Featured Media Releases News SLC Invitational T20 League

ඩයලොග් SLC ආරාධිත විස්සයි-20 ශූරතාවය හෙට ඇරඹෙයි

Chamila Karawita reporting from Kandy

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග් එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (12 වැනිදා) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට සනිටුහන් වේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් සහ අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන් කණ්ඩායම් අතර තරගයෙන් මෙම තරගාවලියේ ආරම්භ වන අතර රාත්‍රියේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් සහ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් අතර තරගය ප.ව. 7.00 ට පැවැත්වේ.

නීරෝධායන කාල සීමාව අවසන් කරමින් කණ්ඩායම් 4 ම අද දිනයේදී පල්ලකැලේ පිටියේදී සිය පුහුණුවීම් වලට සහභාගිවූහ. ප්‍රථමයෙන්ම ග්‍රේස් පිලත් පසුව ග්‍රීන්ස් පිලත් දහවල් කාලයේදී පුහුණුවීම් සිදුකළ අතර බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් විදුලි ආලෝක ධාරා මධ්‍යයේ සිය පුහුණුවීම් වල නිරත වූහ. අද දිනයේදී පුහුණුවීම් සිදුකළ ක්‍රීඩකයින් අතර ග්‍රීන්ස් නායක අශාන් ප්‍රියන්ජන සහ බ්ලූස් නායක ධනංජය ද සිල්වා නොපැමිණියහ. ධනංජය ද සිල්වාට විවේකයක් ලබා දීමට තීරණය කර ඇති බැවින් ඔහු පළමු තරග 2 ට හෝ 3 ක්‍රීඩා නොකරන බැවින් කණ්ඩායමේ නායකයා ලෙස උප නායක ඇන්ජලෝ පෙරේරා කටයුතු කරනු ඇත. පුහුණුවීම් වලට නොපැමිණද අශාන් ප්‍රියන්ජන් හෙට දිනයේදී තරග වැදීමට සූදානමින් පසුවන බව එම කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන ලද කමිඳු මෙන්ඩිස් සඳහන් කර සිටියේය.

ඉදිරියේදී මෙරටදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහි තරග සංචාරයත් සහ ලෝක කුසලාන තරගාවලි සඳහා දක්ෂතා ඇති ක්‍රීඩකයින් හඳුනා ගැනීම නිමිති කොට සංවිධානය කරන ලද මෙම තරගාවලිය නවක ක්‍රීඩකයින්ට දක්ෂතා දැක්වීමට හොද අවස්ථාවක් නිර්මාණය කර තිබේ. නවකයින්ට අමතරව අවසන් වරට පැවැති ජාත්‍යන්තර තරග වලදී  දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් ව සිටින ක්‍රීඩකයින්ටද මෙම තරගාවලිය වැදගත් වනු ඇත.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සිට කණ්ඩායමට පැමිණීමට අවස්ථාව අහිමි වුණු දිනේෂ් චන්දිමාල්ටද නැවත ජාතික කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය හොඳ වේදිකාවකි.

එමෙන්ම මීට පෙර වසරවල පැවැති තරගාවලිවලදී  විදුලි ආලෝක ධාරා මධ්‍යයේ තරග කිරීමේ අවස්ථාව උදා වූයේ අවසන් පූර්ව හෝ එසේත් නැතිනම් අවසන් මහ තරග අවස්ථාවේදී පමණකි. එහෙත් මෙම තරගාවලියේ ලීග් තරග වටයේදී පවා සෑම කණ්ඩායමකටම විදුලි ආලෝකය යටතේ තරග කිරීමේ අවස්ථාව මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන දේශීය ක්‍රීඩකයින්ටද හිමිවීම තරගාවලියේ විශේෂත්වයක් ලෙස හැඳන්විය හැක.

හෙට පැවැත්වෙන තරග පිළිබඳව අද දිනයේදී අදහස් දක්වා සිටි කණ්ඩායමේ හතරේම නායකයින් සඳහන් කර සිටියේ දේශීය ජාතික මෙන්ම දේශීය පිටියේ තරග වදිනු ලබන සෑම තරාතිරමකම ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පෙන්නුම් කිරීමට ඉතා හොඳ අවස්ථාවක් මෙම තරගාවලිය හරහා උදාවන බවයි.

දසුන් ශානක (නායක – ග්‍රේස්)

“හොඳ තරගාවලියක්. මොකද මේකෙන් ක්‍රීඩා සමාජ වල දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ව මැන බලන්න පුලුවන්. දක්ෂතා දක්වලා ඉදිරියට එන්න ඉන්න ක්‍රීඩකයින් කවුද කියලා මේකෙන් බලන්න පුලුවන්. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරගාවලිය ලොකු අභියෝගයක් තියෙනවා නායකයකු විදියට මට. ඉතිං මම හිතනවා මේකෙන් ලබන පන්නරයෙන් මට ඒ තරගාවලියට හොඳ ක්‍රීඩකයින් ටිකක් සකසා ගන්න පුලුවන් වෙයි කියලා”.

කමිඳු මෙන්ඩිස් (උප නායක – ග්‍රීන්ස්)

“කොවිඩ් නිසා අපිට දේශීය තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වුණා. ඒක නිසා මේ තරගාවලිය අපිට ඉතාමත් වැදගත් තරගාවලියක්. මම දකින විදියට මේ තරගාවලිය ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් වෙනවා එයාලගේ දක්ෂතා පෙන්වන්න. අපිට හෙට තරග වැදීමට නියමිත වෙලා තියෙන දසුන් අයියගේ (ශානක) ටීම් එක ඉතාමත් හොඳ කණ්ඩායමක්. අපි බලපු විදියට එයාලගේ ටීම් එක හොඳ බැලන්ස් ටීම් එකක්. අපේ කණ්ඩායමත් හොඳ සමබර කණ්ඩායමක්. මම හිතන්නේ හොඳ තරගයක් දවස ඉවර වෙනකොට තරගය ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ පියවරෙන් පියවර තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. “

දිනේෂ් චන්දිමාල් (නායක – රෙඩ්ස්)

“කොවිඩ් තත්ත්වයක් උඩ මේ වගේ තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන්න ඕන. මේක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට වගේම නවක ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් උපරිමය ගනියි කියලා බලාපොරොත්තු වෙනවා. නවක ක්‍රීඩකයින් ක්‍රීඩා සමාජ තරගාවලිය නියෝජනය කරද්දී ඔවුන්ට මේ වගේ ආලෝක මධ්‍යයේ තරග කිරීමට තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඉතිං මම හිතන්නේ මේ වගේ ආලෝකය එක්ක ක්‍රීඩා කරන්න ලැබීම ඔවුන්ට ජාත්‍යන්තර තරගවලට යන්න කළින් ලොකු අත්දැකීමක්. මම හිතනවා මේ අත්දැකීම හරි විදියට යොදා ගනිමින් ඔවුන්ගේ ක්‍රිකට් දිවිය ඉදිරියට රැගෙන යන්න හොඳ අවස්ථාවක් කරගනියි කියලා.”

ඇන්ජලෝපෙරේරා (නායක – බ්ලූස්)

“ප්‍රතිවාදීන්ගේ ශක්තිය ගැන එතරම් අදහසක් නෑ. මොකද ගොඩක් අය දේශීය තරගාවලියේදී හොඳින් දක්ෂතා දක්වපු ක්‍රීඩකයින් ඉන්නේ. අපිට තියෙන ප්‍රශ්නයක් තමයි කවුද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම කියන එක. තරගයෙදි තමයි අපිට බලන්නේ වෙන්නේ. මොකද සමහර අයට ආබාධ ඇවිල්ලා තියෙනවා. සමහර අයට කොවිඩ් ප්‍රශ්න තියෙන හින්දා. අපි බලාපොරොත්තු වෙන්නේ  ප්‍රතිවාදීන්ගේ ශක්තිය ගැන සිතනවට වඩා අපේ පාලනයේ තියාගන්න පුලුවන් ටික කරගෙන යන්න”.

බ්ලූස්  ධනංජය ද සිල්වා (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), සධීර සමරවික්‍රම, නිෂාන් මධුෂ්ක, හිමාෂ ලියනගේ, පවන් රත්නායක, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ළහිරු සමරකෝන්, ධනංජය ලක්ෂාන්, සුරංග ලක්මාල්, කලන පෙරේරා, ඩිල්ෂාන් මධුශංක, ශිරාන් ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, මහේෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ.

ග්‍රේස්  දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), මිනෝද් භානුක, ලසිත් කෲස්පුල්ලේ, හිමාෂ ලියනගේ, භානුක රාජපක්ෂ, කමිල් මිශාර, නුවනිඳු ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ළහිරු මධුශංක, මිලින්ද සිරිවර්ධන, උදිත් මදුශාන්, නුවන් ප්‍රදීප්, චාමික ගුණසේකර, මතීෂ පතිරණ.

ග්‍රීන්ස්  අශාන් ප්‍රියන්ජන් (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), ළහිරු උදාර, මහේල උඩවත්ත, ක්‍රිෂාන් සංජුල,  පැතුම් නිස්සංක, සමින්ද ප්‍රනාන්දු, ශම්මු අශාන් රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර.

රෙඩ්ස්  දිනේෂ් චන්දිමාල් (නායක), අවිෂ්ක ප්‍රනාන්දු (උප නායක), නිපුන් ධනංජය, ඕෂධ ප්‍රනාන්දු, මුදිත ලක්ෂාන්, අසේල ගුණරත්න, ලසිත් අබේරත්න, සික්කුගේ ප්‍රසන්න, චාමික කරුණාරත්න, සංතුෂ් ගුණතිලක, බිනුර ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක, ප්‍රභාත් ජයසූරිය

Related posts

පාසල් ක්‍රිකට් නංවන්න ක්‍රිකට් ආයතනය පන්දු යැවීමේ යන්ත්‍ර16 ක් පිරිනමයි

Web Admin

අවාසියට තියෙන තරගයේ තිරිමාන්න දුටු වාසිය

Chamila Karawita

Under 19 Sri Lanka Squad for the Bangladesh Series

Web Admin