Featured India tour of Sri Lanka 2021 Media Centre News

ජයග්‍රාහී මාවතට ප්‍රවේශවීමේ හැකියාව තරුණ ක්‍රීඩකයින්ට තියෙනවා – දසුන් ශානක

By Chamila Karawita

තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අඟහරුවාදා පැවැති දෙවැනි එක්දින තරගයේ ලද පරාජය හේතුවෙන් තරගයක් ඉතිරිව තිබියදී ඉන්දියාව හමුවේ එක්දින තරගාවලිය පරාජයට පත් වී සිටියද හෙට (23 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය සුළුවෙන් තැකිය නොහැක. මන්ද යත් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය හෙවත් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් තරගයේ ජයග්‍රහණය හෝ වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීම වෙනුවෙන් වඩ වඩාත් ළංවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවන බැවිනි. ඉන්දියාව අතින් බැලුවද හෙට තරගය ඔවුන් දකින්නේද එවැනිම ආකාරයෙනි.

දෙවැනි තරගයේදී ලද කඩුලු 3 ක පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලබන ලද්දේ පිට පිටම 9 වැනි ද්වී පාර්ශ්වික එක්දින තරගාවලි පරාජය විය. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් එම ආකාරයේ එක්දින තරගාවලියකදී පරාජයට පත් කර ඇත්තේ 1997 වසර තරම් ඈත අතීතකයදීය. එබැවින් ජයග්‍රහණයේ මුවගට පැමිණි දෙවැනි තරගය ජය ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල සමත් වූවේ නම් හෙට පැවැත්වෙන තෙවැනි එක්දින තරගය අවසන් මහ තරගයක් කර ගැනීමේ මහඟු අවස්ථාව  දීපාක් චහර්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි විය.

“අවසන් තරගය ජය ගැනීමට අපිට අවස්ථාව උදාවූයේ නම් හෙට තරගයට අවතීර්ණ වීම එය විශාල රුකුලක් වනවා” යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේය. අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා “නමුත් මට ගොඩක් ලොකු විශ්වාසයක් තියෙනවා මේ තරුණ කණ්ඩායමට ඉක්මනින්ම ජයග්‍රාහී මාවතට ප්‍රවේශ වීමේ හැකියාව තියෙන බව” යැයි ශානක වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“ඔබ එංගලන්ත තරගාවලිය දිහා බැලුවොතින් ක්‍රීඩකයින් එන්න එන්නම ඔවුන්ගේ අතපසුවීම් හදාගෙන ඉන්නේ. හොඳ මට්ටමින් ක්‍රීඩාකරමින් ඉන්නවා. හොඳම දේ මේ තරගය එක ඉහළින් නිමා කරන එක. අපි ක්‍රීඩකයින් විදියට ඒක තමයි කරන්න ඕන ඒක. අපි හැමදාම දශමයෙන් දශමය උඩට යන්න බලන්න ඕන. ඒ අවස්ථාවන් වලදී පහළට යෑම් සිදුවන්න පුලුවන්. අපි යන ක්‍රමය මොකද්ද කියලා දැනගෙන යන්න ඕන. ඒ වගේ අපි අනිවාර්යයෙන් ජයග්‍රහණය කරා නම් ලොකු වාසියක් තිබ්බා හෙට තරගයට යද්දී. ඒ මානසිකත්වයෙන් ගියහම මේ තරගයත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන තැන ඉන්න තිබ්බා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ තරුණ කණ්ඩායමට හෙට තරගය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා” යැයි සිය කණ්ඩායම තුළ ගොඩ නැගී තිබෙන ආත්ම ශක්තිය පිළිබඳව ශ්‍රී ලංකා නායකයා අදහස් දක්වා සිටියේය.

“කණ්ඩායමක් විදියට ගත්තහම ලොකු වර්ධනයක් තියෙනවා. මුලින්ම කියන්න ඕන ආදේශ කරපු ක්‍රීඩකයින් සියලු දෙනාම තමන්ගේ අවස්ථාවට උපරිම සාධාරණය ඉෂ්ඨ කළා. ඉතිං මම හිතනවා හෙට පැවැත්වෙන තරගයේ ඊටත් වඩා හොඳින් ක්‍රීඩා කරයි කියලා. ලොකු අවස්ථාවක් තියෙනවා. අපේ අය පිතිකරණයෙන් හොඳට කළොත් හෙට තරගය හොඳින් අවසන් කරන්න පුලුවන් වෙයි කියලා විශ්වාසයි” යැයි දසුන් පවසයි.

