Featured Media Centre News

නැමීබියාවට එරෙහි පහසු ජයකින් ශ්‍රී ලංකාව වැඩ අරඹයි

By Chamila Karawita

මහීෂ් තීක්ෂණ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නැමීබියාවට එරෙහිව අද (18 දා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සුදුසුකම් ලැබීමේ තරග වටයේ පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ සුපිරි කණ්ඩායම් 12 තරග වටයට ළඟා වීම සඳහා ශ්‍රී ලංකා පිල දැන් පියවරක් ඉදිරියට තබා තිබේ.

ලකුණු 97 ක් වුවද හඹා යෑමේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 18 කදී ඉවත් කිරීමට නැමීබියානු පන්දු යවන්නන් සමත්විය. අනතුරුව චන්දිමාල්වද මුලු ලකුණු සංඛ්‍යාව 26 ක් තිබියදී දවා ගැනීම නිසා පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලබා ගැනීමට සැලසුම් කර තිබූ ලකුණු සංඛ්‍යාව පසෙක ලා ලකුණු 37 කින් සෑහීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එහෙත් කණ්ඩායමට සේවය අවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වුණු භානුක රාජපක්ෂගේ පිත්ත ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වන විට සටහන් වූයේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟ පන්දු 27 කදී ලකුණු 42 ක් වශයෙනි.

භානුකගේ පිත්තෙන් එල්ල වුණු හයේ පහරින් තරගය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ පන්දු 39 ක්ද ඉතිරිව තිබිණ. ප්‍රහාරාත්මක වේගයකින් භානුක ලකුණු ලබා ගනිද්දී අනවශ්‍ය කලබලයකට පත් නොවුණු අවිෂ්ක සිය සහායකයාට සහයෝගය ලබා දුන්නා විනා අනවශ්‍ය පහර කරා නොගියේය. මැද පෙළ පිතිකරුවකු ලෙස  ක්‍රීඩා කිරීමට පටන් ගත් දිනයේ සිට අතිශය සාර්ථකත්වයක් පෙන්නුම් කර සිටින අවිෂ්ක අද තරගයේදීත් ලකුණු 30 ක් ලබා සිටියේ පන්දු 28 කට පමණක් මුහුණ දෙමිනි. හයේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කරගත් අවිශ්ක සහ භානුකගේ සම්බන්ධතාව බිඳ දැමීම සඳහා නැමීබියානු නායකයා පන්දු යවන්නන් අට දෙනෙකුගේ සහයෝගය ලබා ගත්තද ඔවුන් අතර ගොඩ නැංවුණු සිව්වැනි කඩුල්ලේ ලකුණු 74 ක සම්බන්ධතාවය බිඳ දැමීමට ඒ කිසිත් සමත් නොවූහ.

මෙම ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සතු විය. පළමු පන්දුවාරය යැවූ චාමික කරුණාරත්නගේ සිට සෑම පන්දු යවන්නකුම තමන්ට හිමි වගකීම අකුරටම ඉටු කරමින් පන්දු යැවීම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවක් ඉලක්කය බවට පත්වීමට හේතු විය. පන්දු යවන්නන් අතරින් මහීෂ් තීක්ෂණගේ පන්දු යැවීම කැපී පෙනිණ. පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කළ ‍හේ ලකුණු 25 ට කඩුලු 3 ක් ලබා ගත්තේය. නැමීබියානු ආරම්භක පිතිකරුවන් යුගලය සහ මැද පෙළින් පැමිණි ජැන් ෆ්‍රැලින්ක්ගේ කඩුලු දවා ගත් තීක්ෂණ තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

තීක්ෂණ හැරුණු විට සෙසු සියල්ලෝම පන්දු යැවීමේදී සාර්ථක වූහ. වේගය, දෝලනය, සහ ඉලක්කය 100% ක්ම නිවැරදිව තබා ගැනීමට පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරින් මෑතකදී අතිශය දියුණුවක් ලබා සිටින ළහිරු කුමාරගේ මෙන්ම දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්නගේ පන්දු යැවීමද ඉතා විශිෂ්ඨ මට්ටමක පැවැතිණ. කඩුලු දැවී යෑමේදී දඟ අනෙක් දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග කඩුලු 2 ක් දවා ගත්තද දඟ පන්දු යවන්නන් හමුවේ වෙන්ම වේග පන්දු යවන්නන් හමුවේ නැමීබියානු පිතිකරුවෝ අසීරුවෙන් මුහුණ දුන්හ.

චන්දිමාල්ගේ අතින් නායක ජෙහාරඩ් එරස්මස්ගේ උඩ පන්දුව ගිලිහි නොයන්නට කණ්ඩායමේ පන්දු රැකීමද හොඳ මට්ටමක පැවැතිණ. දුෂ්මත් චමීරට හිමි වුණු රූබන් ට්‍රම්පල්මන්ගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් දසුන් ශානක තනි අතින් රැක ගන්නා ලද උඩ පන්දුව ශ්‍රී ලංකා පන්දු රැකීමේ දක්ෂතාවය කෙතරම්ද යන්න මැන බැලීමට හොඳම සාක්ෂියකි.

තරමක් පිටියේ රැඳී සිටි නැමීබියානු නායක එරැස්මස් ලකුණු වේගය ඉහළ නැංවීමේ උත්සාහයක නිරත විය. පන්දු 19 කදී හතරෙ ්පහර 2 ක් ද සමඟ ලකුණු 20 ක් රැස් කළත් එරස්මස් ළහිරු කුමාරගේ ගොදුරක් බවට පත්වෙමින් දැවී ගියේය. නැමීබියානු පිලේ කඩා වැටීම ආරම්භ වූයේ එරැස්මස්ගේ දැවී යෑමත් සමඟය. අනතුරුව තරගයට අවතීර්ණ වුණු වනිඳු හසරංග ඊළඟ පන්දු වාරයේදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ක්‍රෙග් විලියම්ස් (29) වද දවා ගත්තේ නැමීබියානු පිල තවත් අසීරුතාවයට ඇද දමමිනි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට සහභාගිවන තරගය ලබන 20 වැනිදා අයර්ලන්තය කණ්ඩායමට එරෙහිව අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Related posts

50-SIXES PHANTOM BATSMAN BHANUKA RAJAPAKSA SAYS, “My real dream is to represent Sri Lanka in Test Cricket”

Web Admin

නැගී එන කණ්ඩායම් සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

Web Admin

යොවුන් ලෝක කුසලානෙට පෙර ශ්‍රී ලංකාවට එක්දින තරග 7 ක්

Web Admin