slc
Home   |    News
පෙබරවාරි 21, 2020
ධනාත්මක ආකල්ප රැගත් සිංහ-කොදෙව් ගැටුම හෙට සිට

sinhala editor

සත්කාරකයින්ගේ ප්‍රධාන ඉලක්කය පූරාන්!

By Chamila Karawita

බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවී ගිය මාස 7 ක කාලයකින් පසු ප්‍රථම වතාවට සිය මව්බිමේදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් කොළඹ එස්. එස්. සී. පිටියේදී කිරන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් පිල හෙට (22 දා) මුණ ගැසෙනු ඇත. එන්. ඩී. බී. කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පෙ.ව. 9.45 ට ආරම්භ වේ.

තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව අටවැනි ස්ථානයේ සිටද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නව වැනි ස්ථානයේ සිටද හෙට තරගයට අවතීර්ණ වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් පිල පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවත් කිරන් පොලාර්ඩ් නායකත්වයට පත්වීමෙන් පසු කොදෙව් කණ්ඩායමේ පැහැදිළි සංවර්ධනයක් දැක ගැනීමට හැකිවී තිබේ. ඊට හොඳම උදාහරණය සපයන්නේ  මෙම වසර ආරම්භයට පෙර ඉන්දියාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය වේ. ඉන්දියාවේ පැවැති එම තරගාවලියේදී 1-2 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජයට පත් වුවත් පැරදුණු තරග 2 දීම ජයග්‍රහණයේ ආසන්නයට පැමිණීමට කොදෙව් පිල සමත්වීම ඊට හොඳම උදාහරණය ලෙසින් සඳහන් කළ හැක.

සත්කාරකත්වයේ සියළු වාසීන් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුවත් කණ්ඩායමක් ලෙස දියුණුව කරා යෑමට කොදෙව් කණ්ඩායම දරනු ලබන උත්සාහයත්, පෙර පැහැති පුහුණු තරග 2 දී ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමත් නිසා හෙට තරගය සත්කාරකයින්ට පහසු එකක් නොවනු ඇත.

වඩාත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස ගොඩ නැගීම වෙනුවෙන් පියවර තබා සිටින කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියට අවතීර්ණව සිටින්නේ අවසන් වරට ඔවුන් සහභාගිවුණු තරගාවලිවලදී ලකුණු අතර සිටි පිතිකරුවන් යුගලයක් වුණු එවින් ලුවිස් සහ ශිම්රන් හෙට්මේයර්වද කණ්ඩායමෙන් ඉවත් කරමිනි. එවින් ලුවිස් යනු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වන අතර හෙට්මේයර් ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය වාර්තා කරන ලද තරගයේදී පන්දු 106 කදී ලකුණු 139 ක් ලබා ගත් පිතිකරුවා වේ. කණ්ඩායමට ඇතුළත්වීමට තරම් ශාරීරික යෝග්‍යතාවයක් පෙන්නුම් කිරීමට අසමත්වීම මොවුන්ට කණ්ඩායමට ඇතුළුවීමට වූ එකම බාධාව වේ.  

මොවුන් දෙදෙනා නොමැති වීම කොදෙව් කණ්ඩායමේ පිතිකරණ අංශයට ප්‍රධාන බලපෑමක් එල්ල කරන කරුණක් වුවත් පැවැති පුහුණු තරගවලදී ඉදිරිපෙළ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට සමත්වීම කොදෙව් කණ්ඩායමට ධනාත්මක සලකුණකි. එහිදී පළමු තරගයේදී ඩැරන් බ්‍රාවෝ පන්දු 88 කදී ලකුණු 100 ක්ද දෙවැනි තරගයේදී රෝස්ටන් තේස් පන්දු 113 කදී ලකුණු 136 ක්ද ලබා ගත්හ.

එවින් ලුවිස් තරම් ලකුණු ලබා නොගත්තද අයර්ලන්තයට එරෙහි තරගාවලියේදී දෙවැනියට වැඩිම ලකුණු ලද නිකොලොස් පූරාන්ව කළින්ම දවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සැලසුම් අතර තිබෙන්නකි. මන්ද පුහුණු තරගයේදී පන්දු 38 කදී ලකුණු 41 ක් ලබා ගත් පූරාන් අයර්ලන්ත තරගාවලියේ සිටම ලකුණු අතර සිටින පිතිකරුවකු බැවිනි. එපමණක් නොව ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය අසළටම රැගෙන ආවේ පන්දු 103 කදී පූරාන් රැස් කරන ලද ලකුණු 118 ක ඉනිම හේතුවෙනි. එම තරගයේදී හදිසියේම පන්දුව භාර ගත් ඇන්ජලෝ මැතිව්ස් විසින් පූරාන්ගේ කඩුල්ල දවා නොගත්තේ නම් තත්ත්වය වඩාත් බරපතල වන්නට ඉඩ තිබුණු බව සැවොම දෙනා දන්නා කරුණක් බැවින් හෙට තරගයේදී පූරාන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉලක්කගත පිතිකරුවෙක් වේ.

ශ්‍රී ලංකාව

පසුගිය මාස කීපය මුළුල්ලේ ආරම්භක පිතිකරුවකු ලෙස කිසියම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට සමත්ව සිටින ධනුෂ්ක ගුණතිලකගේ සේවය කණ්ඩායමට අහිමිව ගියද පාකිස්තානු තරග සංචායට සහභාගි නොවුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සියල්ලම හෙට තරගය සඳහා ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් ගෙන දෙන්නකි. දඟ පන්දු යවන්නන්ට උචිත ලෙසින් හැසිරෙන හැසිරෙන මෙරට තණතීරුවල දඟ පන්දු යැවීම ශ්‍රී ලංකාවේ පිලේ ප්‍රභලම අවිය වනු ඇත. එහෙත් එස්. එස්. සී. තණතීරුවේදී ඇතැම් අවස්ථාවන්වල වේග පන්දු යවන්නන්ට දක්වනු ලබන දායකත්වය හේතුවෙන් ලක්ෂාන් සඳකැන් වෙනුවට තෙවැනි වේග පන්දු යවන්නා වශයෙන් ළහිරු කුමාරගේ සේවය ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා කළමනාකාරීත්වය අවධානය යොමු කර තිබෙන බව අද පැවැති මාධ්‍ය හමුවේදී මිකී ආතර් දක්වන ලද අදහස් වලිදී අනාවරණය විය.

පුහුණුකරුගේ පවසන අන්දමට හෙට තරගයට සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකු පමණක් තේරීම්වලදී සලකා බැලෙන අතර ඔවුන් අතරට දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල සහ ෂෙහාන් ජයසූරිය අයත් නොවනු ඇත. තේරීම්වලදී  සිදුකළ යුත්තේ 11 වැනි ක්‍රීඩකයා වන්නේ ලක්ෂාන් සඳකැන්ද නැතහොත් ළහිරු කුමාරද යන්න තීරණය කිරීම පමණි. එය හෙට උදෑසන එස්. එස්. සී. තණතීරුව නිරීක්ෂණය කිරීමෙන් පසු තීරණය වනු ඇත.

අවසන් වරට සහභාගි වුණු එක්දින තරග 5 දී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත්ව සිටින තිසර පෙරේරා කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා ති‍බෙන තේරීම් කමිටුව ඔහුව නොම්බර 7 ස්ථානයේ ක්‍රීඩා කරවීමට බලාපොරොත්තුවෙන් පසුවන බැවින් දේශීය ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවකු ලෙසින් දක්ෂතා දක්වා සිටින දසුන් ශානකට අවසන් 11 දෙනා අතරට පැමිණීමේ අවස්ථාව අහිමිව තිබේ. වයසින් තරුණ වුවද පන්දු යවන්නකු ලෙස වැඩි විශ්වාසයක් දිනා ගැනීමට වනිඳු හසරංග සමත්වී සිටීම ශ්‍රී ලංකාවට සැනසිල්ලකි.

හෙට තරගයට අපේක්ෂිත කණ්ඩායම්

බටහිර ඉන්දීය කොදෙව් පිල – 1. සුනිල් අම්බ්‍රිස්, 2. ෂායි හෝප්, 3. ඩැරන් බ්‍රාවෝ, 4. රොස්ටන් චේස්, 5. නිකොලොස් පූරාන්, 6. කිරන් පොලාර්ඩ් (නායක), 7. ජේසන් හෝල්ඩර්, 8. ෆේබියන් අලාම්, 9. කීමෝ පෝල්, 10. අල්සාරී ජෝසප්, 11. ශෙල්ඩන් කෝට්‍රල්.

අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest