Featured Media Centre News SLC Invitational T20 League

ඇළහැරින් ඇවිත් ඇඟට නොදැනී පහර එල්ල කරන දැවැන්තයා – ළහිරු මධුශංක

By Chamila Karawita reporting from Pallakele

එළැඹෙන සැප්තැම්බර් මසදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියත්, විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් ඉලක් කරගනිමින් මේ දිනවල පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන ඩයලොග් SLC විස්සයි-20 තරගාවලිය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිමින් පැවැත්වෙනවා. මෙතෙක් පැවැති තරග 6 දී මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වනු ලබන දක්ෂතා නිසා බොහෝ දෙනෙක් මේ තරගාවලිය පිළිබඳව යොමු කරන්නේ වැඩි අවධානයක්. ඒ අනුව මෙතෙක් පැවැති තරග වලදී කැපී පෙනෙනම කණ්ඩායම බවට පත්වෙලා තියෙන්නේ දසුන් ශානක නායකත්වය දරන SLC ග්‍රේස් කණ්ඩායම. මෙතෙක් පැවැති තරග 3 ම විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කිරීමට සමත්වීම, ග්‍රේස් පිල වෙත වැඩි අවධානයක් යොමු වීමට හේතු වෙනවා.

ග්‍රේස් පිල තරග වැදි තරග 3 අතරින් ඊයේ (16 වැනිදා) රාත්‍රියේ පැවැති තරගය වඩාත්ම ආකර්ශණයක් හිමිකරගත්ත තරගයක් කිව්වොත් නිවැරදියි. ඒ ඊයේ වන තෙක් අපරාජිතව සිටි ධනංජය ද සිල්වාගේ කණ්ඩායමද පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට ග්‍රේස් පිල සමත්වූ නිසා. මේ තරගයේදී ග්‍රේස් පිල මුලින්ම පන්දුවට පහර දුන්නත් නායක දසුන් ශානකද ඇතුළුව ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 45 ක් ඇතුළත දවා ගැනීමට ප්‍රතිවාදී බ්ලූස් පන්දු යවන්නන් සමත්වීම නිසා විටෙක ඔවුන්ට ලකුණු 100 සීමාව ඉක්මවා යෑමත් අවධානම් සහගත තත්ත්වයක මුහුණ දී සිටියා.  

කොහොම වුණත් චරිත් අසලංකට එක් වුණු ළහිරු මදුශංක 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 122 ක සම්බන්ධතාවයක් පවත්වමින් ග්‍රේස් ලකුණු පුවරුව ලකුණු 167 දක්වා රැගෙන යෑමට සමත්වුණා. ඒ ලකුණු 122 න් ලකුණු 74 ක්ම ළහිරු මදුශංකගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනුණා. පන්දු 39 ක් පමණක් වැය වෙමින් ක්‍රීඩා කරන ලද ඒ ඉනිමේ හතරේ පහර 5 ක් සහ දැවැන්ත හයේ පහර 5 ක් ළහිරු සිය ඉනිමට ඇතුළත් කරගත්තා.

ජාතික කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙලා ඉන්න සුරංග ලක්මාල්ගේ පන්දුවාරයකට ලකුණු 26 ක් තනිවම ළහිරු ලබා ගැනීමට සමත්වීම ඒ ඉනිමේ කැපී පෙනෙන සිදුවීමක් වුණා. කිසිදු ආයාසයකින් තොරව ළහිරු එල්ල කරන ලද පහරවල් තරගය නැරැඹි තේරීම් කමිටු නිලධාරීන්ව සහ ප්‍රදාණ පුහුණුකරු වූ මිකී ආතර්වද  අමන්දානන්දයට පත් කළ බව නොරහසක්.

“මම මැද්දට යන වෙලාවේ අඩු ලකුණු ගාණකට විකට් 4 ක් වැටිලා තිබ්බේ. ඒ වෙලාවේ චරිත්ගෙයි (අසලංක) මගෙයි ප්ලෑන් එක වුණේ වැඩි ඕවර්ස් ගාණක් බැට් කරන්න. එතැනදි අවධානමක් ගන්නේ නැතුව එකේ දෙකේ ඒවගෙන් තල්ලු කරලා ඕවරයට ලකුණු 6 ක් 7 ක් වගේ තරගය ඉස්සරහට ඇදගෙන ගිය නිසා හිතපු ලකුණු සංඛ්‍යාවට යන්න අවසානයේදී යන්න පුලුවන් වුණා” යැයි පන්දුවට පහර දීමේදී පිටිය තුළ වූ සැලසුම පිළිබඳව අදහස් දැක්වූ ළහිරැ “ඉනිමේ ඕවර 16 ක් අවසන් වෙනකොට අපි දෙන්නා ඕවර ගාණක් බැට් කරලා තිබුණේ. ඒ වෙද්දී අපි දෙන්නටම බෝලෙ හොඳට පේනවා. ඒ නිසා අපිට කැමැති පහරවල්වලට යන්න අන්තිමේදී යන්න පුලුවන් වුණා. තරගයෙන් තරගය ජයග්‍රහණය කරලා ශූරතාවය දිනා ගන්න තමයි බාලපොරොත්තු වෙන්නේ” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ජාත්‍යන්තර පිටියේ දැවැන්තම පහරවල් එල්ල කරන ක්‍රීඩකයින් අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් ලොව ජනප්‍රියත්වයක් උසුලනවා. අන්න ඒ ආකාරයේ පහරවල්වල ජවය ළහිරු එල්ල කරන ලද හයේ පහර වල් වල අන්තර්ගත වෙලා තිබුණා කිව්වොත් නිවැරදියි. එපමණක් නොවෙයි තිසර පෙරේරාගේ සමුගැන්මෙන් පසු එම ස්ථානයට ආදේශ කිරීමට අවශ්‍ය සියලුම සුදුසුකම් තමා සතුව පවතින බවද ළහිරු එම ඉනිමෙන් ඔප්පු කර පෙන්නුවා.

“ඇත්තටම සතුටුයි මම ක්‍රීඩා කළ ඉනිම ගැන. මොකද කාලෙකින් පස්සේ හොඳ ඉනිමක්  සෙල්ලම් කරන්න හම්බ වුණා. මීට කළින් තරග 2 ත් හොඳට සෙල්ලම් කරන්න හම්බ වුණා. ඉදිරි තරගවලදීත් හොඳින් සෙල්ලම් කරලා ජාතික කණ්ඩායමට එන්න තමයි මගේ බලාපොරොත්තුව” යැයි තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් පසු ළහිරු අදහස් දක්වා සිටියා.

ළහිරුගේ උපන් ගම ඇලහැර බකමූන. ඇලහැර කනිෂ්ඨ විදුහලෙන් අධ්‍යාපන ගමන ආරම්භ කරන ළහිරු මේ වන විටත් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගැනීමට සමත්වෙලා තිබුණත් කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට අසමත් වෙලා තියෙනවා. ඉස්සර නම් ඇලහැර වැනි දුෂ්කර ගමක ඉඳන් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියන්නේ ‘කලු නික’ හොයනවා වගේ වැඩක්. ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දක්ෂතාවයන්ගෙන් හෙබි සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් සකස් කොට ඇති ‘ක්‍රිකට් ගමට’ ජාතික වැඩසටහන යටතේ ජාතික කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව ළහිරුට හිමි වෙලා තියෙනවා. එය ළහිරුගේ වචන වලින්ම කිවහොත්, “මම ජාතික කණ්ඩායමට ආවේ, අවුරුදු 15 න් පහළ ඉඳලා 19 න් පහළ වෙනකම් තියෙන දිස්ත්‍රික් සහ පළාත් තරගාවලිවල දක්වන ලද දක්ෂතා හේතුවෙන්. ඒ හරහා තමයි මට වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට පැමිණීමට අවස්ථාව උදාවෙන්නේ” යනුවෙනි.

ළහිරුගේ පියා මෙරට බත බුලත සරු කරන අභිමානවත් ගොවිපරපුරේ සාමාජිකයෙකි. ගොවි මහතකු වුවද ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීම වෙනුවෙන් ඔහු දක්වන ලද රුචිකත්වය, අප කථා නායකයාද ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු වීමට ‍හේතු වී තිබේ. පහ වසර වෙනුවෙන් වූ ශිෂ්‍යත්ව කඩඉම් විභාගයෙන් සමත්වන ළහිරු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට දක්වන ලද කැමැත්ත නිසාම ඔහු මාතලේ ශාන්ත තෝමස් විදුහල තෝරාගනු ලබනවා. එතැන් පටන් අවුරුදු 13 න් පහළ සිට 19 න් පහළ වයස් කාණ්ඩය දක්වා වූ සියළුම වයස් කාණ්ඩ නියෝජනය කිරීමට ළහිරු සමත් වනවා පමණක් නොව 13 න් පහළ වයස් කාණ්ඩයේ හැර අනෙක් සියලුම වයස් කාණ්ඩයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් සංවිධානය කෙරෙනු ලබන දිස්ත්‍රික් සහ පළාත් තරගාවලිවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වී තිබෙනවා. ඒ හරහා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ තේරීම් තරග වලට ඉදිරිපත් වන ළහිරු සිය පාසල් දිවියේ අවසන් කරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ පැවැති අවු. 19 න් පහල ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටද වරම් ලබාගනිමින්. එපමණක් නොව එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් අතරින් වැඩිම කඩුළු සංඛ්‍යාවක් (15) දවා ගත් පන්දු යවන්නා බවටද ළහිරු පත් වෙනවා.

19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන ලද 2011 සහ 2012 වසර දෙකේදීම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද සම්මාන උළෙලේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබපු ළහිරු ක්‍රීඩා සමාජයකට කියලා මුලින්ම ක්‍රීඩා කරන්නේ එන්.සී.සී. කණ්ඩායමට. ඒ අවුරුදු 23 න් පහළ තරගාවලියට. ක්‍රීඩා සමාජ තරග අතර දක්වන ලද දක්ෂතා නිසා ඔහුව 2013 වසරෙදී පැවැත්වුණු ආසියානු කුසලාන අවුරුදු 23 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගන්නවා. අනතුරුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට මාරුවෙන ළහිරු එහිදීද සංවර්ධිත සංචිතය සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සුදුසුකම් ලැබීමට සමත් වනවා. ඒත් ළහිරුට ජාතික කණ්ඩායමට පැමිණීමට තරම් අවස්ථාව උදාවන්නේ සී.සී.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරද්දී සිටියදී ටැමිල් යුනියන් පිලට එරෙහිව පැවැති සිව්දින තරගයේදී ලබාගන්නා ලද ලකුණු 164 ත් කඩුලු 7ත් නිසා කියලයි විශ්වාස කරන්නේ.

“2017 වසරේ තිබුණු දකුණු අප්‍රිකානු සංචාරයේදී ඇන්ජලෝ මැතිව්ස් විස්සයි-20 තරගාවලියේදී ආබාධයකට ලක් වෙනවා. එයා වෙනුවට තමයි මට එක්දින කණ්ඩායමට සහභාගිවීම සඳහා ජාතික කණ්ඩායමට අවස්ථාව උදාවන්නේ” යැයි ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ලද අවස්ථාව පිළිබඳව වචන වලට පෙරැළීය.

ළහිරුගේ දක්ෂතා කැපී පෙනුණු ඊයේ තරගයට අමතරව ලබන 24 වැනිදා අවසන් වීමට නියමිත මේ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ග්‍රේස් කණ්ඩායමට උදාවෙලා තියෙනවා. දැනටමත් තරග 3 ක් දිනලා ඉන්න නිසා අවසන් මහ තරගයටත් ග්‍රේස් පිලට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් ඉදිරි තරග වලදීත් පිතිකරුවකු විදියට ළහිරුගේ දක්ෂතා බලාගන්න අවස්ථාව තියෙනවා. බලමු ඒ තරග වලදී ඔහු කොයි විදියට දක්ෂතා පෙන්වයිද කියලා.

Related posts

South Africa power to 28-run win

Web Admin

Thisara Perera announces retirement from International Cricket

Web Admin

සටනකින් තොරවම නිමාවු තරගාවලියක්

Web Admin