Featured Media Centre News NSL 2022

සිතාර සහ නුවනිඳුගේ ශතක කලම්බු බලාපොරොත්තු වැඩි කරති

Chamila Karawita from Pallekele

සිතාර ගිම්හාන් සහ නුවනිඳු ප්‍රනාන්දු එක්ව වාර්තා කරන ලද අගනා ශතක හේතුවෙන් නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 107 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට කලම්බු කණ්ඩායම අද (07 දා) පස්වරුවේ සමත්වූවේය. මෙම ජයත් සමඟම කලම්බු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටින බැවින් අවසන් මහ තරග වරම උදාකර ගැනීම, දැඩි සටනක් නර්මාණය කරවන්නක් බවට පත්ව තිබේ.

ආරම්භයේ සිටම මනා විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන් කලම්බු පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 317 ක දැවැන්ත ඉලක්කයක් දඹුල්ල කණ්ඩායම හමුවේ තැබූහ. එය හඹා යෑමේදී දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි.

දඹුල්ල ඉනිමේ ආරම්භය බිඳ දැමීමේ පුරෝගාමීන් බවට පත්වූයේ කලම්බු පිලේ වමත් පන්දු යවන්නන් දෙදෙනා වූ කලන පෙරේරා සහ මොහොමඩ් ඩිල්ෂාඩ් පවර් ප්ලේ අවස්ථාව නිමාවීමට මත්තෙන්ම ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනාම නරඹන්නන් බවට පත් කළහ. දැවී ගිය පිතිකරුවන් අතර නායක මිනෝද් භානුක (09), ගයාන් මනීශාන් (01), අශාන් ප්‍රියන්ජන් (09) සහ දුශාන් හේමන්ත (02) වූහ.

ලකුණු 32 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී පස්වැනි කඩුල්ලට එක් වූ ලසිත් අබේරත්න සහ සමීර සඳමාල් ලකුණු 57 බැගින් ලබා ගනිමින් බිඳ වැටුණු දඹුල්ල ඉනිම ගොඩ ගැනීමේ අසීරු උත්සාහයක නිරත වුවද එය ඔවුන් පිට පිට ලැබූ 6 වැනි පරාජය වළකාලීමට නොහැකිවූහ. මෙම පරාජයත් සමඟ ඔවුන්ට අවසන් මහ තරග වරම සඳහා තිබූ අවසන් බලාපොරොත්තුවද ගිලිහී ගියේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු කලන පෙරේරා ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී ළහිරු මධුශංක ලකුණු 50 කට කඩුලු 3 ක් බිඳ හෙළීය.   

ආබාධයක් හේතුවෙන් නායක දිමුත් කරුණාරත්න අද තරගයට ක්‍රීඩා නොකළ බැවින් ඉනිම ආරම්භ කළ සිතාර ගිම්හාන් සහ නිපුන් ධනංජය (47) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. පන්දු 146 කදී ගොඩනැංවුණු එම සම්බන්ධතාව බිඳ වැටුණේ සමීර සඳමාල් විසින් ලකුණු 47 ක් ලබා සිටි නිපුන් ධනංජයව දවා ගැනීමත් සමඟය.

අනතුරුව සිතාරට එකතු වූ නුවනිඳු ප්‍රනාන්දු දඹුල්ල පන්දු රකින්නන් වෙහෙසට පත් කරමින් පන්දුවට පහර දුන්හ. මොවුන් දෙපළ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් වූ ලකුණු සම්බන්ධතාවය ලකුණු 62 කට සීමා වුවත් ඒ අතරතුරදී සිතාර ගිම්හාන් සිය පළමු පෙළ එක්දින තරග දිවියේ මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත්වූයේය. මුහුණ දුන් 97 වැනි පන්දුවේදී ආරම්භක වමත් පිතිකරුවා සිය ශතකය සම්පූර්ණ කර ගත්තේය.

ශතකය ආසන්නයට පැමිණියද කිසිදු චකිතයක් නොපෙන්වූ සිතාර ලකුණු 90 ක් ලබා සිටියදී ලෝන් ඕන් කළාපයට ඉහළින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ලකුණු සංඛ්‍යාව 96 ක් දක්වා ඉහළ දමා ගත් අතර ඊට පන්දු දෙකකට පසු නැවතත් හතරේ පහරක් එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කර ගත්තේය.

සිතාරගේ ශතකය මෙවර තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද තෙවැනි ශතකය ලෙසින් සටහන් විය. සිතාරට ප්‍රථම ඕෂද ප්‍රනාන්දු (138) ක් සහ ධනංජය ද සිල්වා (102) ශතක වාර්තා කර ගැනීමට සමත්වුවත් ඔවුන් දෙදෙනාම ජාත්‍යන්තර තලයේ පිතිකරුවෝ වෙති. ඒ අනුව සිතාරගේ ශතකය දේශීය තරග පිටියේ පිතිකරුවන් අතරින් වාර්තා වුණු පළමු ශතකය බවට පත්විය.

සිතාර දැවී යන තෙක් ඔහුට නොමඳ සහායක් ලබා දුන් සෙසු ශතක ලාභී නුවනිඳු ප්‍රනාන්දු 60 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. එතැන් පටන් ප්‍රාහාරාත්මක වේගය වැඩි කළ දකුණත් පිතිකරුවා ශතකය කරා ගිය ගමනට වැය කරන ලද්දේ පන්දු 21 ක් පමණි. දැවැන්ත හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් නුවනිඳු සිය ඉනිම වර්ණවත් කරගනිද්දී ඔහුගේ වැඩිමහලු සොහොයුරා වන විශ්ව ප්‍රනාන්දුට තම බාල සහෝදරයාගේ පිතිහරඹය මෙල්ල කළ නොහැකි විය. කලම්බු පිලේ ශතක ලාභීන් දෙදෙනාගේ පිතිහරඹය මෙල්ල කිරීම සඳහා දඹුල්ල නායකයා මිනෝද් භානුක පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහාය ලබා ගත්තද පිතිකරුවෝ සිය ඉලක්කයන් කරා ගියහ. පන්දු 82 කදී ගොඩනැංවුණු නුවනිඳුගේ ලකුණු 100, ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ මංගල ශතකය මෙන්ම තරගාවලියේ සිව්වැනි ශතකය ලෙසින්ද සටහන් විය.

තරගයේ වීරයා – සිතාර ගිම්හාන්

ලකුණු සාරාංශය

කලම්බු පන්දුවාර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 317 යි – (සිතාර ගිම්හාන් 110, නුවනිඳු ප්‍රනාන්දු 100, නිපුන් ධනංජය 47, රොෂේන් සිල්වා 10, අෂේන් බණ්ඩාර 24, කලන පෙරේරා 12, දුශාන් හේමන්ත 56/3, ළහිරු සමරකෝන් 41/2)

දඹුල්ල පන්දුවාර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 210 යි – (ලසිත් අබේරත්න 57, සමීර සඳමාල් 57, ළහිරු සමරකෝන් 34, මොහොමඩ් ඩිල්ෂාඩ් 45/2, කලන පෙරේරා 30/3, ළහිරු මදුශංක 50/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 45/2)

Related posts

ශ්‍රී ලංකා-නවසීලන්ත සජීවී විකාශනය රූපවාහිනියට හිමිවද්දී ගුවන් විදුලි විකාශන අයිතිය සිත එෆ්.එම්.ට

Web Admin

සත්කාරකයෝ ශ්‍රී ලංකාවේ ආසන්නයටම එති

Chamila Karawita

ආරාධිත විස්සයි-20 ලීග් සටනට සියල්ල ලෑස්තියි

Chamila Karawita