slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2019
‘ශ්‍රී ලංකාව ලෝකයට දුන්නේ බලවත් පණිවිඩයක්’ පාකිස්තානු ක්‍රිකට් ප්‍රධානී එෂාන් මානි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi

පාකිස්තානයට එරෙහිව දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක තවත් එක් ක්‍රිකට් තරගාවලියක් බවට පත් වුවත් පාකිස්තානයට නම් එය මෞලි මංගල්‍යයකි. 2009 වසරේදී ශ්‍රී ලංකාවට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් වසර 10 කට අධික කාලයක් ටෙස්ට් තරගාවලි අහේනියකට ලක්ව සිටින පාකිස්තානයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැමිණ තරග වැදීම ඇතැම් විට දෙවැනි වරට ටෙස්ට් වරම් දිනා ගැනීමක් බවට පත්ව තිබෙන බවට නොරහසකි. ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීමේදී පාකිස්තානය සහාය ලබා දුන්නා සේම ඊට කලගුණ සැලකීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් පාකිස්තානයට යළිත් ක්‍රිකට් වසන්තය පැමිණ තිබේ. ඒ පිළිබඳව වැඩිම උද්දාමයට පත්ව සිටින පිරිස අතර පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඒෂාන් මානි මහතා ප්‍රධානියෙකි. ශ්‍රී ලංකාව කරන ලද මෙම උපකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූති පුද කිරීම වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය පැවැත්වෙන අතර තුර තරගාවලිය ආවරණය කිරීම සඳහා පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය කණ්ඩායම වෙනුවෙන් කාලය වෙන් කළේය. ඔහු සමඟ සිදුකළ සාකච්ඡාව පහතින් දැක්වේ.

ප්‍රශ්නය :- වසර 10 කට පසු ඔබේ රටේ ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙනවා. ඒ සම්බන්ධව ඔබට දැනෙන හැඟීම කොයි වගේද…?

පිළිතුර:- පළමුවෙන්ම මේ තරගාවලිය ආවරණය කිරීම සඳහා පාකිස්තානයට පැමිණි මාධ්‍යවේදී පිරිසට මම මගේ සතුට පළ කර සිටීමට කැමැතියි. එයත් ඉතාම ධනාත්මක සලකුණක් විදියටයි මම සලකන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම අපේ රටට පැමිණ තරග කිරීම සම්බන්ධවත් ගොඩක් සතුටු වෙනවා. අපි නිතරම ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතන සමඟ ඉතා මිත්‍රත්වයකින් කටයුතු කරනවා. ඔබට මතක නම්, ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා දීම වෙනුවෙන් සහයෝගය ලබා දුන්න රටවල් අතර පාකිස්තානය ඉදිරියෙන්ම සිටිය රටක්. ඒ වගේම ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු අනෙක් රටවල් වලට වඩා ශ්‍රී ලංකාව සමඟ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළෙත් පාකිස්තානය. අපි නිතරම ශ්‍රී ලංකාව වෙනුවෙන් සහයෝගය ලබා දුන්න රටක්. ඒ වගේම අපි අසීරුවට පත් වෙලා ඉන්න අවස්ථාවකදී අපිට උදව් කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත්වීම ගැන මම මගේ හද පිරි ප්‍රණාමය ඔවුන්ට පුද කර සිටිනවා.

ප්‍රශ්නය:- මේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන්න සහයෝගය ගැන ඔබ මොකද හිතන්නේ.

පිළිතුර:- ඇත්තටම විශිෂ්ඨයි. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඉතාම ළඟින් ගනුදෙනු කරනවා. මම විශේෂයෙන්ම සභාපති ශම්මිට (සිල්වා) ස්තූතිය පුද කරනවා අපිට ලබා දුන්න මේ සහයෝගය පිළිබඳව. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියළුම සාමාජිකයින්ටත් මගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටිනවා. ඔවුන් නිතරම අපි ඔවුනට සහයෝගය පළ කළා වගේ අපිටත් නිතරම සහයෝගය පළ කර සිටිනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පිල පාකිස්තානයට පැමිණීමේදී ශ්‍රී ලාංකීය ජනතාවත් පාකිස්තානය පැත්තෙන් හිටගත්තා. ඔවුන් වෙනුවෙන් ඔබට ලබාදිය හැකි පණිවිඩය මොකද්ද…?

පිළිතුර:- ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට එවීම සම්බන්ධව සියළුම ශ්‍රී ලාංකිකයින්ට මගේ ස්තූතිය පුද කර සිටිනවා. ඊළඟ වතාවේ ඔබේ කණ්ඩායම පාකිස්තානයට පැමිණෙන විටත් ඔබත් පැමිණ ඔබේ කණ්ඩායමට සහයෝගය දක්වන ලෙස මම ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය :- ඓතිහාසික තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව පැමිණියා. මේ තරගාවලියත් සමඟ මොකද්ද ඔබ ලෝකයාට දෙන පණිවිඩය…?

පිළිතුර:- බලන්න. මෙය ඉතාම බලවත් පණිවිඩයක්. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර්හිදී ප්‍රහාරයකට ලක්වීම ඉතාම අවසානාවන්ත සිදුවීමක්. නමුත් ඔවුන්ට මෙහි පැමිණ තරග කිරීමට හැකියාව තියෙනවා නම් අනෙක් කිසිම රටක් මෙහි පැමිණ තරග කිරීමට බිය විය යුතු නෑ. මෙයිට වඩා බලවත් පණිවිඩයක් තව කොහේවත් නැහැ. අන්න ඒකයි මම ශ්‍රී ලංකා කණ්ඩායමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලංකා රජයටත් මගේ ස්තූතිය පුද කර සිටින්නේ.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ඉදිරියේදී විදෙස් ක්‍රීඩකයන් සහභාගි කරවගෙන එල්.පී.එල්. තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර සිටිනවා. ඔබේ ක්‍රීඩකයින්ව ඒ තරගාවලියට සහභාගිකරවීමට කටයුතු කරනවාද..?

පිළිතුර:- අනිවාර්යයෙන්ම. අපේ ක්‍රීඩකයින් සහභාගි කරවන්න කරලා ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපෙන් ඉල්ලීමක් කළොත් අනිවාර්යයෙන්ම අපේ ක්‍රීඩකයින්ව ඒ තරගාවලියට සහභාගිකරවීමට කටයුතු කරනවා. අපේ ක්‍රීඩකයින් දැනටමත් බංග්ලාදේශයේ, ඔස්ට්‍රේලියාව සහ සමහර ක්‍රීඩකයින් එංගලන්තයේත් පැවැත්වෙන විස්සයි-20 තරගාවලි නියෝජනය කරනවා. අපි ඔවුන්ට ඒ අවස්ථාව නිරන්තරයෙන්ම ලබා  දීමට කටයුතු කරනවා. කිව්වා වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනුත් එවැනි ඉල්ලීමක් අපෙන් කළොත් අනිවාර්යයෙන්ම අපේ ක්‍රීඩකයින් ඒ සඳහා එවීමට කටයුතු සලසනවා.

ප්‍රශ්නය:- මුලින්ම විස්සයි-20ටත් පසුව එක්දින තරගාවලියකටත් ශ්‍රී ලංකාව පැමිණියා. දැන් වසර 10 කට පස්සේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක් සඳහා පැමිණ තිබෙනවා. මේ තරගාවලියෙන් පසු මොනවද ඔබගේ ඊළඟ සැලසුම වෙලා තියෙන්නේ…?

පිළිතුර:- ආසියානු කුසලා ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. නමුත් අනෙක් රටවල් සමඟ සාකච්ඡා කරලා තමයි ඒ ගැන තීරණයකට එන්න වෙන්නේ. ඒ හැරුණාම මගේ අනෙක් සැලසුම තමයි සියළුම රටවල් සමඟ පැවැත්වෙන ද්වී පාර්ශ්වීය ක්‍රිකට් තරගාවලි සියල්ලම පාකිස්තානයේ පැවැත්වීම. අපේ මීළඟ තරගාවලිය යෙදිලා තියෙන්නේ ජනවාරි මාසයේදී බංග්ලාදේය සමඟ පැවැත්වෙන තරගාවලිය. ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් ආරක්ෂක තත්ත්වයන් ගැන තක්සේරුවක් ලබා ගැනීම සඳහා පාකිස්තානයට පැමිණියා. ඒ පිළිබඳ වාර්තාව ඉතාම සුභ දායක සහ ධනාත්මක තත්ත්වයේ පවතිනවා. තරගාවලියේ කාලසටහන සැකසීම සඳහා ඒ වාර්තාව එනකම් බලාගෙන ඉන්නවා. ආසියානු කුසලානය ගැන කතා කරනවා නම් අවසන් වරට පැවැත්වීමට නියමිතව තිබුණේඉන්දියාවේ. නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එය එක්ස්ත අරාබි රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළා. ආසියානු කුසලාන තරගාවලිය කියන්නේ වැඩි රටවල් සංඛ්‍යාවක් සහභාගිවන තරගාවලියක්. ඒ වගේම එයට ආසියානු ක්‍රිකට් කවුන්සිලයත් සම්බන්ධ වෙනවා. ඒ හරුණාම අපේ සියළුම දේශීය තරගාවලි පාකිස්තානයේ පවත්වනවා.

ප්‍රශ්නය:- පාකිස්තානයට පැමිණ තරග කරන ලෙසට කරන ලද ඉල්ලීමට කොයි වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලද ඔබ හිතුවේ…?

පිළිතුර:- අපි බලාපොරොත්තුවෙන් හිටියා ශ්‍රී ලංකාව මෙහි පැමිණෙයි කියලා. වැදගත්ම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටියෙත් අපි වගේම මේ තරගාවලිය පාකිස්තානයේ පවත්වන්න ඕන කියන පැහැදිළි මතයේ. ඔවුන්ගේ සැලකිල්ලට භාජනය වුණු එකම කරුණ බවට පත් වෙලා තිබුණේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය ගැන පමණයි. කොහොම වුණත් විස්සයි-20 තරගාවලිය අවසන් වුණාට පස්සේ ලබා දෙන ආරක්ෂාව වැඩියි කියලා ක්‍රීඩකයින් පැමිණිලා කරලා තිබුණා. ඒකෙන් කියන්නේ දැන් මෙහි තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙනවා කියන එක. ඒ බව  මෙහි පැමිණ සිටින ඔබලටත් දැක ගන්නට හැකි වෙලා තියෙනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව හැරුණාම සෙසු රටවල් පාකිස්තානය ලබා දෙන ආරක්ෂාව ගැන සෑහීමකට පත් වෙලා තියෙනවද…?

පිළිතුර:- මෙහෙමයි. කණ්ඩායමක් තරගාවලියට එනකොට ආරක්ෂාව ගැන පරිස්සෙම් වෙනවා වගේම ගොඩක් හිතනවා.නමුත් නිතර නිතර තරගාවලිවලට පැමිණෙනවා නම් ඒ තත්ත්වයෙන් ඔවුන්ට මිදිලා නිදහස් වෙන්න හැකියාව පවතිනවා. ඒ වගේම මට විශ්වාසයි බංග්ලාදේශ කණ්ඩායම ඊළඟ තරගාවලිය සදහා පාකිස්තානයට පැමිණෙන බව. ඒ වගේම දකුණු අප්‍රිකාවත් සමඟ අපි සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ වගේම එම්. සී. සී. ය (මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය) ඔවුන්ගේකණ්ඩායම පාකිස්තානයට එවීමට පොරොන්දු වෙලා තියෙනවා. (කුමාර්) සංගක්කාර පෞද්ගලිකවම කිව්වා එයා ඒ කණ්ඩායමේ නායකත්වය දරනවා කියලා. ඔවුන්ටත් මේ ආකාරයේම ආරක්ෂාවක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ සියල්ලත් එක්ක පසුගිය වසර 10 ක කාලයට වඩා ඉදිරියෙදී රටවල් මෙහි පැමිණේවි කියලා විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- කොහොමද පාකිස්තානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රගතිය…?

පිළිතුර:- අපි දැන් එය වසර 4 ක් තිස්සේ පවත්වනු ලබනවා. ඊළඟතරගාවලිය එහි පස්වැනි අදියරයි. ඒ තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් පමණක් කොපමණ සංඛ්‍යාවක් අයැදුම් කරලා තියෙනවද කියලා ඔබ දන්නවද…? ක්‍රීඩකයින් 235 ක්. නමුත් අපිට ඉන් බොහෝ විට තෝරා ගැනීමට හැකි වන්නේ 30 ක් හෝ 35 ක් පමණයි. ඒ අතරින් 200 කට අධික ක්‍රීඩකයින් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රීඩකයින්.

ප්‍රශ්නය:- පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මේ කටයුතු වෙනුවෙන් ලබා දෙන සහයෝගය කොහොමද…?

පිළිතුර:- පැහැදිළිවම හැම පාකිස්තානුවෙක් වගේම ඔහුත් කැමැතියි ක්‍රීඩා කරන හැම තරගාවලියක්ම පාකිස්තානයේ පවත්වන්න. ඒ දේ තමයි අපි දැන් කරමින් ඉන්නේ. ඒ වගේම ඔබට පෙනෙන්නට තියෙන ඇදහිය නොහැකි ආරක්ෂාව අපිට ලබා දෙන්නෙත් රජයෙන්. ආරක්ෂාව හැරුණාම සියළුම පහසුකම් අපිට සලසා දීලා තියෙන්නේ අපේ රජයෙන්.

ප්‍රශ්නය:- අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් මුණ ගැසුණා. ඒ මුණ ගැසීමෙදි මොන වගේ දේවල්ද ඔහු කතා බහ කළේ…?

පිළිතුර:- ඇත්තටම ඒක පෞද්ගලික මුණ ගැසීමක්. එය මෙරට මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කරලා කණ්ඩායමේ නිලධාරීන්ව අතර වුණු හමුවීමක්. ඇත්තටම අපේ අගමැතිතුමා ක්‍රිකට් ක්‍රීඩා කළ නිසා මේ පිරිස ඔහු පෞද්ගලිකවම හඳුනනවා සහ ඔවුන් සමඟ ක්‍රීඩා කරල තියෙනවා.  අන්න ඒ නිසයි ඔවුන් සමඟ මුණ ගැසිලා කතා බහ කරන්න කාලය වෙන් වුණේ.

Active filters

Recent Posts

  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]
  • NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා […]
  • ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee