slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2020
වනිඳු හසරංග පිතිහරඹය නිසා ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

Sri Lanka Cricket

By Chamila Karawita

පිතිකරුවන් ලෙස නම් දරා සිටින්නන් සිය කඩුලු වලට නිසි වටිනාකමක් ලබා නොදෙද්දී වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් පන්දුවට පහර දුන් වනිඳු හසරංගගේ වටිනා පිතිහරඹය හේතු කොට ගෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (22 දා) පැවැති පළමු එක්දින තරගයෙන් වාර්තාගත එක් කඩුල්ලක් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

කොදෙව් කණ්ඩායම ලබාදුන් ලකුණු 290 ක ඉලක්කය පන්දු 5 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව සපුරා ගන්නා ලද්දේ කඩුලු 9 ක් දැවී තිබියදීය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ හම්බන්තොටදී පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකාව පිටව යන්නේ 1-0 ක් ලෙස තරගාවලිය පෙරමුණ ගනිමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 75 ක් අවශ්‍යව තිබියදී පිටියට පිවිසි 22 හැවිරිදි වනිඳු පැමිණි මුල් පන්දුවාර කීපයේදී ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ට පන්දුවට පහර දීම සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කර දෙමින් පන්දුවට පහර දුන්නේය. එහිදී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක් රැස් කර තිබියදී තිසර පෙරේරා දැවී යෑමත් සමඟ සියළු වගකීම් වනිඳුගේ කරමත පැටවිණ. ජ්‍යෙෂ්ඨයා පිටියෙන් ඉවත්ව යද්දී සිය අන්තය ආරක්ෂා කරගත් දකුණත් පිතිකරුවා අවසන් පන්දුවාරයේ පළමු දෙවැනි පන්දුවේදී (නිපන්දුවක්) ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වන විට පන්දු 39 කට මුහුණ දී ලකුණු 42 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව ඉදිරියේ ජයග්‍රහණය සනිටුහන් වීමත් සමඟ එය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ වාර්තා අළුත් කිරීමක් ලෙසින්ද සටහන් වූයේ දෙවැනියට කණ්ඩායමක් ජයග්‍රහණය කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙමිනි. මීට පෙර එහි වාර්තාව බවට පත්වූයේ 1998 වසරේදී සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක් දැවී වාර්තා කරන ලද ලකුණු 286 ක ඉලක්කය විය.

අංක 10 පිතිකරුවා ලෙසින් ලක්ෂාන් සඳකැන් පිටියට පිවිසෙන විට ජයග්‍රහණය සඳහා පන්දු 27 කදී ලකුණු 28 ක් ලබා ගත යුතු විය. පීඩනය කරපින්නාගෙන පන්දුවට පහර දුන් වනිඳු 47 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ෂෙල්ඩන් කොට්‍රල්ට එරෙහිව පිට පිට හතරේ පහර 2 ක් එල්ල කරමින් එතෙක් වෙලා පන්දු සංඛ්‍යාවට වඩා ලකුණු සංඛ්‍යාව වැඩි වූ පරතරය අඩු කළේය.

ලකුණු 290 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක් රැස් කරන ලද්දේ දෙදෙනාම අර්ධ ශතක ලබා ගනිමිනි. නායක දිමුත් පන්දු 57 කදී ලකුණු 52 ක් ද අවිශ්ක පන්දු 55 කදී ලකුණු 50 ක්ද රැස් කරන ලද්දේ පිළිවෙළින් තම එක්දින තරග දිවියේ 5 වැනි සහ තෙවැනි අර්ධ ශතකවලට හිමිකම් කියමිනි. කුසල් මෙන්ඩිස් (20), ඇන්ජලෝ මැතිව්ස් (05) ක් සහ ධනංජය ද සිල්වා (18) තිදෙනාම රැස් කරන ලද්දේ 43 ක් බැවින් බලාපොරොත්තු වූ තරම් මැද පෙළින් කණ්ඩායමට සේවයක් නොවීය.

ආරම්භක පිතිකරු ෂායි හෝප්ගේ ශතකය වටා ගෙතුණු බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේදී කීමෝ පෝල් සහ හේඩ්න් වෝල්ෂ් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී රැස් කරන ලද ලකුණු 49 ක වේගවත් ලකුණු සම්බන්ධතාව හේතුවෙන් ලකුණු 290 ක ඉලක්කයක් සත්කාරකයින් වෙත ලබා දීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට හැකිවිය.

46 වැනි සහ 47 වැනි පන්දුවාර අතරතුර පිටියට පැමිණි පිතිකරුවන් දෙදෙනා ඉසුරු උදාන විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී ලකුණු 16 ක් උදුරා ගත්හ. කොදෙව් ඉනිම අවසන් වනවිට හයේ පහරක් සහ හතරේ පහර 2ක් ඇතුළත් වුණු වෝල්ස්ගේ නම ඉදිරියෙන් පන්දු 8 කදී ලකුණු 20 ක්ද හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පෝල්ගේ නම ඉදිරියෙන් පන්දු 17 කදී ලකුණු 32 ක් ද සටහන්ව තිබිණ.

මෙම තරගය 76 වැනි එක්දින තරගය බවට පත් කර ගත් ෂායි හෝප් පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී දැවී ගිය පිතිකරුවකු ලෙස විනිසුරු රුචිර පල්ලියගුරු මහතා නම් කෙරුවේය. එහෙත් තෙවැනි විනිසුරුගේ පිහිට මත ලකුණු නොලබා අවසන් වීමට ගිය ඉනිම තම 9 වැනි ශතකය කරා පරිවර්තනය කරගැනීමට තරම් මේ දකුණත් පිතිකරුවා වාසනාවන්ත විය. කෙසේ වෙතත්  ඉසුරු උදානගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් හෝප්ගේ ඉනිම ලකුණු 115 කදී අවසන් වන විට පන්දු 140 කට මුහුණ දී තිබුණේ ඉන් 10 ක් හතරේ පහර බවට පරිවර්තනය කර ගනිමිනි.

කොදෙව් කණ්ඩායමට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවකාශ හොඳින්ම තිබුණත් ඊට ශ්‍රී ලංකා පන්දු රකින්නන් හරහට හිටියේය. ෂේන් මැක්ඩමට් පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට පත්වීමෙන් පසු පන්දු රැකීමේ අංශයේ ශීග්‍ර දියුණුවක් මෙන්ම වඩා විශ්වාසනීයත්වයක් ගොඩ නගාගෙන සිටින ශ්‍රී ලංකා පන්දු රකින්නෝ අද තරගයේදී කොදෙව් පිලට රැස් කරගත හැකිව තිබූ ලකුණු 20 කට ආසන්න සංඛ්‍යාව නවතා දැමීමට සමත්වූහ. එපමණක් නොව ඔවුන්ගේ ජව සම්පන්න සහ උපරිම කාර්යක්ෂමතාවයෙන් පන්දු රැකීමේ නිරතවීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඩැරන් බ්‍රාවෝ සහ ජේසන් හෝල්ඩර් යන දෙදෙනාම දුවද්දී දවා ගැනීම් වලට හසුකර දවා ගැනීමට සමත්වීය. එය පන්දු රැකීමේ අංශය දියුණුවී ඇති බවට හොඳම නිදසුන් බවට පත්විය.

මෙම තරගයේදී දඟ පන්දු යවන්නන් කෙරෙහි බලාපොරොත්තු තබා තිබුණද වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන්ට එකම කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විණ. තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට එක්ව සිටින ඉසුරු උදාන කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුවත් අවසන් පන්දුවාර 2 දී රැස් කර ගන්නා ලද ලකුණු 33 ත් සමඟ ඔහුගේ පන්දුවාර 10 ඇතුළත ලකුණු 82 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ සුනිල් අම්බ්‍රිස්ය. කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදී අම්බ්‍රිස් දැවී ගියේ තරග 5 කට පසු තිසර පෙරේරාට කඩුල්ලක් ලබා දෙමිනි. අනතුරුව ෂායි හෝප්ට එක්වූ ඩැරන් බ්‍රාවෝ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක් රැස් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ස්ථාවරත්වය කරා රැගෙන ගියහ. ඩාරන් බ්‍රාවෝපන්දු 52 කදී ලකුණු 39 ක් රැස් කර ගනිද්දී ශතක ලාභී හෝප් සිය අර්ධ ශතකය 77 වැනි පන්දුවේදී රැස් කරගත්තේහ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ලබන 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වේ.  

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest