Featured Media Centre News Pakistan tour of Sri Lanka 2022

ශෆීක්ගේ ශතකයෙන් පාකිස්තානු බලාපොරොත්තු ඉහළ යයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නතර කරන විට ජයග්‍රහණය පේන මාණයට පැමිණීමට පාකිස්තානුවෝ සමත්ව සිටියහ. ලකුණු 342 ක ඉලක්කයක් හඹා යන පාකිස්තානු පිල අද (19 දා) තරගය නිමා කරන විට කඩුලු 3 ට ලකුණු 222 ක් ලබා සිටියේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7 කදී ලකුණු 120 ක් පමණක් ඈතින් සිටිමිනි.

පාකිස්තානු දෙවැනි ඉනිම මෙතරම් ප්‍රබල තත්ත්වයකට පැමිණීම සඳහා ආරම්භක පිතිකරු අබ්දූල් ශෆීක් රැස් කරන ලද ශතකය මනා පිටුවහළක් විය. ඊට නොදෙවැනි වටිනාකමක් එක්වූයේ නායක බාබර් අසාම් රැස් කරන ලද ලකුණු 55 ක ඉනිම විය. පළමුව ඉමාම් උල් හක් සමඟ ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩ නංවන ශෆීක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක අසාම් සමඟ ලකුණු 101 ක් එක් කරමින් පාකිස්තානු පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආවේය.

අනපේක්ෂිත පිතිකරුවන්ට වාසි දායක වන්නට වූ ගාලු තණතීරුවේදී හැකි උපරිම පීඩනය එල්ල කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ පන්දු යවන්නෝ උපරිම උත්සාහයක යෙදුවද, සත්කාරක පිතකිරුවෝ ඊට කදිම සැලසුමකින් යුතුව පහර දුන්හ.

එහෙත් පා ඉන්න දෙසින් කරන ලද අත්හදා බැලීමකදී ජයසූරිය හමුවේ අසාම් පරාජයට පත්වූවේය. පා ඉන්න දෙසින් පැමිණි පන්දුව නිදැල්ලේ යෑමට හැරීමට පාදය පමණක් යොමු කිරීමේදී එය පාදයේ නොවැදී අසාම්ගේ කඩුල්ල සොයා යෑම නිසා දිනය නිමාවට පන්දුවාර කීපයක් ඉතිරිව තිබියදී පාකිස්තානු නායකයාගේ ඉනිම ලකුණු 55 කදී නිමාවට පත්විය.

ලකුණු 35 ක් ලබා ගත් ඉමාම් උල් හක් දවා ගැනීම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් අතට අසීරු උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය චන්දිමාල් අතින් ගිලිහී ගියේය. එම උඩ පන්දුව සඳහා චන්දිමාල් දිව ගියේ නුහුරට වන බැවින් කාල ගණනයේ වූ අතපසුවීමකදී එය චන්දිමාල්ගේ අතේ වැදී බිම වැටිණ.

කෙසේ වෙතත් දැවී ගිය කඩුලු 3 න් 2 ක් ජයසූරිය විසින් දවා ගතක්තේය. පාකිස්තානු දෙවැනි ඉනිම වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 85 න් පන්දුවාර 35 ක්ම යැවූ වමත් දඟ පන්දු යවන්නා නිලකුණු පන්දුවාර 6 ක් ද සමඟ ලකුණු 89 කට කඩුලු 2 ක් දවා ගනිද්දී රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තේය.

ශතකයට ලකුණු 14 ක් පිටුපසින් සිටි අවසන් පිතිකරුවා වූ ප්‍රභාත් ජයසූරිය සමග පිටියට පිවිසි චන්දිමාල්ට අද දිනයේදීද ශතකය පසෙක තබා ඉනිම නොබිඳව තබා ගැනීමට සිදුවූයේ නසීම් ෂා හමුවේ අවසන් පිතිකරුවා දැවී යෑම නිසාය. ජයසූරිය ලකුණු 04 කට සිය ඉනිම හමාර කර ගනිද්දී අනෙක් අන්තයේ රැදී සිටි චන්දිමාල්ගේ ලකුණු 94 සදහා පන්දු  139 කට මුහුණ දී තිබුණි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ මෙම ඉනිමට පෙර ඔහු ක්‍රීඩා කරන ලද අවසන් ඉනිම දෙකේදී නොදැවී ලකුණු 206 ක් සහ 76 ක් වශයෙන් ලබා ගැනීමට සමත්වූවේය.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 66.1 කදී සියලු දෙනා දැවී ලකුණු 222 යි – (ඕෂධ ප්‍රනාන්දු 35, දිමුත් කරුණාරත්න 01, කුසල් මෙන්ඩිස් 21, ඇන්ජලෝ මැතිව්ස් 00, දිනේෂ් චන්දිමාල් 76, ධනංජය ද සිල්වා 11, නිරෝෂන් දික්වැල්ල 04, රමේෂ් මෙන්ඩිස් 11, ප්‍රභාත් ජයසූරිය 03, මහීෂ් තීක්ෂණ 38, කසුන් රජිත (නොදැවී) 12, ශහීන් අෆ්රිඩි 58/4, යසීර් ෂා 66/2, හසන් අලී 23/2)

පාකිස්තානය පළමු ඉනිම පන්දුවාර 90.5 කදී සියලුදෙනා දැවී ලකුණු 216 යි – (අබ්දුල්ලා ශෆීක් 13, ඉමාම් උල් හක් 02, අසාර් අලී  03, බාබර් අසාම් 119, මොහොමඩ් රිස්වාන් 19, අඝා සල්මාන් 05, මොහොමඩ් නවාස් 05, ශහීන් අෆ්රිඩි 00, යසීර් ෂා 18, හසන් අලී 17, නසීම් ෂා 05, කසුන් රජිත 42/1, මහීෂ් තීක්ෂණ 68/2, ප්‍රභාත් ජයසූරිය 82/5, රමේෂ් මෙන්ඩිස් 18/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 96 කදී කඩුලු 9 ට ලකුණු 329 යි – ඔ්ෂධ ප්‍රනාන්දු 64, දිමුත් කරුණරත්න 16, කසුන් රජිත 07, කුසල් මෙන්ඩිස් 76, ඇන්ජලෝ මැතිව්ස් 09, දිනේෂ් චන්දිමාල් (නොදැවී) 86, ධනංජය ද සිල්වා 20, නිරෝෂන් දික්වැල්ල 12, රමේෂ් මෙන්ඩිස් 22, මහීෂ් තීක්ෂණ 11, ප්‍රභාත් ජයසූරිය (නොදැවී 04, මොහොමඩ් නවාස් 88/5, යසීර් ෂා 122/3, හසන් අලී 15/1)

පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 85 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 222 යි – (අබ්දුල්ලා ෂෆීක් (නොදැවී) 112, ඉමාම් උල් හක් 35, අසාර් අලී 06, බාබර් අසාම් 55, මොහොමඩ් රිස්වාන් (නොදැවී 07, ප්‍රභාත් ජයසූරිය 89/2, රමේෂ් මෙන්ඩිස් 76/1)

Related posts

නැගී එන කාන්තා ආසියානු කුසලාන ශූරියන් කවුද…? තීරණය හෙට

Web Admin

ක්‍රිකට් කමිටුවේ මුල් පුටුව අරවින්දට

Chamila Karawita

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Chamila Karawita