slc
Home   |    News
පෙබරවාරි 26, 2020
අවිෂ්ක-මෙන්ඩිස් වාර්තාගත සම්බන්ධතාවෙන් කොදෙව්වන්ට ලකුණු 346 ක ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Hambantota

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරු යුගලයක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාවට හිමිකම් කියූ අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්ව රැස් කරන ලද ලකුණු 239 ක වාර්තාගත කඩුලු සම්බන්ධතාව හේතුවෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ලකුණු 346 ක ඉලක්කයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 දා) සමත්විය.

මෙරට එක්දින තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු තෙවැනි සම්බන්ධතාවය ලෙසින්ද සටහන් වුණු අවිශ්ක – කුසල් ශතක සම්බන්ධතාවය සඳහා පන්දු 227 ක් වැය වී තිබිණ. පිට පිට පන්දු 2 කදී නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දවා ගත් ශෙල්ඩන් කොට්‍රල් සාර්ථක ආරම්භයක් කොදෙව් කණ්ඩායමට ලබා දීමට සමත් වුවද මුලු ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී පිටියට එක්වූ මෙම දකුණත් පිතිකරු යුගලය, කොදෙව් කණ්ඩායම නොසිතූ අසීරුවකට ඇද දමමින් මුලු ලකුණු සංඛ්‍යාව 345 ක් දක්වා රැගෙන යෑමට මං පෙත් විවර කළහ.

41 වැනි පන්දුවාරය දක්වා විහිදී ගිය මෙම කුසල් සහ අවිශ්ක විසින් බිඳ දමන ලද්දේ ඉන්දියාවට එරෙහිව 2000 වසරේ සාජා නුවරදී පැවැති තරගයේදී මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන එක්ව රැස් කර තිබූ ලකුණු 226 ක සම්බන්ධතාවය වේ. එය ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් සැසඳූ කළ මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව දෙවැනි වන්නේ සනත් ජයසූරිය සහ උපුල් තරංග එක්ව එංගලන්තයට එරෙහිව රැස් කරන ලද ලකුණු 286 ක සම්බන්ධතාවයත් ටී. එම්. ඩිල්ෂාන් සහ උපුල් තරංග එක්ව සිම්බාබ්වේට එරෙහිව රැස් කරන ලද ලකුණු 282 ක සම්බන්ධතාවයටත් පමණි.

ලකුණු 02 ක් ලබා සිටියදී පිත්තේ කොනක වැදි පන්දුව ස්ලිප් ස්ථානය වෙත උඩ පන්දුවක් ලෙස ඇදී ගියද එහි පන්දු රකිමින් සිටි කිරන් පොලාර්ඩ් අතින් ගිලිහී යෑම මත පිටියේ රැදීමට වරම් ලැබූ මෙන්ඩිස් සිය ඉනිම තම එක්දින තරග දිවියේ 8 වැනි ශතකය බවට පරිවර්තනය කර ගත්තේ මුහුණ දුන් 107 වැනි පන්දුවේදීය. මෙය 2017 වසරේ මාර්තු මසින් පසු මෙන්ඩිස් ශතකයක් රැස් කරන ලද පළමු අවස්ථාව ලෙසින් සටහන් විය. අල්සාරි ජෝෂප්ගේ පන්දුවක් හමුවේ ෂායි හෝප් වෙත උඩ පන්දුවක් ලබා දී මෙන්ඩිස් දැවී යන විට හතරේ පහර 12 ක්ද සමඟින් පන්දු 119 කදී ලකුණු 119ක් ලබා සිටියේය.

මෙම සම්බන්ධතාවය පැවැත්වෙන අතරතුර කඩුලු අතර දිව යෑම ඉතා විශිෂ්ඨ මට්ටමක පැවැතීම විශේෂත්වයක් විය. තරගය පැවැත්වෙන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ හතරේ සීමාව යාර 90 ක සීමාවෙන් පැවැතීම නිසා හයේ පහරක් එල්ල කිරීම යනු දැඩි අසීරු කටයුත්කි. ඒ බව හොඳින් වටහාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ හයේ පහර එල්ල කිරීම වෙනුවට හතරේ පහර වලින් සහ කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කර ගැනීමට වැඩි උනන්දුවක් ලබා දුන්හ. ඒ අනුව සමස්ථ ඉනිම හතරේ පහර 33 කින් පමණක් සමන්විත වුණු අතර එයට අතිරේක ලකුණු 15 එකතු කළ විට ලකුණු පුවරුවේ රැඳී ලකුණු 345 න් 198 ක්ම කඩුලු අතර දිව යෑමෙන් ලබාගත් ලකුණු විය. ඒ අනුව මෙම ඉනිම එක්දින තරග අංශයේ එකම හයේ පහරක් හෝ වාර්තා නොවී රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

මෙන්ඩිස්ට නොදැවැනි වුණු අවිශ්ක ප්‍රනාන්දු හතරේ පහර 10 ක් සමගින් පන්දු 123 කදී ලකුණු 127 ක් ලබා ගත්තේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මංගල ශතකය වාර්තා කළ අවිෂ්ක අද රැස් කරගන්නා ලද්දේ දෙවැනි ශතකය වේ. එයද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව රැස් කිරීම කැපී පෙනෙයි.

ක්‍රීඩාංගණය හරහා ඇදී යැන දැඩි සුළං සහිත තත්ත්වය පන්දු යවන්නන්ට වාසි දායක ලෙසින් හැසිරුණද ඒ සියල්ල දෙවැනි තැනට ඇද දමමින් පන්දුවට පහර දුන් මෙන්ඩිස් සහ නායක පොලාර්ඩ්ගේ තෙවැනි පන්දුවාරයේදී මිඩ් ඕෆ් කළාපයට ඉහළින් හතරේ පහර 4 ක් එල්ල කරමින් ලකුණු 19 ක් උදුරා ගත්හ. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය පාලනය කිරීම කොදෙව් නායකයාට කෙතරම් අසීරු වූයේද කිවහොත් ඒ සඳහා පන්දු යවන්නන් 7 දෙනෙකුගේම සහාය ලබා ගත්තේය.

මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ෆේබියන් ඇලන් විසින් ඉසුරු උදාන ලබා දුන් පහසු උඩ පන්දුව අත හැර නොදමන්නට ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූ ෂෙල්ඩන් කොට්‍රල්ට කඩුලු 5 ක් පහසුවෙන්ම දවා ගැනීමට අවස්ථාව තිබිණ.  ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට කෝට්‍රල්ගේ නම ඉදිරියෙන් ලකුණු 67 කට කඩුලු 4 ක්ද අල්සාරි ජෝෂප් ලකුණු 57 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූහ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest