Australia tour of Sri Lanka 2022 Featured Media Centre News

හෙසල්වුඩ්-ෆින්ච් සහ වෝනර් ඔස්ට්‍රේලියානු පිල ඔසවා තබති

By Chamila Karawita

පළමු භාගය අවසන් තෙක්ම ශ්‍රී ලංකාව සතුවූ තරගයේදී තමා යවන ලද පන්දුවාරයේදී කඩුලු 3 ක් දවා ගැනීමට ජොෂ් හෙසල්වුඩ් සමත්වීමත්, පළමු කඩුල්ල වෙනුවෙන් නායක ඇරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් නොබිඳිව රැස් කරන ලද ලකුණු 134 ක සම්බන්ධතාවත් නිසා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07 දා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 10 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මොවුන් තිදෙනාගේ දක්ෂතා හේතුවෙන් තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-0 ක් ලෙස සංචාරකයින් පෙරමුණ ගත්තේය.

ලකුණු 129 ක ඉලක්කය හඹා යෑමේදී ප.ව. 10.05 පමණ වන විට තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන විටත් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයට අවශ්‍ය වූයේ තවත් ලකුණු 28 ක් පමණි. යළි ආරම්භ වුණු තරගයේ ජය  14 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ඔස්ට්‍රේලියානුවන්ගේ නම ඉදිරියෙන් ලියැවෙද්දී ඔවුන්ගේ කඩුලු 10 ම ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

චාමික කරුණාරත්නගේ පන්දුවක් ෂෝර්ට් ලෙග් ගලාපයෙන් හතරේ සීමාවට යැවීමට සැලැස්වූ ඩේවිඩ් වෝනර් සිය ඉනිම නොබිඳී තබා ගත්තේ සිය 22 වැනි අර්ධ ශතකයද සමගිනි. ජයග්‍රහණයට ලකුණක් තිබියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් තර්ඩ් මෑන් කළාපයට ඉහළින් හයේ පහරක් ලෙසින් නායක ෆින්ච් හරවා යවන විට තවත් පන්දු 36 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අපහසුතාවයකින් තොරව පන්දුවට පහර දුන් ඩේවිඩ් වෝනර් පන්දු 44 කදී ලකුණු 70 ක්ද නායක ෆින්ච් පන්දු 40 කදී ලකුණු 61 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

මහීෂ් තීක්ෂණ යවන ලද ඉනිමේ පළමු පන්දුවාරයේදීම ෆින්ච් දැවී ගිය පිතිකරුවකු ලෙස ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන සංඥා කළද එසැනින්ම එය අභියෝගයට ලක් කරමින් තවදුරටත් පිටියේ රැදී සිටීමට ෆින්ච් සමත්වූවේය. පා ආවරණයේ වැදීමට පෙර පන්දුව ෆින්චේ පිත්තේ ඇතුළු දාරයේ වැදී යෑම නිසා එම අවස්ථාව ඔස්ට්‍රේලියානු නායකයාට උදාවූවේය. ඔස්ට්‍රේලියානු ඉනිම ක්‍රියාත්මක වද්දී ඔවුන් අතින් සිදුවූ එකම අතපසුවීම වූයේ ලකුණු 55 ක් ලබා සිටි ඩේවිඩ් වෝනර් චාමික කරුණාරත්නගේ පන්දුවකට කවර් හි පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංක වෙත ලබා දුන් උඩ පන්දුව පමණි. අවාසනාව කොතෙක්ද යත් එයද පැතුම්ගේ අතින් ගිලිහී යෑමේ ප්‍රතිඵලය බවට පත්වූයේ ශ්‍රී ලංකාව සිය මව්බිමේද ලද දැවැන්තම විස්සයි-20 තරග පරාජයට මුහුණ දීමට සිදුවීමය.

හෙසල්වුඩ් ක්‍රියාත්මක කරන ලද 14 වැනි පන්දුවාරයට පෙර ශ්‍රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 100 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු වුවත් එම පන්දුවාරය ඇතුළත කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක යන ප්‍රධානතම පිතිකරුවන් තිදෙනා දැවී යෑම නිසා එතෙක් ශ්‍රී ලංකා පිල පිටියේ පවත්වාගෙන ආ බලපරාක්‍රමය බිඳ වැටිණ. එපමණක් නොව අවසන් කඩුලු 9 ම ලකුණු 28 ක් ඇතුළත බිඳ වැටීම නිසා සංචාරකයින්ට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ වැටිණ.

වසර 3 කට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාව තුළ වූ ක්‍රීඩාංගණයක් ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී ඉතිරී ගිය පළමු තරගය ලෙසින් අද පැවැති තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 36 ක වේගවත් ආරම්භයක් ලබා දීමට පැතුම් නිස්සක සහ ධනුෂ්ක ගුණතිලක සමවූහ. තෙවැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවට මිඩ් ඔෆ් කළාපයට ඉහලින් එල්ල කරන ලද හතරේ පහරින් පසු ඊළඟ පන්දුවට මනරම් ස්කූප් පහරකින් හයේ පහරක් එල්ල කළ ගුණතිලක, තරගය නරඹන්නන්ගේ ඔල්වරසන් හඬ වැඩි කිරීමට සමත්වූවේය. හෙසල්වුඩ්ගේ පළමු ගොදුර ලෙසින් ගුණතිලක පිටියෙන් ඉවත්ව ගියේය. අනතුරුව පැතුම් නිස්සංකට එක්වූ චරිත් අසලංක වේගයෙන් පන්දුවට පහර දීම නිසා 12 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන්ම ශ්‍රී ලංකාව ලකුණු 100 කඩඉම ඉක්මවා ගියේය.

එහෙත් මිචෙල් ස්ටාර්ක් විසින් පැතුම් නිස්සංකව දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භවිය. අනතුරුව පන්දුවට අතට ගත් හෙසල්වුඩ් 14 වැනි පන්දුවාරයේදී දවා ගන්නා ලද කඩුලු 3 ත් සමග ශ්‍රී ලංකාවට යළි හිස එසවීමට අවස්ථාවක අහිමිවිය. 19 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 128 කට හමාර වද්දී සිය පන්දුවාර 4 ඇතුළත ලකුණු 14 ක් පමණක් ලබාදී කඩුලු 4 ක් දවා ගැනීමට හෙසල්වුඩ් සමත්වූවේය. එම දක්ෂතාවය ප්‍රධාන කොට ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.  ඊට අනගි සහායක් ලබා දුන් මිචෙල් ස්ටාර්ක් සිය පන්දුවාර 4 දී ලකුණු 26 කට පිතිකරුවන් තිදෙනෙකු දවාලමින් ශ්‍රී ලංකාව නොසිතූ අගාධයකට තල්ලු කර හැරියේය.

තරමක් කොල පැහැති මතුපිටක පැවැති අද තරගයේදී ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සිය උපරිමය ලබා දුන්නේ දැවී ගිය කඩුලු 10 න් 8 ක්ම දවා ගනිමිනි. දැවී ගිය අනෙක් කඩුලු 2 දුවද්දී දැවී යෑම් ලෙස සටහන් විය. පිතිහරඹයේදී මුල් පෙළ පිතිකරුවන් තිදෙනා වූ නිස්සංක (36), ගුණතිලක (26) සහ අසලංක (38) හැරුණු විට ලකුණු 10 සීමාව ඉක්මවාගිය එකම පිතිකරුවා වූයේ වනිඳු හසරංග (17) පමණි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය හෙට (08 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප.ව. 7.00 ට ආරම්භ වේ.

Related posts

SL Women’s T20I skipper Chamari Atapattu to evolve pinch hitting strategy with Yasoda Mendis

Web Admin

තරගයේ වාසිය ගැන දික්වැල්ලගේ විග්‍රහය

Web Admin

ටැමිල්, එ්ස් කැපිටල්, යුද හමුදාව සහ සී.සී.සී. අවසන් පූර්ව වටයට

Chamila Karawita