Featured Media Centre News SLC Invitational T20 League

මේක තමයි විය යුත්තේ – දසුන් ශානක

Chamila Karawita reporting from Pallakele

ඩයලොග් SLC පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිමින් ලකුණක ජයක් ග්‍රේස් පිලට හිමිවීමෙන් පසු අදහස් දක්වා සිටි එහි නායක දසුන් ශානක, තරගාවලියක ආරම්භය මේ ආකාරයෙන් පටන් ගත් විට එය සමස්ථ තරගාවලියට ක්‍රීඩා කිරීමේදී හොඳ පිටුවහලක් වන බවයි. විය යුත්තේද එයම බවද ශානක සඳහන් කරයි.

“හොඳ තරගයක්. මුලින්ම පටන් ගන්නකොට කඩුල්ල ටිකක් මන්දගාමී වුණා. මොකද හවස් වෙද්දී පන්දුව කඩුල්ලේහොඳට වැදිලා ආවා. මම හිතුවේ මුලින් බැට් කරලා ලකුණු 170 ක් කියන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක් කියලා. නමුත් හවස් වෙද්දී විකට් එක ගොඩක් බැට්ස්මන්ලාට සෙට් වුණා. ඉතාමත් තරගකාරී වුණා තරගය. විශේෂයෙන් කමිඳු මෙන්ඩිස් හොඳ ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළා. මේක තමයි වෙන්න ඕන. අපිට තරගාවලියක ආරම්භය මේ වගේ හොඳින් පටන් ගත්තහම ගොඩක් හොඳ පිටුවහලක් වෙනවා ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කිරීමට” යැයි ග්‍රේස් නායකයා පවසයි.

පවර් ප්ලේ අවස්ථාව අවසන් වීමට මත්තෙන් කඩුලු 3 ක් බිඳී යෑම නිසා පිටියට පිවිසි දකුණත් පිතිකරුවා, කණ්ඩායමේ බර කරට ගනිමින් පන්දු 41 කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 84 ක් ලබා ගත්තේය. හතරේ පහර 7 කින් සහ දැවැන්ත හයේ පහර 5 කින් සිය ඉනිම සරසාගත් ශානක දැවී ගියේ තරගය අහවර වන්නට පන්දු 2 ක් යැවීමට ඉතිරිව තිබියදීය.

“මම බැලුවේ වැඩිපුර ඕවර්ස් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන්න. පවර් ප්ලේ එකේදී කඩුලු 3 ක් වැටිලා තියෙනකොට සාමාන්‍යයෙන් ගේම් එක ගොඩක් අනිත් පැත්තට යනවා. ඉතිං මගේ අත්දැකීම් මම යොදා ගත්තා තරගය පස්සට අදින්න. චතුරංග, සහ පුලින එක්ක තිබ්බ පාර්ට්නර්ශිප් එක නිසා තමයි ගොඩක් තරගය වෙනස් වුණේ” යැයි දසුන් පවසයි.

දසුන්ගේ එම ඉනිම තරගයේ ජයග්‍රහණය පමණක් නොව තරගයේ වීරයාසම්මානය පවා ගෙන දීමට දායකත්වය ලැබිණ. එහෙත් සිය දක්ෂතාවය පිළිබඳව අදහස් දැක්වීමේදී තම ඉනිමටත් වඩා පුලින් තරංග යවන ලද පන්දුවාර 4 ත්, සෙසු පන්දු යවන්නන් දක්වන ලද දක්ෂතාවයත් මෙම තරගයේ ජයග්‍රහණයට ඉවහල් වූ බව සඳහන් කර සිටියේය. “මගේ ඉනිමටත් වැඩිය මම හිතනවා පුලින තරංග යවපු පන්දුවාර 4, නුවන් ප්‍රදීප් අන්තිමට යවපු පන්දුවාර 2 ළහිරු මදුශංකගේ පන්දුවාරයයි ඉතාමත් තීරණාත්මක වුණා. මම හිතනවා පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීමකට නිරත වුණා මේ තරගයේදී අපේ කණ්ඩායම ජයග්‍රහණය කරලා දෙන්න” යි දසුන් කියයි.

“අපි දන්නවා තරගාවලියක පළමු තරගය තමයි ගොඩක් අමාරු. ඉදිරියට යද්දී අනිත් ක්‍රීඩකයනුත් අපේ ෆෝම් එකට එයි. මොකද ඔවුන්ට විශ්වාසය කියන එක ඉතාමත් වැදගත් ඉදිරි තරගවලට. ඉතිං මම හිතනවා ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කරලා තරගාවලිය හොඳ උපරිම දක්ෂතා වලට එයි කියලා”යි තරගාවලියේ ඉදිරිය පිළිබඳව අදහස් දක්වමින් ශානක පැවැසීය.

Related posts

SLC honours T20 Asia Cup Champs as well as Asian Netball Champs and C’wealth athletes at felicitation ceremony under patronage of President Ranil Wickremesinghe

Web Admin

මඩුගල්ලේ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ‘හරසර’

Chamila Karawita

දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් දහදෙනාගේ ආසන්නයට

Chamila Karawita