුණු 26ක් රැස් කර පසුව ලකුණු 18කට කඩුලු 2ක් දවා තුන් ඉරියව්වේ ම දක්ෂතා දැක් වූවත් ඉන් ඵලක් අත් වූයේ නොමැත.

කෝල්ට්ස් පන්දුවාර 19.4 කදී සියල්ල දැවී 117යි. – (සංගීත් කුරේ 26, කවිෂ්ක අංජුල 25, ජෙහාන් ඩැනියල් 21, ප්‍රභාත් ජයසූරිය 16/4,  කළණ පෙරේරා 1/2 , චරිත් අසලංක 12/1)

එස්.එස්.සී පන්දුවාර 17.2කදී කඩුලු 4ට 118යි – (නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 41, ක්‍රිෂාන් අංජුල 18, අවිශ්ක ප්‍රනාන්දු 17, චරිත් අසලංක නොදැවී 16, සංගීත් කුරේ18/2, නලීන් ප්‍රියදර්ශන 35/1)

එන්.සී.සී. -කුරුණෑගල යූත්

කුරුණෑගලට ලකුණු 63ක පහසු ජයක්

පෙරැළිකාරයින් වුණු කුරුණෑගල තරුණ පිල කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රිීතිය

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති සිව්වන අර්ධ අවසාන පූර්ව තරගයේදී කුරුණෑගල තරුණ කණ්ඩායම මේ තරගාවලියේ ප්‍රබල පෙරළියක් සිදුකළේ ප්‍රබල එන්.සී.සී කණ්ඩායම ලකුණු 63ක දැවැන්ත පරාජයකට ලක්කරමිනි. එන්.සී.සී කණ්ඩායම ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත වූවත් ඔවුන් ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයකට යාමට පැමිණි අවස්ථාවේ සිටම කඩුලු එකපිට දැවී ගියේ ඔවුනගේ අපේක්ෂා සුන් වෙමිනි. කුරුණෑගල යූත් වෙනුවෙන් ගයාන් මනීෂාන් පන්දු 48කදී හතරේ දෙකක් හයේ දෙකක් සමඟ ලකුණු 56ක්ද නායක සමීර සඳමාල් පන්දු 30කදී හතරේ තුනක් හයේ තුනක් සමඟ වේගවත් ලකුණු 48ක්ද රැස් කළහ. ධනුෂ්ක ධර්මසිරි පන්දු 19කදී හතරේ පහක් සමඟ ලකුණු 26ක් ලැබීය.

එන්.සී.සී.පන්දුවට පහර දෙන අවස්ථාවේ කුරුණෑගල කණ්ඩායමේ නවීන් ගුණවර්ධන ලකුණු 14කට කඩුලු 3ක්ද රුවන් පීරිස් සහ රන්දීර රණසිංහ කඩුලු 2 බැගින්ද දවාලූහ.

කුරුණෑගල යූත් පන්දු වාර 20කදී කඩුලු 5ට 155යි – (ගයාන් මනීෂාන් 55, සමීර සඳමාල් 48යි, ධනුෂ්ක ධර්මසිරි 26යි, ළහිරු කුමාර 14/4යි, සහන් ආරච්චි 23/1)

එන්.සී.සී පන්දු වාර 14.4කදී 92 යි – (ඇන්ජලෝ පෙරේරා 27, හසිත බෝයගොඩ 21, රුවන් පීරිස් 20/2යි, රන්දීර රණසිංහ 7/2, නවීන් ගුණවර්ධන 14/3)

යුද හමුදාව – මීගමුව

තියුණු තරගයකින් පසු යුද හමුදාව ජය ගනියි

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති යුද හමුදා – මීගමුව තරගයෙන් ඉතාමත් තියුණු සටනකින් පසු යුද හමුදාව ජය ගත්තේ ලකුණු 6කිනි.  මීගමුව කණ්ඩායම ලකුණු 165ක ඉලක්කයක් කරා යද්දී පන්දු වාර 15කදී කඩුලු 2කට ලකුණු 127ක් ලබා ප්‍රබලම තත්ත්වයක සිටියදී නායක දිල්ෂාන් මුනවීර ලකුණු 59කට දැවීයාමත් සමග නිගම්බු කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ක්‍රමයෙන් අඩාලවිය. අවසානයේ යුද හමුදාවේ හෙෂාන් හෙට්ටිආරච්චි ලකුණු 38කට කඩුලු 5ක් දවාලීමට සමත්විය.

යුද හමුදාවේ තුලින දිල්ෂාන් ලකුණු 39ක් ද (පන්දු 43යි හතරේ 3යි) හිමාෂ ලියනගේ නොදැවී 33ක්ද (පන්දු 20 හතරේ 2යි හයේ 2යි) සීක්කුගේ ප්‍රසන්න 24ක්ද (පන්දු 16යි හයේ 3යි) ජනිත් සිල්වා (නොදැවී 16ක්ද රැස්කළහ). හයවන කඩුල්ලට හිමාෂ සහ ජනිත් පන්දු වාර 3.1දී එක්කළ ලකුණු ප්‍රමාණය 43කි.

යුද හමුදාව පන්දු වාර 20කදී කඩුලු 5ට 164යි – ( තුලින දුල්ෂාන් 39, හිමාෂ ලියනගේ නොදැවී 33යි, සීක්කුගේ ප්‍රසන්න 24යි, ජනිත් සිල්වා නොදැවී 16යි, දිල්ෂාන් මුනවීර 20/2යි, රොස්කෝ තටිල් 34/2)

නිගම්බු පන්දු වාර 20කදී කඩුලු 9ට 158යි – (දිල්ෂාන් මුනවීර 59, මාධව වර්ණපුර 55, ඇන්ජලෝ ජයසිංහ 13, හෙෂාන් හෙට්ටිආරච්චි 38/5යි, සීක්කුගේ ප්‍රසන්න 38/2)

Related posts

නවසීලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව කෙසේ මුහුණ දෙයිද?

Web Admin

වයිකින්ස් – ස්ටැලියන්ස් තරගය පන්දුවාර 7 කට සීමා වෙයි

Chamila Karawita

කුලසේකරගේ සමුගැනීමට ක්‍රිකට් ආයතනය ඉඩ වෙන් කරයි

Web Admin