
පස්වතාවක් ලෝක සූරතාව දිනා සිටින ඕස්ට්‍රේලියාවට මෙවර අවසාන පූර්ව තරගයේ දී ඕවර 17.5ක් ඉතිරිව තිබියදී කඩුලු අටකින් අන්ත පරාජයකට ළක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ එංගලන්තයට වසර 27කට පසුව ලෝක කුසලානය දිනාගැනීමට අපේක්ෂා ඇති කරවමිනි.
ඕස්ට්‍රේලියාව ලකුණු 223කට දවාලීමෙන් පසුව (ඕවර 49යි) බර්මින්හැම්හි එඩ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දහස් සංඛ්‍යාත එංගලන්ත ප්‍රේක්ෂකයන් ගැයු “වසර තිහකට පසු අප ජයග්‍රහණයකට ගෙන යැන්නයි” ගීතය මධ්‍යයේ එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 226ක් ලබා ජයග්‍රහණය කළේ තවත් පන්දු 107ක් ඉතිරිව තිබියදීය.
ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හදුන්වා දී ඇති එංගලන්තය මෙවර අවසාන තරගයට සුදුසුකම් ලැබුවේ 1992 වසරට පසුවය. අළු බදුන (ඇෂෂ්) කුසලානයට මොවුන් සමග තරගවදින ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන එක්දින තරගාවලියන් අවසාන පූර්ව තරග හතකට සහභාගිවී එම සියලු තරග ජයගෙන අවසාන තරගයට සුදුසුකම් ලැබුවත් ඔවුන් අවසාන පූර්ව තරගයක් පරාජය වූ ප්‍රථම වතාව මෙය වේ. මීට වසරකට පෙර එංගලන්තය වෙතින් එක්දින තරග 5-0කට ළක්වු ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේදී ලත් මේ පරාජයේදී එය නැවත ඔප්පු කිරීමක් ලෙසද සැළකේ. මෙවර ලෝක කුසලාන අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති එංගලන්තය හා නවසීලන්තය වරක්වත් ලෝක කුසලානය දිනා නැත.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාව පැමිණි අවස්ථාවේ නායක ඒරන් ෆින්ච් (00) ඩේවිඩ් වෝනර් (09) සහ පීටර් හැන්ඩ්ස් කොම්බ් (04) ඕවර 6.1කදී මුළු ලකුණු 14ක් වන විට දැවී යාමෙන් පසු ඔවුනට නැවත තරගයට අවතීර්ණ වීමට කිසිදු අවස්ථාවක් උදාවූයේ නොමැත. හිටපු නායක ස්ටීව් ස්මිත් (85) සහ ඇලෙක්ස් කේරි (46) සිව්වන කඩුල්ලට ඕවර 21.1කදී ලබාගත් ලකුණු 103 ඔවුනගේ හොදම සබදතාවයයි. ස්ට්ව් ස්මිත් පන්දු 119කදී හතරේ හයක් සමග ලකුණු 85ක්ද ඇලෙක්ස් කේරි පන්දු 70කදී හතරේ හතරක් සමග ලකුණු 46ක්ද මිචෙල් ස්ටාක් පන්දු 36කදී හතරේ පහරක් හයේ පහරක් සමග ලකුණු 29ක්ද ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 23කදි හතරේ පහරක් හයේ පහරක් සමග ලකුනු 22ක්ද ලබාගත්හ. අඩු ලකුණු සංඛ්‍යාවකට ඕස්ට්‍රේලියා දවාලීමට මුල්වූ ක්‍රිස් වෝක්ස් ලකුණු 20කට කඩුලු තුනක් දවා තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීය.
එංගලන්තය ලකුණු 224ක ජයග්‍රහණය ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි අවස්ථාවේ මුලින් අඩු වේගයක් පෙන්නුම් කළත් පිති ප්‍රහාරය වේගවත් වූ විට ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් දිස්වූයේ මලල ක්‍රීඩා පිටියක ධාවකයන් එහාමෙහා කඩිසරව දුවයන ආකාරයකි.
ප්‍රථම කඩුල්ලට ජේසන් රෝයී සහ ජොනී බේස්ටෝ ඕවර 17.2කදී ලකුණු 124ක් රැස් කළ අතර එය මොවුන් දෙදෙනා අතර ලෝක කුසලාන තරගාවලියේ ලකුණු සියය ඉක්මවු සිව්වැනි අවස්ථාවයි.ජේසන් රෝයි පන්දු 65 කදි හයේ පහක් හතරේ නවයක් සමග ලකුණු 85ක්ද ජොනී බේස්ටෝ පන්දු 43කදී හතරේ පහක් සමග ලකුණු 34ක්ද ජෝ රූට් පන්දු 46කදී හතරේ අටක් සමග නොදැවී 49ක්ද නායක ඉයන් මෝගන් පන්දු 39කදී හතරේ අටක් සමග නොදැවී 45ක්ද ලබා ගත්හ.මුළු ලකුණු 147දි (ඕවර 17.2යි)
ජේසන් රෝයි වේග පන්දු යවන කමින්ස්ගේ පන්දුවකට කඩුලු රකින කේරි උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවීගිය බවට තරග විනිසුරු ශ්‍රී ලාංකික කුමාර් ධර්මසේන දුන් තීන්දුව පිළිබදව රෝයි කිසිදු පැහැදීමක් පළ නොකළ අතරම තරග විනිසුරු සමග වචන හුවමාරුවකද යෙදිණි. රෝයි එංගලන්ත ඉනිමේදී ආක්‍රමණශීලි පිළිවෙතක් අනුගමනය කළ අතර වරක් සිටීව් ස්මිත් යැවූ එකම ඕවරයේදී ලකුණු 21ක් ලැබුවේ පිට පිටම හයේ පහර තුනක්ද සමගිනි.
ලකුණු පුවරුව
- ඕස්ට්‍රේලියාව ඕවර 49දී 223යි.
ස්ටීව් ස්මිත් 85, ඇලෙක්ස් කේරි 46, මිචෙල් ස්ටාක් 29, ග්ලෙන් මැක්ස්වල් 22, ක්‍රිස් වෝක්ස් 20ට 3, ජොෆ්රා ආචර් 32ට 2
- එංගලන්තය ඕවර 32.1දී කඩුලු 2ට 226යි
ජේසන් රෝයි 85, ජොනී බේස්ටෝ 34,ජෝ රූට් නොදැවී 49, ඉයන් මෝගන් නොදැවි 45, පැට් කමින්ස් 34ට 1යි.
බන්දුල මොල්ලිගොඩ.