ඩේවිඩ් වෝනර් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 134 ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (27 දා) සමත්විය. ඔස්ට්‍රේලියානු විස්සයි-20 තරග ඉතිහාසයේ ලද දැවැන්තම තරග ජය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක ඔස්ට්‍රේලියානු පිල සමත්විය.
ඇඩිලේඩ්හි ක්‍රියාත්මක මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු පිල පන්දුවාර 20 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 234 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා පිල හමුවේ තැබීමට සමත් වුවත් ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ බල පරාක්‍රමය හමුවේ ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. ඒ අතර තුර ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් 9 දෙනෙකුම දවා ගැනීමට ඇඩම් සම්පා ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලද මෙම පරාජයත් සමඟ අවසන් වරට සහභාගිවූ තරග 4 ම ජයගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගමනද නිමාවට පත්විය.
ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 11.65 ක වේගයක් රඳවා තබා ගැනීමේ අභියෝගය සමඟ පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් එකම පිතිකරුවකු හෝ ලකුණු 20 සීමාව ඉක්මවාලීමට අසමත්වූහ. ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ දසුන් ශානක (17) පමණි. ඔහුට අමතරව කුසල් පෙරේරා (16), ඕෂධ ප්‍රනාන්දු (13), සහ ලසිත් මාලිංග (13) පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා ලකුණු රැස් කරන ලද පිතිකරුවන් බවට පත්වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුව තෙක්ම පන්දුවට පහර දුන් ලසිත් මාලිංග අවසන් පන්දුවට ලකුණු 02 ක් රැස් කර ගැනීමට සමත් වුවද ලකුණු 100 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා පිලට නොහැකි විය. ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලාභියා වූ ඇඩම් සම්පා ලකුණු 14 කට කඩුලු 3 ක් සහ මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින් කඩුලු 2 බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කර දැමූහ.
කාසියේ වාසිය අහිමි වුවද ප්‍රථමයෙන් පන්දුවට පහර දීම වෙනුවෙන් තබා තිබූ ඒ ලෙසින්ම ඔස්ට්‍රේලියානු නායකයාට ඉඩ හසර වෙන් කර දුන් ලසිත් මාලිංග කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා සත්කාරකයින්ට ආරාධනා කළේය. ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණි ආරොන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් දෙපළ අනුකම්පා විරහිත ප්‍රහාරයක නිරත වෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක් රැස් කළේ පන්දු 65 ක් පමණක් වැය කරමිනි.
නුවන් ප්‍රදීප් හැර අනෙක් සියළුම පන්දු යවන්නන් දැඩි අසරණ භාවයකට පත් කළ ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ කසුන් රජිතගේ පන්දුවාර 4 තුළ ලකුණු 75 ක් උදුරා ගන්නා ලද්දේ විස්සයි-20 තරගයකදී පන්දු යවන්නකු ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද කසුන් රජිතගේ නම ඉදිරියෙන් ලියා දෙමිනි.
ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරන ලද ඩේවිඩ් වෝනර් අද සිය මංගල විස්සයි-20 ශතකය වාර්තා කරගත්තේ සිය 33 වැනි ජන්ම දිනය යෙදී තිබුණු අද දවසේදී වීම කැපී පෙනුණි. ඉනිමේ අවසන් පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගන්නා විට වෝනර් පන්දු 56 කට මුහුණ දුන්නේ තම ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් කරගනිමිනි. ඔහුට අමතරව ආරොන් ෆින්ච් සහ ග්නේ මැක්ස්වෙල්ද පිළිවෙළින් ලකුණු 64 සහ 62 බැගින් ලබා ගත්හ. නායකයා සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක් එක් කළ වෝනර් මැක්ස්වෙල් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් එක් කළේය.
දෙරට අතර පැවැත්වෙන මීළඟ තරගය ලබන 30 වැනිදා බ්‍රිස්බේන්හිදී පැවැත්වෙනු ඇත.

