Featured Media Centre News NSL 2022

මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 800 ඉක්මවයි

By Chamila Karawita

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (17 දා) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණු තරගයේදී පළමු පෙළ තරග වල කඩුලු 800 සීමාව ඉක්මවාලීමට දඹුල්ල කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර සමත්විය. කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු ලසිත් කෲෂ්පුල්ලේගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ එම සුවිශේෂී කඩඉම පසුකිරීමට පුෂ්පකුමාර සමත්වූවේය.

වසර 82 කට ඈත ඉතිහාසයකට හිමිකම් කියන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ කඩුලු 800 සීමාව ඉක්මවා ගිය හයවැනි පන්දු යවන්නා බවට මාලින්ද පුෂ්පකුමාර අද පත්විය. මාලින්දට පෙර එම සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුඩු ලාභියා වන මුත්තයියා මුරලිදරන් (1374), රංගන හේරත් (1001), දිනුක් හෙට්ටිආරච්චි (929), සජීව වීරකෝන් (802) සහ ඩිල්රුවන් පෙරේරා (808) පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 2 කට ක්‍රීඩා කර ඇති පුෂ්පකුමාරගේ හොඳම පන්දු යැවීම වශයෙන් ලකුණු 92 කට කඩුලු 5 ක් සටහන් වේ. පළමු පෙළ තරග දිවියේදී ලකුණු 37 ට දවා ගන්නා ලද කඩුලු 10 මාලින්දගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

පළමු දිනට තරගය නිමා කරද්මාදී මාලින්දගේ නම ඉදිරියෙන් කඩුලු 2 ක් සටහන් වද්දී  මෙවර තරගාවලියේ ලකුණු අතර සිටින පිතිකරුවන් බවට පත්ව සිටින කමිඳු මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු සහ කමිල් මිෂාර රැස් කරන ලද අර්ධ ශතක හේතුවෙන් සිව්වැනි සතියේ පළමු දිනට තරගය නිමා කරන විට කැන්ඩි කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 297ක් රැස් කිරීමට සමත්ව සිටියේය.

අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පැයකට පමණ කළින් තරගය නතර කරන විට කැන්ඩි පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු හතරකට ආසන්නම සංඛ්‍යාවක් රඳවාගෙන සිටීමට සමත්විය. කැන්ඩි කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් අද තරගයයේදී ද ලකුණු රැස්කිරීමේ දී දස්කම් දැක්වීමට සමත්වීමත් සමඟ ඉනිමක ලකුණු 77.7 ක සාමාන්‍යක් රඳවා ගැනීමට සමත්ව සිටියි. එම කණ්ඩායමේ අංක තුන පිතිකරු ඕෂද ප්‍රනාන්දු ද ඉනිමක සාමාන්‍ය ලකුණු 49.22ක් රැස් කිරීමට සමත්ව සිටියි.

කැන්ඩි කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා කමිල් මිෂාර සහ ලසිත් කෲස්පුල්ලේ (43) තම කණ්ඩායමට අගනා ආරම්භයක් ලබාදුන‍්නේ පන්දු 68ක් තුලදී ලකුණු 58ක් රැස්කරමිනි. මේ අවස්ථාව වන විට පන්දු 42කට මුහුණදී හතරේ හතක් සමඟ ලකුණු 43ක් ලබා සිටි කෲස්පුල්ලේ පුෂ්පකුමාරගේ පළමු ගොදුර ලෙසින් දැවී ගියේය. කෲස්පුල්ලේගේ කඩුල්ල දවා ගත් මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 800 සීමාව ඉක්මවා යෑමටද අද සමත්වූවේය. මෙම තරගයට පෙර පළමු පෙළ තරග 141 කට සහභාගිව සිටි වමතින් දඟ පන්දු යවන මාලින්ද කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.19 ක් රඳවා තබා ගනිමින් කඩුලු 799 ක් බිඳ හෙළීමට සමත්ව සිටියේය.

කැන්ඩි කණ්ඩායමේ හොඳම සබඳතාවය වූයේ දෙවන කඩුල්ලට කමිල් මිෂාර  සහ ඕෂද ප්‍රනාන්දු පන්දු 239කට මුහුණදී ලබාගත් ලකුණු 147ය. කමිල් මිෂාර දෙවන කඩුල්ල ලෙස දැවීයන විට පන්දු 150කට මුහුණදී හතරේ හතක් සමඟ ලබසිටි ලකුණු සංඛ්‍යාව 74කි.

ඕෂද ප්‍රනාන්දුට මේ තරගාවලියේදී සතුකර ගැනීමට තිබූ තෙවන ශතකය ඔහු වෙතින් ලකුණු තුනක් පමණක් අඩුව තිබියදී අහිමිව ගියේ අවාසනාවන්ත අයුරිනි. ඕෂද තෙවැනි කඩුල්ල ලෙස දැවීයන විට පන්දු 135කට මුහුණදී හතරේ හතක් හයේ පහරක් සමඟ ලකුණු 97 ලබාසිටියේය.

නොදැවී පන්දුවට පහරදෙන නායක කමිඳු මෙන්ඩිස් පන්දු 96කදී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 51 ක්ද  ළහිරු උදාර නොදැවී 22ක්ද ලබා සිටියහ. දඹුල්ල කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා‍වූ මාලින්ද පුෂ්පකුමාර කඩුලු දෙකක් දවාලූවේ ලකුණු 80ක් ලබාදෙමිනි.

ලකුණු විස්තරය

කැන්ඩි මුල් ඉනිම ප්‍රථම දින නිමවන  විට කඩුලු 3ට 297 (පන්දුවාර 77)  – (ඕෂද ප්‍රනාන්දු 97, කමිල් මිෂාර 74, කමිඳු මෙන්ඩිස් නොදැවී 51, ලසිත් කෲස්පුල්ලේ 43, ළහිරු උදාර නොදැවී 22,  මලින්ද පුෂ්පකුමාර 80/2, පවන්ත වීරසිංහ 44/1)

Related posts

SLC and SLT join hands to construct a new cricket ground

Web Admin

LPL will up local cricket and mental wellbeing of COVID hit nation – Bandula Warnapura

Web Admin

Tamil Union stun CCC, Lankan CC upstage Chilaw Marians, SSC crush Galle

Web Admin