දෙවැනි තරගය අවසන් මොහොතේදී පරාජයට පත්වීමේදී විවේචන එල්ල නොවුණා නොවේ. එහිදී බහුතරයක් විවේචනය පන්දු යවන්නන් යෙදවීම සම්බන්ධව ශානක ගනු ලැබූ තීරණ විය. අවසන් පන්දුවාර යැවීම සඳහා දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංගව තෝරා ගැනීම පිළිබඳව ගැටළුවක් නොමැති වුවද ඊට පෙර කැඳවන ලද කසුන් රජිත සහ ලක්ෂාන් සඳකැන්ව භාවිතා කිරීම වඩාත් විවාදාත්මක තලයක පැවැතිණ. මොවුන් දෙපළටම එම අවස්ථාවේදී ඉන්දීය පසු පෙළ පිතිකරුවන් පන්දුවාරයකට ලකුණු 7 කට වඩා වැඩියෙන් රැස් කරමින් ජයග්‍රහණයේ ආසන්නයට පැමිණීමට සමත්විය.

“දෙපැත්තක් හිතන්න පුලුවන්. මොකද දසුන් ශානකයි චාමික කරුණාරත්නයි බෝල් කරලා ගුටි කෑව නම් ඕක අනිත් පැත්තට කියන්න තිබ්බා අපරාදේ කසුන් රාජිතයි ලක්ෂාන් සඳකැන්වයි ඕවර තිබ්බා. මොකද සඳකැන් සූර්යකුමාර්ව (යාදව්) අවුට් කරපු එකෙන් තමයි මැච් එක වෙනස් වුණේ කියන මතයට එන්න තිබ්බා. ඉතිං අපිට හැම වෙලේම කියන්න බෑ මේ දේ වුණා නම් හොඳයි කියලා. ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණයේ පිපාසයෙන් ඉන්නේ හැමෝම. නායකයකු විදියට මට වැදගත් රට වෙනුවෙන් තරගයක් ජයග්‍රහණය කරන එක. මම සහ කණ්ඩායම කතා වෙලා තිබුණ විදියට කරන්න තිබ්බේ ඒ දේ. ඉස්සරහට යද්දී ඒ වෙනස්කම් එක්ක මම යන්න බලාපොරොත්තු වෙනවා” යැයි පන්දු යවන්නන් පිළිබඳව තමන් දරන මතය පවසා සිටියේය.

“මට විශ්වාසයක් තියෙනවා මේ කණ්ඩායමත් එක්ක ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා. මෑත කාලයේදී අපි ජයග්‍රහණය කළේ නෑ. ඒත් අපිට අමතක වෙලා නෑ ජයග්‍රහණය කරන්න ඕන කොහොමද කියන එක. කණ්ඩායමේ ඒ ඒ ක්‍රීඩකයින් ඒ අවස්ථාවේ වෙන්න ඕන දේවල් වලට අපි නිශ්චිතව හඳුනාගෙන ඒ අනුව අපේ ප්ලෑන්ස් ක්‍රියාත්මක කළොතින් අපිට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුලුවන්” යැයි ශානක වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

දෙවැනි තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක් වුණු භානුක රාජපක්ෂ මේ වන විට පූර්ණ සුවය ලබා සිටින බවද සඳහන් කර සිටි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායකයා හෙට තරගයේදී වෙනස් කම් දෙකක් බොහෝ විට බලාපොරොත්තුවිය හැකි බවද සඳහන් කර සිටියේය.

Related posts

කුසල්ට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි

Chamila Karawita

සී.සී.සී – එන්.සී.සී. මූලික වටයේදී විශේෂ දක්ෂතා පෙන්වති

Web Admin

Fernando 127, Mendis 119 as Sri Lanka annihilate West Indies by 161 runs

Web Admin