Featured Media Centre News T-20 World Cup - UAE

ලෝක කුසලානේ ශ්‍රී ලංකා පළමු කඩඉම අද

By Chamila Karawita

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 18) සිය ලෝක කුසලාන සටනේ පළමු තරගය සඳහා සහභාගිවෙයි. සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ නැමීබියාවට එරෙහිව වූ මෙම තරගය අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති පෙරහුරු තරග 2 ත් ඕමානයට එරෙහි තරග 2 ත් ජයගනිමින් ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීමට නම් අද ඇරඹෙන සුදුසුකම් ලැබීමේ තරග වටයේ තරග වැදීමට නියමිත තරග 3 න් අවම වශයෙන් 2 ක් ජයගත යුතු වේ. අනවශ්‍ය පීඩනයක් ඇති කර ගැන්මට  වඩා තරගාවලියේ සමාරම්භක තරගය ජය ගනිමින් ඉදිරි තරග සඳහා සාර්ථක ප්‍රවේශයක් ගැනීම ශ්‍රී ලංකාවට සෑම අතින්ම සුභ දායක වේ.

වර්තමානයේ කිසියම් පසුබැස්මක් පෙන්නුම් කිරීම මත සුදුසුකම් ලැබීමේ තරග වටය නියෝජනය කරමින් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සිදුවුවත් ශ්‍රී ලංකාව යනු 2014 වසරේ පන්දුවාර විස්සයි-20හි ලෝක ශූරයන් වේ. එම ශූරතාවයට අමතරව අනුශූරතා කුසලාන දෙකකටම (2009 සහ 2012) උරුම කම් කියන ශ්‍රී ලංකාව මෙතෙක් ලෝක කුසලාන තරගාවලිවලදී වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් (තරග 35 කදී ජයග්‍රහණ 22 ක්) වාර්තා කර ගැනීමට සමත්ව සිටින කණ්ඩායමයි.

අද දිනයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින නැමීබියා කණ්ඩායම ජාත්‍යන්තරයේ එතරම් අවධානයකට පාත්‍ර නොවන කණ්ඩායමක් වුවත්,  විස්සයි-20 තරග රටාවේ පවතින අධි වේගවත් භාවය නිසා ඔවුන් පහසුවෙන් තැකිය නොහැක. තුන් ඉරියව් ක්‍රීඩක ගෙර්හාඩ් ඉරැස්මස් නායකත්වය දරන නැමීබියා කණ්ඩායමේ සිටින ඩේවිඩ් වීස් ප්‍රබලම තුරුම්පුව වන්නේය. ඔහු නැමීබියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට පෙර ප්‍රබල දකුණු අප්‍රිකානු පිලේ සාමාජිකයකු ලෙස ක්‍රීඩා කර තිබෙන අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා කණ්ඩායම ගත් විට කණස්සලට හේතුවන එකම කරුණ වන්නේ ඉදිරි පෙළ නියෝජනය කරන පිතිකරුවන් එකවර ලකුණු අතරට පැමිණීමට අසමත්වීමය. තරගයකදී එක් පිතිකරුවකු හෝ දෙදෙනකුගේ දක්ෂතාවයන් හැරුණු විට එක පොකුරට දක්ෂතා අතරට පැමිණීමට ශ්‍රී ලංකා පිතිකරුවන් තවමත් අසමත්ව සිටියි. ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩා කරන ලද පුහුණු තරග වලදීද මෙම තත්ත්වය දැක ගැනීමට හැකි විය. ඒ අනුව බැලීමේදී ශ්‍රේණිගත කිරීම්හි පහළින් පසුවන නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය පිති මුවහත් කර ගැනීමට හොඳ අවස්ථාවක් අද දිනයේදී හිමිව තිබේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර පිතිකරණ අනුපිළේ වෙනසක් කරමින් ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දුව අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට කටයුතු කිරීම, ශ්‍රී ලංකාව අත්හදා බලන ලද කරුණු අතර සාර්ථක විය. එම වෙනස්කමත් සමඟ පුහුණු තරග 4 දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 119.5 ක් රඳවා ගැනීමට අවිෂ්ක සමත්ව සිටියි. දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් වරට පැවැති එක්දින තරගාවලියේදී තරගයේ වීරයා සම්මානය දිනා ගත් චරිත් අසලංකත්, තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස එක්ව සිටින චාමික කරුණාරත්නත් ශ්‍රී ලංකා පිලේ වැඩි බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩකයින්ය.

පන්දු යැවීම ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසියම් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගෙන සිටියි. වනිඳු හසරංග පන්දු යැවීමේ ප්‍රධානියා වෙයි. වේග පන්දු යවන දුෂ්මන්ත චමීරත් පන්දු යැවීමේදී සාර්ථක රිද්මයක් ගොඩ නගා ගැනීමට සමත්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු වැඩි කරවන්නක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා පිලේ වැඩිම බලාපොරොත්තුවක් බවට පත්ව සිටින පන්දු යවන්නා වන වනිඳු හසරංග මෙම ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වන්නේ විස්සයි-20 තරග අංශයේ පන්දු යවන්නන් අතර ජගත් වර්ගීකරණයේ දෙවැන්නා ලෙස රැඳී සිටිමිනි. මේ වසරේ පැවැති විස්සයි20 තරගවලදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 13.15 ක් රඳවාගෙන සිටින හසරංග පන්දු වාරයක් ලකුණු 6 කට අඩුවෙන් (5.59) තබා ගැනීමට සමත්ව සිටියි. තරග 25 කදී කඩුලු 35 ක් දවා ගෙන ඇති වනිඳු පන්දු යැවීමට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ප්‍රතිවාදීන්ට වැඩි අභියෝගයකි. අවශ්‍ය විටෙක වේගයෙන් ලකුණු රැස් කිරීමට දස්කම් දක්වන වනිඳුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 131.34 ක් ලෙසින් සටහන් වේ.  

ඊට අමතරව මෙවර තරගාවලියේදී වැඩිම අවධානයක් දිනා සිටින නවකයින් අතර දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණට විශේෂත්වයක් හිමිවේ. සහභාගිවුණු මංගල තරගයේ මංගල පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වූ තීක්ෂණ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එම තරගයේදී කඩුලු 4 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමට මූලිකත්වය ගත්තේය. අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන තීක්ෂණ මෙන්ඩිස් මෙන්ම විශ්මිත පන්දු යැවීමට දක්ෂයෙකි. පළමු පෙළ විස්සයි-20 තරග 26 කට ක්‍රීඩා කර ඇති දකුණත් දඟ පන්දු යවන්නා දවා කඩුලු 22 ක් දවා ගෙන සිටින්නේ පන්දු වාරයකට ලකුණු 5.68 ක් තරම් අවම සාමාන්‍යයක් රඳවා පිතිකරුවන් හමුවේ ලබා දෙමිනි. කොටින්ම තීක්ෂණ යනු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සතු ‘රහස්ම අවිය’ වන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (උප නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු.

නැමීබියා කණ්ඩායම – ජෙහාර්ඩ් ඉරැස්මස් (ඇ), ස්ටීවන් බාර්ඩ්, කාල් බර්කන්ස්ටොක්. මිචාවු ඩු ප්‍රීස්, ජෑන් ෆ්‍රයිලින්ක්, සෑන් ග්‍රීන්, නිකොල් ලොෆි-ඊටන්, බර්නාඩ් ස්කොල්ට්ස්, බෙන් ෂිකොන්ගෝ, ජේ. ජේ. ස්මිත්, රූබන් ට්‍රම්පල්මන්, මයිකල් වෑන් ලින්ගන්, ඩේවිඩ් වීස්, ක්‍රේග් විලියම්ස්, පිකී යා ෆ්‍රාන්ස්.

Related posts

Video: 3rd T20I Post Match Press Conference with Lasith Malinga

Web Admin

Kusal Perera ruled out of India series due to injury

Web Admin

ලකුණු 300 ක් ගත්තොත් සටනක් දිය හැකියි – ලසිත් ඇඹුල්දෙණිය

Web Admin