Chamila Karawita reporting from Pallakele
චයිනමන් පන්දු යවන්නකු යනු ජාත්‍යන්තර තලයේ කෙසේ වෙතත් පළමු පෙළ තරගාවලියකට හෝ සොයා ගත නොහැකි අතිශය දුර්ලභ පන්දු යවන්නන් කොටසකි. ටෙස්ට් වරම් හිමිවුණු 1982 වසරෙන් පසු 2016 වසර වන තෙක්ම චයිනමන් පන්දු යවන්නකු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කිරීමට සොයාගත නොහැකි වීම එකී දුර්ලභ භාවයට හොඳම උදාහරණය සපයයි. එහෙත් 2016 වසරේන් පසු අපට එවැනි වටිනා මැණිකක් ලැබී තිබේ. ඔහු නමින් ලක්ෂාන් සඳකැන්ය.
ජාත්‍යන්තර තරග බිමට පිවිසි මුල් කාලයෙන්දී එතරම් විශ්වාසයකින් යුතුව පන්දු යැවීමට සඳකැන්ට නොහැකි විය. එහෙත් මේ වන විට ඔහු සතු චයිනමන් පන්දු යැවීමේ හැකියාවෙන් ඔහු තරග දිනවන්නකු බවට පත්ව සිටියි. ඉකුත්දා හම්බන්තොටදී කොදෙව් පිලට එරෙහිව ලද ලකුණු 161 ක වාර්තාගත ජයග්‍රහණයේදී මෙන්ම එස්. එස්. සී. පිටියේ පැවැති තරගයේදී ලද ජයග්‍රහණ වල වැඩි ගෞරවයක් සඳකැන්ටද හිමිවේ. ඒ එම තරග ජයග්‍රහණය සඳහා උර දුන් ක්‍රීඩකයින් අතරට එක්වූ බැවිනි. එබැවින් ඔහු කණ්ඩායම තුළ වඩා විශ්වාසනීයත්වයක් ගොඩ නඟාගෙන සිටින පන්දු යවන්නෙකි. කොටින්ම ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර්ගේ විශ්වාසනීයම දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයක් වන්නේද සඳකැන්ය.
ජාත්‍යන්තර පිටිපට පිවිසි මුල් අවධියේදී මාධ්‍යයෙන් වසන් වී සිටීමට උත්සාහ දැරූ මේ වමත් චයිනමන් පන්දු යවන්නා ක්‍රම ක්‍රමයෙන් කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්වීමත් සමඟ සෑම අතින්ම පරිපූර්ණත්වයක් පෙන්නුම් කරයි. එබැවින් ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව හෙට (මාර්තු 01) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය වෙනුවෙන් අද පවත්වන ලද මාධ්‍ය හමුවටද සහභාගි වූවේය.
හෙට තරගයේ අරමුණු විග්‍රහකරමින් මාධ්‍ය හමුවට මුල පිරූ සඳකැන් කණ්ඩායම ලබා තිබෙන වර්ධනය පිළිබඳව අදහස් දැක්වීය. “තරගයක් පරාජය වුණාම ඕනෑම කෙනෙක්ට ඒක දරාගන්න ටිකක් අමාරුයි. මොකද හැමෝම මෙතනට එන්නේ අව්වේ ඉඳලා ගොඩක් මහන්සිවෙලා. ඒක නිසා කවුරුත් කැමැති නැහැ තරගයක් පරාජය වෙන්න. කවුරු හරි ක්‍රීඩකයෙක් ලකුණු ගහන්නේ නැත්නම්, පන්දු යවන්නෙක් කඩුලු දවා ගන්නේ නැත්නම්, හරියට පන්දු රැක්කේ නැත්නම් කවුරුත් කැමැති නැහැ මැද්දට එන්න. අපි මේ තත්ත්වයට එන්න සතියට දවස් 5 ක් පුහුණුවීම් වල නියැළෙනවා. සමහර විට සෙනසුරාදාත් ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන වෙලාවල් තියෙනවා. ඒත් අපිට මුල් කාලේ ඒ දේ කරගන්න බැරි වුණා. නමුත් දැන් ටික ටික කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයට හැදීගෙන එනවා. ඒක තමයි හැමෝගෙම ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි මේ තරගාවලිය 3-0 ක් විදියට ජය ගන්න උත්සාහ කරන්නේ”යි පැවැසීය.
“අපි කළින් ශ්‍රේණිගත කිරීම්වලින් පල්ලෙහාට යද්දී අපට ඕන වුණේ ඒක නවත්ත ගන්න සහ ඒ ස්ථානයේ රැඳී ඉන්න. නමුත් දැන් අපේ ඔළුවේ තියෙන්නේ තව අවුරුදුදක් හෝ දෙකක් ඇතුළත අංශ 3 ම උඩම ඉන්න කණ්ඩායම් 4 ට ඇතුළත් වෙන.ක්‍රීඩකයින්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ ඔලුවේ තියෙන්නේ ඒක. ඒ අනුව තමයි අපි ක්‍රීඩා කරන්නේ”යි සඳකැන් වැඩිදුරටත් පවසයි.
වයස අවුරුදු 10 යේ පටන් පාපන්දු ක්‍රීඩකයකු වීමට සිහින දැකි සඳකැන් වයස 17 ක් වන තෙක්ම පා පන්දු ක්‍රීඩාවේ නියැළී තිබේ. එහෙත් පාපන්දුවට වඩා තමා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවට බව තේරුම් යෑමත් මත වයස අවුරුදු 17 දී ක්‍රීඩාවට අත්පොත් තබන්නේ තෙවැනි පෙල වයස් කාණ්ඩය නියෝජනය කරනු ලබන කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙනි. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස දක්වන ලද කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් කඳාන ද මැසනොද් විදුහලට ඇතුළත්වීමට වරම් ලද සඳකැන් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම පමණක් නොව පළමු පෙළ පාපන්දු කණ්ඩායමද නියෝජනය කිරීමට තරම් දක්ෂ ක්‍රීඩකයකු වූවේය.
කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 2 දී කණ්ඩායම තුළ පැහැදිළි වර්ධනයක් දැකිය හැකි බව පවසන සඳකැන් තවමත් 100% ක උපරිමයට පැමිණ සිටින බව තමන් පිළිනොගන්නා බවද අවධාරණය කර සිටියේය.
“පිතිකරුවන් ගොඩක් පුහුණුවීම් වල නිරත වෙනවා. නමුත් කාලයත් එක්ක ඔවුන්ට දැන් හොඳ අත්දැකීම් ලැබිලා තියෙනවා, කළින් තරගයේදී ඔයාලට දැනෙන්න ඇති ලකුණු 9 කට කඩුලු 2 ක් ගිහිල්ලා තියෙද්දී අවිශ්ක ක්‍රීඩා කරපු විදිය. මොකද එයා එයාගේ සාමාන්‍ය පිතිහරඹයෙන් නොවෙයි එදා ක්‍රීඩා කළේ. කුසල් මෙන්ඩිස් එයාට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඔහු එදා ක්‍රීඩා කළේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් විදියට. එතැනින් පේනවා ඔවුන් දැන් ඔවුන්ගේ ‘ගියර්’ එක මාරු කරගෙන ක්‍රීඩා කරනවා කියලා” යනුවෙනි.
මැසිනොද් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී සඳකැන්ට මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රධානම අභියෝගය බවට පත්ව ඇත්තේ එතෙක් කලක් මැටින් භාවිතා කරමින් ක්‍රීඩා කිරීම වෙනුවට ටර්ෆ් විකට් හෙවත් තණතීරු භාවිතයෙන් සිදුකෙරන ක්‍රීඩාවට හුරු වීමය. එහෙත් මේ වන විට තණතීරුවේ පැහැදිළි දඟ කැවීමක් පන්දුවට මුසු කිරීමට සමත් වී සිටින සඳකැන්, “සැරින් සැරේට ක්‍රීඩා කරන එක මට විතරක් නොවෙයි ඕන කෙනෙක්ට අමාරුයි කණ්ඩායම තුළ විශ්වාසයක් ගොඩ නගා ගන්න. මම හැම තිස්සේම මගේ පුහුණුවීම්වල කරමින් ලැබෙන අවස්ථාවෙන් උපරිම කරා. මම හිතනවා දැන් තරමක් දුරට මගේ පන්දු යැවීම හැදිලා තියෙනවා කියලා” යි පවසන සඳකැන්, කණ්ඩායමක් ලෙස අසාර්ථක වන විට ඒ බව තම මව බොහෝ විට තමන්ගෙන් විමසා සිටින බවද සඳහන් කර සිටියේය.
“ලංකාවේ ප්‍රෙක්ෂකයින් කියන්නේ ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන පිරිසක්. ඉතිං එක දිගට තරග පරදිනකොට එහෙම තරහා යන එක එයාලගේ පැත්තෙන් සාධාරණය වෙන්න පුලුවන්. පෞද්ගලිකවම දන්නවා මගේ අම්මා ගැන. එයා සේවය කරන රෝහලේදී ටී.වී. එකෙන් තරග නරඹන වෙලාවල් තියෙනවා. ඉතිං මම හරියට දක්ෂතා දැක්වුවේ නැත්නම් එයාට දුක හිතෙනවා. එතකොට අම්මා මට කෝල් කරලා අහනවා පුතේ මොකද්ද කරන්න කියලා. ඉතිං ඒ වගේ අවස්ථා වලදී මගේ අම්මට දැනෙන දේටත් වඩා වැඩියෙන් ප්‍රේක්ෂකයින්ට දැනෙනවා. ක්‍රීඩා ලෝලීන් අපෙන් ඈත්වුණේ තරග පරාජය වුණනිසා. නමුත් අපි හිතලා පරාජය වුණේ නෑ.ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. නමුත් අපි දැන් කණ්ඩායමක් විදියට ජයග්‍රහණය කරන්න පටන් අරන්. අපි බලමු විස්සයි-20 දීත් මේ ජයග්‍රාහී රිද්මය එලෙසින්ම පවත්වාගෙන යන්න”යි ක්‍රීඩා ලෝලීන් පිළිබඳ සඳකැන් සතු අදහස පිළිබඳවද පවසා සිටියේය.