Featured Media Centre News Womens Cricket

ඉන්දියාව පරදවන්න ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් වෙනමම සැලසුමක්

Chamila Karawita reporting from Dambulla

විස්සයි-20 සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව වන තරග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කාන්තා පිල හෙට (23 වැනිදා) පස්වරුවේදී සහභාගිවනු ඇත. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ප.ව. 2.00 ට ආරම්භ වනු ඇත.

2019 වසරෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් සියමව්බිමේදී ද්වී පාර්ශ්වීය තරගාවලියකට සහභාගිවන පළමු තරගාවලිය ලෙසින් සටහන් වන මෙම තරගාවලියේදී දෙපිළම පරාජිත මානසිකත්වයෙන් යුක්තව සහභාගිවීම කැපී පෙනෙයි. සත්කාරකයින් මෙම තරගාවලියට පිවිසෙන්නේ පාකිස්තානයට එරෙහිව ඉකුත් මසදී පැවැති තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුවය. කාන්තා කන්ඩායම් අතර සංසන්දනය කිරීමේදී ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායම ලෝකයේ ඉදිරියෙන් සිටින රටක් ලෙසින් සැලකුණත් ඔවුන්ද මෙම තරගාවලියට පිවි‌සෙන්නේ අවසන් වරට සහභාගිවුණු තරගාවලි 4ම පරාජයට පත්වීමෙන් පසුවිය.

එසේ වුවත් සිය ප්‍රතිවාදීන් කිසි විටෙකත් අවතක්සේරුවට ලක් කිරීමට සත්කාරක පිලේ නායිකාව සූදානමක් නැත. ලොව ප්‍රධාන පෙළේ ලීග තරගාවලි නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන් කීප දෙනෙකුම ඉන්දීය කණ්ඩායම සතු වීමත්, ඒ හරහා ඔවුන්ගේ පිතිකරණ ශක්තිය ඉතා ඉහළ මට්ටමක පැවැතීම ඊට හේතු වේ. පිතිකරණ අංශය අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්දීය කණ්ඩායම පසු වුවත් පන්දු යැවීමේ ශක්තිය ගෙන බැලීමේදී දෙපිළම සම මට්ටමක පවතින බව චමරි අතප්තතුගේ අදහස වන්නීය.

දෙරට අතර හෙට ආරම්භවීමට පෙර පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ බව ඇය සඳහන් කර සිටියාය. “කණ්ඩායම් දෙක සංසන්දනය කරන විට ඔවුන් (ඉන්දියාව) අපිට වඩා ඉදිරියෙන් සිටින බව අපි පිළිගන්න ඕන. ඔවුන් සතුව ඉක්මනින් ලකුනු ලබා ගැනීමේ හැකියාව තියෙන ක්‍රීඩිකාවන් රැසක් සිටිනවා සහ ඔවුන්ට අත්දැකීම් රැසකුත් තියෙනවා. මගේ කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව ගත්තහම අත්දැකීම් වගේම වේගයෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙන ක්‍රීඩිකාවන් අඩුයි. ලොකු අඩුපාඩුවක් තියෙනවා නම් තියෙන්නේ එත තමයි” යැයි සඳහන් කරන ශ්‍රී ලංකා නායිකාව, “කණ්ඩායමේ දෙකේම පන්දු යැවීම ගත්තහම දෙපිළම සම මට්ටමක ඉන්නවා. ඒත් අපේ ක්‍රීඩිකාවන් එදා දවසේ උපරිම මට්ටමකින් ක්‍රීඩා කළොත් ඕනෑම කණ්ඩායමසක් පත් කිරීමට අපිට හැකියාව තියෙනවා” යැයිද සඳහන් කර සිටින්නීය.

“ඉන්දියානු කණ්ඩායම ගත්තහම ඔවුන්ගේ ක්‍රීඩිකාවන් 6 ක් 7 ක් ලෝකයේ තියෙන හෙෲඳම ලීග් තරගවලට ක්‍රීඩා කරනවා. අපේ ක්‍රීඩිකාවන්ට සාපේක්ෂව බලද්දී ඔවුන්ට ලොකු අත්අදැකීම් සම්භාරයක් තියෙනවා” යැයි සඳහන් කර සිටින අතපත්තු, එසේ වුවද ඉන්දීය පිල මීට පෙර පරාජයට පත් කරන තිබෙන බවද සඳහන් කර සිටියාය.

හෙට තරගය ඉලක්ක කර ගනිමින් ඉන්දීය කාන්තා කණ්ඩායම අද උදෑසන වරුවේද ශ්‍රී ලංකා පිල පස්වරුවේද රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පුහුණුවීම් වල නිරත වූහ.

“අපි මීට කලින් වතාවේ ලංකාවට ආවෙ වෙලාවේ අපි ඉන්දියාව පරාජය කළා. එතැනදි වැදගත්ම දේ තමයි පිතිකරණය. පිතිකරණයේදී සාර්ථක වුණොත්, විශේෂයෙන් පන්දුවට පහර දෙද්දී ලකුණු 250 ක් හෝ 260 ක් වගේ ලබා ගන්න පුලුවන් නම් අපිට හොද තරයක් දෙන්න පුලුවන්” යැයි අතපත්තු සදහන් කර සිටින්නීය. එම අදහස් දැක්වීමේදී සිය කණ්ඩායම ඉන්දියානු පිල පරාජය කරන ලද්දේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වූ මිතලි රාජ් සහ චිරන් ගෝස්වාමි යන ක්‍රීඩිකාවන් සිටින සමයේ බවද මතක් කර දුන්නාය.

කණ්ඩායමක් ලෙස අසාර්ථකත්වයට පත් වීමේදී මුහුණ දී සිටින බරපතලම ගැටලුවක් වන්නේ ඉනිම අතරතුර නිලකුණු පන්දු වැඩි සංඛ්‍යාවක් සටහන් වීම වන නමුත් එය මෙවර තරගාවලියේදී මඟ හරවා ගැනීම සඳහා සැලසුමක් සකස් කර තිබෙන බවද ශ්‍රී ලංකා නායිකාව සඳහන්  කර සිටියාය.

“ඇත්තටම ගත්තහම ක්‍රීඩිකාවන් එක එක්කෙනාගේ දක්ෂතාවයන් විවිධයි. කෙනෙකුට ලොකු පහරක් ගහන්න පුලුවන් උනාට තවත් අයෙකුට ලකුණ දෙක ගහන්න පුලුවන් අය ඉන්නේ. එතැනදි අපි හඳුනා ගන්න ඔන මොන ක්‍රීඩිකාවටද හයේ සහ හතරේ පහර ගහන්න් පුලුවන්, මොන ක්‍රීඩිකාවටද ලකුණ දෙක ගහන්න පුලුවන් කියලා. මේ පාර ප්ලෑන් එක තමයි ලොකු පාර ගහන්න පුලුවන් අයට ලොකු පාරවල් වලට යන්න කියනවා වගේම ඩබල් සිංග්ල්න් ගහන අය ඒවාට යන්න කියන එක” යැයි චමරි පවසන්නීය.  

“කිව්වා වගේ වැදගත්ම දේ තමයි ඩොට් බෝල් ප්‍රතිශතය අඩු කර ගන්න එක” යැයි චමරි අවධාරණය කර සිටින්නීය.

“අපි හැමෝටම ඉලක්ක දීලා තියෙනවා. එතැනදි ඩොට් බෝල් අඩු කරලා සිංගල්ස් 100 ක් ගහන්න තමයි අපේ ටාගට් එක. ඒ වගේම හතරේ සහ හයේ පහර ගහන ප්‍රතිශතය වැඩි කර ගන්නත් සැලසුම් කරලා තියෙනවා. අපි හඳුනාගෙන තියෙනවා වගේම ඒ වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා. අපිට මේ තරගාවලියේදී එහි අභිවෘද්ධියක් බලා ගන්න පුලුවන් වෙයි. එතැනදි මං කියෙන්නේ නෑ මේක එක දවසකින් ක්ෂණික ප්‍රතිඵල ගෙනේවි කියලා. අපිට ටික කාලයක් අවශ්‍යයි. පිරිමි ගත්තොත් ඔවුන්ටත් ඒ තත්ත්වයෙන් ගොඩ එන්න ටික කාලයක් ගියා. මං හිතනවා අපි කාන්තා කණ්ඩායමත් ටිකෙන් ටික ඒ තැනට ඒවි කියලා” යැයි චමරි සඳහන් කර සිටියාය.

Related posts

යොවුන් පිල අසීරු තත්වයක

Web Admin

Nipun Dananjaya n.o. 91, Kavindu Nadeeshan 4/17 as Sri Lanka rout West Indies by 130 runs

Web Admin

Thirimanne shines with unbeaten 88 for Board XI in aborted England tour

Web Admin