slc
Home   |    News
පෙබරවාරි 27, 2020
ලකුණු 345 න් 198 ක් දුවලා දිනපු ජයග්‍රහණය ගැන අවිෂ්ක කියපු රහස

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාව යනු මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ අවම දක්ෂතා දක්වන ලද කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් බව නොරහසකි. එහෙත් පුහුණු කරු තනතුරුවල සිදුකරන ලද 100% ක වෙනස්කම හරහා පෙර තත්ත්වයෙන් ගොඩ ඒමේ ප්‍රවණතාවක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්නුම් කර තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමත් සමඟය. පළමු තරගය කඩුල්ලකින් ජය ගත් ශ්‍රී ලංකා පිල හම්බන්තොට දී පැවැති දෙවැනි තරගය ජය ගනු ලැබුවේ ලකුණු 161 ක දැවැන්ත ලකුණු පරතරයකිනි.

එවැනි දැවැන්ත තරග ජයක් ශ්‍රී ලංකාව වාර්තා කරන ලද්දේ මෙරට ඇති දැවැන්තම ක්‍රීඩාංගණය වන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීය. එම ක්‍රීඩාංගණයේ හයේ පහරක් කෙසේ වෙතත් හතරේ පහරක් එල්ල කිරීම යනු දැඩි අසීරු කටයුත්තකි. එවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 345 ක් රැස් කරමින් කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලද දැවැන්තම තරග පරාජයකට ඇද දැමීම (ලකුණු අනුව) පහසුවෙන් බැහැර කළ නොහැකිය.

වාර්තා කීපයක්ම අලුත් කරවන්නක් බවට පත්වූ මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලද ලකුණු 345 ට හතරේ පහර 33 කින් පිතිකරුවන් ලකුණු රැස් කරද්දී අතිරේක ලකුණුද 15 ක් හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකාව ලද සමස්ථ ලකුණු සංඛ්‍යාවෙන් එකී ලකුණු අඩු කළ විට ලකුණු 198 ක්ම කඩුලු අතර දිව යමින් ලබාගත් ලකුණු වීම විශේෂත්වයක් වේ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින එම තරගයේ වීරයා වූ අවිෂ්ක ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ විශාලත්වය තේරුම් ගෙන ඊට සරිලන අයුරින් ක්‍රීඩා කිරීමට මැදදි ගත් තීරණය නිසා මෙම තරගයේදී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට අවස්ථාව හිමිවූ බවයි.

“ඔව්. ඇත්තම කියනවා නම් ලංකාවේ ගත්තොත් තියෙන ලොකුම ග්‍රවුන්ඩ් වලින් මේක ගොඩක් ලොකු එකක්. විශේෂයෙන්ම මේ වගේ යාර 80 හෝ85 ක්ලියර් කරන්න පුලුවන් තරම් ශක්තිමත් භාවයක් කණ්ඩායම තුළ නැහැ. ඉතිං ඒක නිසා අපි නිතරම බැලුවේ අපිට ගන්න පුලුවන් හතරේ පහර ලබාගෙන මැද පන්දුවාර වලදී ටිකක් දුවල වැඩියෙන් ලකුණු ලබා ගන්න. ඒ අනුව අපි හිතුව දේම මේ තරගයේදී අපිට කරන්න පුලුවන් වුණා”යි අවිෂ්ක පවසයි.

මේ වන විට ලෝකයේ ලකුණු ලබාගන්නා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම පසුවන වත්මන් ඉන්දීය නායක විරාත් කෝලිද ලකුණු ලබා ගැනීම වෙනුවෙන් භාවිතා කරනු ලබන ප්‍රධාන උපාය මාර්ගයක් වන්නේ කඩුලු අතර වේගයෙන් දිව යමින් ලකුණු රැස් කිරීමය.මෙය මේ වන විට ලකුණු ලබා ගැනීම වෙනුවෙන් සාර්ථක ක්‍රමයක් ලෙස බොහෝ රටවල් හඳුන්වාගෙන තිබෙන අතර එය ක්‍රියාවට ද නංවා තිබේ.

“අපි දෙන්න පන්දුවට පහර දෙන්න එකතු වුණේ කඩුලු 2 ක් ඉක්මනින් දැවී ගිය නිසයි. මටයි කුසල් මෙන්ඩිස්ටයි ඕනෑ වුණේ කොහොම හරි ලකුණු ලබාගන්න. මොකද යට කට්ටියට ඕවර්ස් ටික ඉතුරු කරලා දුන්නොත් විකට් අතේ තියාගෙන ගහන්න පුලුවන්. අන්න ඒක තමයි මායි කුසලුයි දුවලා ලකුණු ගන්න. එන 4 ද කියලා බැලුවේ නැහැ. හයේ පහර ගහන්න බැලුවේ නෑ. නමුත් දුවලා කරලා හිටපු නිසා තමයි අවිට ලකුණු 345 සීමාවට යන්න පුලුවන් වුණේ”යි මෙන්ඩිස් පවසයි.

පන්දු 123 කට මුහුණ දුන් අවිෂ්ක හතරේ පහර 10 ක් සමගින් ලකුණු 127 ක් රැස් කරන ලද්දේ අනෙක් ශතක ලාභියා වූ කුසල් මෙන්ඩිස් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා ගත ලකුණු 239 ක ලකුණු සංඛ්‍යාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 119 කදී ලකුණු 119 ක් රැස් කළේය.

මෙකී තත්ත්වයට පැමිණීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හොඳ පුහුණුකරුවන් රැසකගේ සේවය තම කණ්ඩායම වෙත ලබා දීම කණ්ඩායම තුළ දක්ෂතා වල වර්ධනයට පැහැදිළි හේතුවක් වී තිබෙන බවද ප්‍රනාන්දු මේ අවස්ථාවේ අවධාරණය කර සිටියේය.

“අපි හරියට බැලුවොත් අපිට පුහුණුවීම් ටික හරියට කරන්න පුලුවන් වුණා නම් තරගයෙදිත් ඒ දේවල් හරියට කරන්න පුලුවන් වෙනවා. අපිට හොඳ සහාය ඔවුන්ගෙන් ලැබෙනවා. ඒ වගේම අත්දැකීම් තියෙන ක්‍රීඩකයනුත් අපිට ඉන්නවා. ඒ සියල්ලගෙම ඇඩ්වයිස් අරගෙන පොඩි ක්‍රීඩකයින් හැටියිට අපිට ලොකු අත්දැකීමක් ලබාගන්න හැකි වෙමලා තියෙනවා” යි ප්‍රනාන්දු වැඩි දුරටතු පැවැසීය.

ගෙවී ගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුතරු තනතුරුවල වෙනසක් සිදු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය අවධානය යොමු කර සිටි අතර එහිදී මීකි ආතර් ප්‍රමුඛ පුහුණු කාර්යය මණ්ඩලය ඉකුත් වසරේ පාකිස්තානයේ පැවැති ටෙස්ට් තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිල සමඟ කටයුතු කිරීම ආරම්භ කළහ. වත්මන් පුහුණු කාර්යය මණ්ඩලය කෙරෙහි පළමු තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගිවුණු වනිඳු හසරංගද ඉහළ වර්ණනාවක් සිදු කළේය.

කුසල් සහ අවිෂ්ක එක්ව ගොඩ නංවන ලද්දේ ලකුණු 09 ක් ඇතුළත කඩුලු 2 ක්දැවී ගොස් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම වේ. “ඔව් ඇත්තටම ඒ වෙලාවේ මට මගේ සාමාන්‍ය පිතිහරඹයට එන්න බැරි වුණා. මම කුසල් අයියත් එක්ක කතා කරලා පුලුවන් තරම් බැලුවේ නිතරම පන්දුවාරයකට ලකුණු තුන හතර ගහලා ඕවර 10 ක් 15 ක් කඩුල්ල ආරක්ෂා කරගන්න”යි අවිෂ්ක අදහස් දක්වා සිටියේය.

දෙරට අතර පැවැත්වෙන මීළඟ එක්දින තරගය ලබන මාර්තු මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest