Featured Media Centre News Under 15

‘ප්‍රීමා තරගාවලිය’ ක්‍රිකට් ක්‍රීඩාවට හොද මූලාරම්භයක් – ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට වසර 2007 සිට සිලෝන් ඇග්‍රෝඉන්ඩස්ට්‍රීස් ආයතනයේ ප්‍රීමා සමූහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව අති විශාල කාර්ය භාරයක් සිදු කරමින් දුර ගමනක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි. ප්‍රීමා කුසලාන 15න් පහළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවට හොද මූලාරම්භයක් වන බවත්, මෙම තරගාවලියෙන් 17න් පහළ හා 19න් පහළ ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩකයන් හදුනා ගැනීමේ අවස්ථාව උදාවන බවත්, ශ්‍රී ලංකා ක්‍රීකට් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ප්‍රීමා කුසලාන 15න් පහළ ක්‍රිකට් තරගාවලිය කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුලු පාලක මණ්ඩලය වැඩි අවධානයකින් පසුවන බව ද ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසීය. මෙම තරගාවලිය සාර්ථක කිරීමට විශේෂ දායකත්වයක් කනිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයන්, පුහුණුකරුවන් ඇතුලු පිරිසක් ලබාදෙන බව ක්‍රිකට් ලේකම්වරයා සිහිපත් කළේය.

“15න් පහළ දරුවන්ට මේක විශාල අත්දැකීමක්.  සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ආයතනය මේ ලබාදෙන සහයෝගයට විශේෂ ස්තූතියක් පුදකළ යුතුයි. ඉදිරියේදී ඔවුන් සමග තව තවත් සමීපව කටයුතු කරමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම්“ යැයි  මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසූවේ ප්‍රීමා කුසලාන 15න් පහළ ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ ප්‍රීමා සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත ගුණරත්න මහතා පැවැසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් පවත්වන එකම ක්‍රිකට් තරගාවලිය මෙය බැවින් ඒ සදහා අනුග්‍රහය දැක්වීමට ලැබීම සම්බන්ධයෙන් තම සමාගම සතුටට පත්වන බවයි.

“රටපුරා සෑම ඉසව්වක්ම නියෝජනය කරමින් මේ තරගාවලියට ක්‍රීඩකයන් එක් වෙනවා. මෙය යොවුන් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාව තුල දක්ෂතා දැක්වීමට ඇති හොදම වේදිකාවක්. මේ තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රීඩකයන් රැසක් දායාදවී තිබෙනවා. කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා හා චරිත් අසලංක අද ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට පෙර  ප්‍රීමා කුසලාන 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයන් බව සතුටින් මතකක් කළ යුතුයි. කොරෝනා හේතුවෙන් පසුගිය වසර දෙකේදී තරගාවලිය පැවැත්වීමට නොහැකි වුණා. නමුත් නව රටාවකින් මෙවර තරගාවලිය පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. මෙවැනි තරගාවලියකට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පුදකර සිටිනවා“ ගුණරත්න මහතා පැවැසීය.

මෙම තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම කුමන ආකාරයෙන් සිදුවූවේ ද යැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවැසූවේ කනිෂ්ඨ තේරීම් කමිටුව මේ සදහා විශාල කාර්ය භාරයක් ඉටුකරන බවයි.

“මේ සංචිතය තෝරා ගන්නේ පාසල් ක්‍රිකට් සංගමය හා කනිෂ්ඨ තේරීම් කමිටුව එක්වයි. කලින් වර්ෂවලදී කළ ආකාරයෙන්ම මෙවරත් එය නිවැරදිව සිදු කර තිබෙනවා“

මාධ්‍යවේදියා: ඉදිරියේදී යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. මේ තරගාවලිය 2024 යොවුන් ලෝක කුසලාන තරගාවලියට දක්ෂ ක්‍රීඩකයන් සොයා ගැනීමට හොඳ අවස්ථාවක්. කොහොමද ඒ කටයුතු විධිමත් ලෙස කරන්නේ?

දොඩන්වෙල මහතා : මේ තරගාවලියෙන් පසු හොදම ක්‍රීඩකයන් කනිෂ්ඨ තේරීම් කමිටුව මගින් තෝරා අප 15න් පහළ සංචිතයක් හදනවා. දැනට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් 5ක් 6ක්ම මේ තරගාවලියෙන් ආපු අය. මේ තරගාවලිය ඉතාම වැදගත් වෙනවා.

මාද්‍යවේදියා: සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස්  ආයතනයේ ප්‍රීමා සමූහය මේ වගේ තරගාවලියක් පවත්වන්න කල්පනා කළේ ඇයි?

සජිත ගුණරත්න මහතා : අපේ ආයතනය පෝෂණය සම්බන්ධ ආයතනයක්. 2007 දී අපි මුලින්ම තරගාවලිය කළේ. 15න් පහළ වයස තමයි යොවුන් ක්‍රීඩකයන්ගේ අඩුපාඩු හදා ගන්න තියෙන හොදම වයස. ඉතිං පෝෂණය සම්බන්ධ ආයතනයක් ලෙස මේ වගේ වයසක ක්‍රීඩකයන්ගේ තරගාවලියකට අනුග්‍රහය දැක්වීම පිළිබඳ අප සතුටු වෙනවා.

මාධ්‍යවේදියා: කොහොමද මේ කණ්ඩායම් සියලු ප්‍රදේශ නියෝජනය වන පරිදි තෝරා ගත්තේ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා : මුලින්ම මේ තරගාවලිය දිස්ත්‍රික් මට්ටමේ පැවැත්වෙනවා. එහිදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ මෙම පලාත් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා ගත්තා. පළාත් කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් වටය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා කළමනාකරු ටිම් මැකස්කිල් මහතා ද මෙම තරගාවලියේ කණ්ඩායම් තෝරා ගැනීම හා පුහුණුකරුවන් නම් කිරීම පිළිබද අදහස් දැක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවට සිලෝන් ඇගෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ ප්‍රීමා සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත ගුණරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කමිටු සභාපති සමන්ත දොඩන්වෙල, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ ප්‍රීමා සමූහයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු ඩොනවන් ඔන්ඩච්චි, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති හා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා කළමනාකරු ටිම් මැක්කැස්කිල් හා දේශීය ක්‍රිකට් තරගාවලි ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Related posts

එවන්ස්ගේ වාර්තාගත ශතකයෙන් කලම්බු කිංග්ස් ජය ගනියි

Web Admin

පළමු දිනයේදී කඩුලු 12 ක් බිඳ වැටෙති

Chamila Karawita

LPL Theme Song 2021

Web Admin