slc
Home   |    News
පෙබරවාරි 3, 2020
යොවුන් කණ්ඩායමේ ලෝක කුසලාන ගමන 10 වැනි තැනින් නවතියි

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ‘පළඟ’ ශූරතා අවසන් මහ තරගයේදී එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ ලකුණු 152 ක පරාජයක් ලැබීම නිසා 10 වැනි ස්ථානයේ රැඳී සිටිමින් 13 වැනි ලෝක කුසලාන ගමන නිමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (03 දා) සිදුවිය.

බෙනෝනිහිදී පැවැති මෙම තරගයේදී ලකුණු 280 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 31 කදී ලකුණු 127 ක් පමණි. රටවල් 16 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළඟ ශූරතාව අහිමිවීම නිසා ශ්‍රී ලංකාවට හිමිවූයේ 10 වැනි ස්ථානය වේ.

ලකුණු හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙස නවෝද් පරණවිතාන මුලු ලකුණු සංඛ්‍යාව 01 ක්ව තිබියදී දැවී ගියේය. අසාර්ථක ආරම්භයත් සමඟ පළමු පන්දුවාර 15 ව අවසන් වීමට මත්තෙන් පිතිකරුවන් යැයි සම්මත 5 දෙනෙකුම තරග නරඹන්නන් බවට පත්වීම මෙතරම් පරතරයකින් තරග පරාජයට මූලාශ්‍ර විය.

එහෙත්තම අන්තය ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන් රවිඳු රසාන්ත හුදෙකලා සටනක නිරත වෙමින් අර්ධ ශතකයක් රැස් කර ගත්තේය. පන්දු 81 කින් සමන්විත රවිඳු ලකුණු 66 කට දැවී ගියේ තම ඉනිම හතරේ පහර 9 කින් ඇතුළත් කරගෙන සිටියදීය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේදැවැන්තම හිසරදය බවට පත්වූ ලුවිස් ගෝල්ඩ්ස්වර්ත් ලකුණු 21 කට ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙකු දවා ගනු ලැබුවේ මීට සති කීපයකට ඉහත බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයේ වාඩුව ලබා ගනිමිනි.

රවිඳු රසාන්තට පසු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කමිල් මිශාර (15) සහ චමිඳු විජේසිංහ (11) පමණක් ලකුණු 10 සීමාව ඉක්මවාලූහ. තණකොළ රහිත වූ බෙනෝනි තණතීරුවේ කාසියේ වාසි දිනුවද ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා නායකයා විසින් එංගලන්ත පිලට ආරාධනා කර සිටීමද තරමක පුදුමය දනවන්නක් විය.

කෙසේ වෙතත් ඉනිම ඇරඹූ එංගලන්තය වෙනුවෙන් සාර්ථක පිති ප්‍රහාරයක් දියත් කළ ආරම්භක පිතිකරු ඩෑන් මෞස්ලි පන්දු 135 කදී හතරේ පහර නවයක්සහ හයේ පහරක් සමඟින් ලකුණු 111 ක් රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ භාවයට ඇද දමමිනි. ඔහුගේ ඉනිම ප්‍රධාන කොට එංගලන්ත කණ්ඩායම විටෙක ලකුණු 300 සීමාව පහසුවෙන් ඉක්මවා යෑමේ අවස්ථාවක් පැවැතියද ලකුණු 21 ක් තුළ කඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වීම මත එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

මෞස්ලිට අමතරව ජැක් හේන්ස් ලකුණු 68 ක් රැස් කරන ලද්දේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක සාර්ථක සම්බන්ධතාවයක්ද පැවැත්වීමට දායකත්වය දක්වමිනි.

ලකුණු සාරාංශය – එංගලන්ත යොවුන් පිල පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 279 යි – (ඩෑන් මෞස්ලි 111, ජැක් හේන්ස් 68, ජෝයි එවිසන් 59, ජෝර්දන් කොක්ස් 17, ජෝර්ජ් බෝල්ඩ්සන් 13, ඩිල්ෂාන් මධුශංක 41/2, දිලුම් සුධීර 39/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 31 කදී සියලුදෙනා දැවී ලකුණු 127 යි – (රවිඳු රසාන්ත 66, කමිල් මිශාර 15, චමිඳු විජේසිංහ 11, ලුවිස් ගෝල්ඩ්ස්වර්ත් 21/5) 

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest