Featured Media Centre News SLC Invitational T20 League

හිමේෂ්ගේ පන්දු යැවීමෙන් රෙඩ්ස්ට පහසු ජයක්

Chamila Karawita reporting from Pallakale

මෙතෙක් තරගාවලියේ පන්දු යවන්නකු වාර්තා කරන ලදහොඳම පන්දු යැවීම වාර්තා කිරීමට හිමේෂ් රාමනායක සමත්වීමත් දිනේෂ් චන්දිමාල්ගේ අර්ධ ශතකයත් හේතුවෙන් ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් බ්ලූස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීම රෙඩ්ස් කණ්ඩායම අද (18 දා) සමත්විය.

ලකුණු 31 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ හෙළීමට හිමේෂ් සමත්වීම නිසා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් පිලට පන්දුවාර 20 අවසනදී රැස් කරගත හැකි වූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 146 ක් පමණි. එම ඉලක්කය හඹා යෑමේදී පන්දු 6 ක් ඉතිරිව තිබියදී රෙඩ්ස් පිල ඉලක්කය සපුරා ගනිද්දී කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදී බ්ලූස් පන්දු යවන්නෝ දවා ගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් හතරේ පහර 6 ක් සමඟ පන්දු 44 කදී ලකුණු 59 ක් වාර්තා කර ගත්තේය. මෙය චන්දිමාල් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය. ඕෂධ ප්‍රනාන්දු සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 37 කදී ලකුණු 54 ක සම්බන්ධතාව ජයග්‍රහණයේ කොඳු නාරටිය බවට පත්විය. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය මත මැද පෙළින් පැමිණි අසේල ගුණරත්නට සහ චාමික කරුණාරත්නට ඉලක්කය පහසු වූ අතර එහිදී ඔවුහු පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් පිලේ ජයග්‍රහණය සනාථ කළහ.

පන්දුවාර 4 කදී ලකුණු 31 ක් ලබා දුන් හිමේෂ් කඩුලු 4 ක් බිඳ හෙළන ලද්දේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 5 ක් ඇතුළත ක්‍රීඩා ගාරයට යවමිනි. මෙම දක්ෂතාවය හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද හිමේෂ් රාමනායක පිදුම් ලැබීය.

ප්‍රථමයෙන්ම නිශාන් මදුෂ්කව දවා ගත් හිමේෂ් අනතුරුව බ්ලූස් නායක ධනංජය ද සිල්වාව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගනු ලැබුවේ බ්ලූස් පිලේ රඳවාගෙන ආ ප්‍රහාරක වේගය අඩපණ කර දමමිනි. හිමේෂ්ගේ එම දක්ෂතාවය බ්ලූස් ඉනිම ලකුණු 146 කට නවතාලීමට ප්‍රධාන ලෙසින් ඉවහල් විය.

එම පන්දුවාරයෙන් පසු ක්‍රියාත්මක කරන ලද ඊළඟ පන්දුවාරයේදී ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වුණු ධනංජය ද සිල්වාව දවාගත් හිමේෂ් යළිත් 19 වැනි පන්දුවාරයේදී සහන් ආරච්චිගේ කඩුල්ල දවා ගනිමින් මෙතෙක් තරගාවලියො හොඳම පන්දු යැවීම වාර්තා කළේය. මීට පෙර හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්ව සිටියේ ග්‍රේස් කණ්ඩායමේ පා දඟ පන්දු යවන පුලින තරංග වන අතර ඔහු ග්‍රීන්ස් පිලට එරෙහිව ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූවේය. එපමණක් නොව මෙම දක්ෂතාවය හේතුවෙන් ඔහු මෙතෙක් වැඩිම කඩුලු ලාභීන්ගේ පෙරමුණේ සිටි සීකුගේ ප්‍රසන්න සමඟ සමතැන් ගැනීමටද සමත්වූවේය. මොවුන් දෙදෙනාම කඩුලු 6 ක් දවා ගෙන ඉදිරියෙන් සිටින නමුත් ප්‍රසන්නට වඩා එක් තරගයක් හිමේෂ් අඩුවෙන් ක්‍රීඩා කර තිබීම නිසා ඔහුට එම සටහනේ පළමු ස්ථානය හිමිව තිබේ.  

පෙර තරග වල අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ධනංජය ලක්ෂාන් අද තරගයේ ආරම්භක පිතිකරුවකු ලෙසින් පිටියට පැමිණ අතර මුහුණ දුන් 38 වැනි පන්දුවේදී හේ අර්ධ ශතකය වාර්තා කරගත්තේය. බ්ලූස් සිව්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට හතරේ පහර 7 ක් සමඟින් පන්දු 47 කදී ලකුණු 55 ක් රැස් කරගෙන සිටියේය. මුලු ලකුණු සංඛ්‍යාව 36 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම පිටියෙන් ඉවත්වීමෙන් පසු ධනංජය ලක්ෂාන්ට එකතු වූ නිශාන් මදුශ්ක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක් එක් කරමින් බ්ලූස් ඉනිම ස්ථාවරත්වයකට ගෙන ආහ.

බ්ලූස් ඉනිමේ දැවී ගිය කඩුලු 7 න් දුවද්දී දැවී යෑම හැරුණු විට දැවී ගිය අනෙක් කඩුලු 6 ම හිමේෂ් සහ චාමික දවා ගැනීමට සමත්වූහ. පන්දුවාර 4 දී ලකුණු 37 ක් ලබා දුන් චාමික කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වද්දී සීකුගේ ප්‍රසන්න සිය පන්දුවාර 4 ලකුණු 15 කට නිමා කිරීමට සමත්වීම පන්දු යැවීමේදී කැපී පෙණින. ලකුණක් සඳහා පැති මාරු කර ගැනීමට ගත් උත්සාහයේදී පන්දුව ගෙන කඩුල්ලටම එල්ල කිරීමට අවිෂ්ක ප්‍රනාන්දු සමත්වීම නිසා මෙතෙක් පැවැති තරගවලදී පිතිකරුවකු ලෙස වැඩි කාර්යය භාරයක් ඉටු කිරීමට සමත්වූ අෂේන් බණ්ඩාර ලකුණු 2 කට පිටියෙන් ඉවත් විය. අනතුරුව පිටියට පිවිසි සහන් ආරච්චිගේට ලකුණු අතරට පැමිණීමට බ්ලූස් පන්දු යවන්නන් ඉඩ හසර ලබා නොදුන් නමුත් 7 වැනි පිතිකරු ලෙසින් පිටියට පිවිසි ළහිරු සමරකෝන් වේගවත් ඉනිමක නිරත වෙමින් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 35 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

Related posts

Sri Lankan Emerging Cricketers to play Club Cricket in Australia following SLC – DDCA MOU

Web Admin

ශ්‍රී ලංකා නැගී එන පිරිමි කණ්ඩායම මුල් තරග තුනම ජයගනී

Web Admin

ආරක්ෂා විය යුත්තේ ආක්‍රමණය කරද්දි මිසක් නිකන් නොවෙයි – හැරවුම් ලක්ෂය ගැන රොමේෂ් කතා කරයි

Web Admin