Featured LPL Media Centre News

‘ක්‍රීඩක කෙටුම්පත්’ කිරීම නොවැම්බර් 09 වැනිදා

දෙවැනි වරට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම වන ‘ක්‍රීඩක කෙටුම්පත්’ (Player draft) කිරීමෙහි දින සංශෝධනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මූලික සැලසුම අනුව එම ‘ක්‍රීඩක වෙන්දේසිය’නොවැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් එය මේ වන විට නොවැම්බර් 09 වැනිදා පැවැත්වීමට තීරණය වී තිබේ.

නොවැම්බර් 04 වැනි දිනට යෙදී තිබෙන දීපවාලි උත්සව සමයට බාධාවක් නොවන අයුරින් මෙම ක්‍රීඩක වෙන්දේසිය පවත්වන ලෙස කණ්ඩායම් හිමිකාරීත්වය විසින් සිදුකරන ලද ඉල්ලීමක් පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහත තීරණයට එළැඹ තිබේ.

විදේශීය ක්‍රීඩකයින් 300 කින් සහ දේශීය ක්‍රීඩකයින් 300 කින් සමන්විත ක්‍රීඩකයින් 600 දෙනෙක් මෙවර ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර එම වෙන්දේසිය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩක තෝරා ගැනීමේදී කණ්ඩායම්වල පුහුණුකරුවන් හෝ හිමිකාරීත්වය විසින් නම් කරනු ලබන කණ්ඩායමක් විසින් ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුකරනු ලබයි.

මෙහිදී සන්නාම කාණ්ඩය, ඩයමන්ඩ් කාණ්ඩය, ගෝල්ඩ් කාණ්ඩය සහ ක්ලැසික් කාණ්ඩ යටතේ දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් බැගින් කණ්ඩායමට එක් කර ගැනීම ඒ ඒ හිමිකාරීත්වයන්ට අවස්ථාව උදා වී තිබේ. වට 20 කින් සමන්විත මෙම ක්‍රීඩක තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔප් නැංවීම සහ හඳුනා ගැනීම වෙනුවෙන් දේශීය නැගී එන සහ දේශීය අතිරේක යන කාණ්ඩ 2 ක්ද මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර තිබේ.

කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් සමන්තිව ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තබා ගැනීමට ඒ ඒ කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවනු ඇත. කිසියම් හිමිකාරීත්වයකට පෙර වසරේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් විදේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු වශයෙන් මුලු ක්‍රීඩකයින් 8 දෙනෙකු රඳවා ගත හැකි වනු අතර ඉතිරි ක්‍රීඩකයින් වෙන්දේසියේදී තෝරා ගත යුතු වනු ඇත.  

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සහ හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියේ මූලික වටයේ තරග 20 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද අවසන් පූර්ව සහ අවසන් මහ තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේද පැවැත්වෙනු ඇත. එලිමිනේටර් තරග වටයක්ද ඇතුළත් මෙවර තරගාවලියේදී අවසන් මහ තරගය සඳහා අතිරේක දිනයක්ද නම් කර තිබීම කැපී පෙනෙයි.

Related posts

කලුතර ප්‍රිමියර් ලීග් අභිනව ශූරතාව පානදුර ක්‍රීඩා සමාජයට

Chamila Karawita

අවසන් පන්දුවේදී දඹුල්ල වයිකින්ස්ට ජය

Chamila Karawita

මැතිව්ස් හදිසියේම ලංකාවට එයි

Chamila Karawita