Chamila Karawita reporting from Hambantota
පන්දුවට පහර දීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට කිසිම ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (26 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 161 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් කොදෙව් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය වාර්තා කරන ලද මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මෙරට එක්දින තරග ඉතිහාසයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරු යුගලයක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාවට හිමිකම් කියමින් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්ව රැස් කරන ලද ලකුණු 239 ක වාර්තාගත කඩුලු සම්බන්ධතාව හේතුවෙන් ලකුණු 346 ක ඉලක්කයක් කොදෙව් පිලට ලබා දීමට ශ්‍රී ලංකාවට හැකිවිණ.
පන්දු වාරයකට දළ ලකුණු ලබා ගැනීම 6.9 කට වඩා වැඩි වේගයක් රඳවා තබා ගැනීමේ වගකීම කරට ගෙන පිටියට පිවිසි ෂායි හෝප් සහ සුනිල් අම්බ්‍රිස් සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පන්දුවට පහර දුන් නමුත් ඇන්ජලෝ මැතිව්ස්ගේ සුපිරි පන්දු රැකීම හේතුවෙන් එම සම්බන්ධතාව ලකුණු 64 දී නිමාවට පත්විය. මිඩ් විකට් කළාපයට පන්දුව තල්ලු කොට ලකුණක් ලබා ගැනීම සඳහා උත්සාහ දැරුවද පන්දුව තනි අතට මැතිව්ස් පන්දුව රැකගත් බැවින් ඒ පිළිබඳ අදහස ෂායි හෝප් අත්හැරියේය. එහෙත් ඒ වන විටත් අනෙක් අන්තයේ සිටි අම්බ්‍රිස් තණතීරුවේ සැලකිය යුතු දුරක් පැමිණ තිබූ බැවින් දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගියේය.
එම කඩුල්ලේ සම්බන්ධතාව හැරෙන්නට කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේදී කැපී පෙනෙන යමක් තිබුණේ නම් ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු යැවීම සහ පන්දු රැකීමේ දක්ෂතා පමණි. මැණික් කටුව භාවිත කරමින් පන්දු යවන ක්‍රීඩකයන් දෙදෙනා පිළිබඳව පුහුණුකරු මිකී ආතර්ගේ බලාපොරොත්තුව ඒලෙසින්ම ඉටු කළ වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් කොදෙව් පිතිකරුවන් ඇද බැඳ තබා ගනිමින් කඩුලු දවා ගත්හ. චෙසේ දැවී යෑමත් සමඟ කොදෙව් ඉනිමේ කඩා වැටීම ඇරඹුණු අතර එහිදී ඉතිරි කඩුලු 7 ම ලකුණු 54 කදී බිඳ වැටිණ.
එහිදී කැපී පෙනුණු වනිඳු හසරංග සිය පන්දුවාර 10 දී ලකුණු 30 ක් පමණක් ලබා දෙමින් ඩැරන් බ්‍රාවෝ (16), කිරන් පොලාර්ඩ් (00) සහ ජේසන් හෝල්ඩර් (03) කඩුලු දවාගනු ලැබුවේ ගුග්ලි පන්දු යොමු කරමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් ලක්ෂාන් සඳකැන් යොමු කරන ලද පන්දුවාර 9.1 දී ප්‍රතිවාදීන් ලකුණු 57 ක් රැස් කර ගැනීමට සමත් වුවත් දවා ගත යුතුම පිතිකරුවන් යුගලක් වූ රෝස්ටන් චේස් (20) සහ නිකොලොස් පූරාන් (31) ගේ කඩුලුද ඇතිව කඩුලු 3 ක් දවා ගත්තේය.
මෙරට එක්දින තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු තෙවැනි සම්බන්ධතාවය ලෙසින්ද සටහන් වුණු අවිශ්ක – කුසල් ශතක සම්බන්ධතාවය සඳහා පන්දු 227 ක් වැය වී තිබිණ. පිට පිට පන්දු 2 කදී නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා දවා ගත් ශෙල්ඩන් කොට්‍රල් සාර්ථක ආරම්භයක් කොදෙව් කණ්ඩායමට ලබා දීමට සමත් වුවද මුලු ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී පිටියට එක්වූ මෙම දකුණත් පිතිකරු යුගලය, කොදෙව් කණ්ඩායම නොසිතූ අසීරුතාවකට ඇද දැමූහ.
41 වැනි පන්දුවාරය දක්වා විහිදී ගිය මෙම කුසල් සහ අවිශ්ක විසින් බිඳ දමන ලද්දේ ඉන්දියාවට එරෙහිව 2000 වසරේ සාජා නුවරදී පැවැති තරගයේදී මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන එක්ව රැස් කර තිබූ ලකුණු 226 ක සම්බන්ධතාවය වේ. ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් සැසඳූ කළ මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව දෙවැනි වන්නේ සනත් ජයසූරිය සහ උපුල් තරංග එක්ව එංගලන්තයට එරෙහිව රැස් කරන ලද ලකුණු 286 ක සම්බන්ධතාවයත් ටී. එම්. ඩිල්ෂාන් සහ උපුල් තරංග එක්ව සිම්බාබ්වේට එරෙහිව රැස් කරන ලද ලකුණු 282 ක සම්බන්ධතාවයටත් පමණි.
ලකුණු 02 ක් ලබා සිටියදී පිත්තේ කොනක වැදි පන්දුව ස්ලිප් ස්ථානය වෙත උඩ පන්දුවක් ලෙස ඇදී ගියද එහි පන්දු රකිමින් සිටි කිරන් පොලාර්ඩ් අතින් ගිලිහී යෑම මත පිටියේ රැදීමට වරම් ලැබූ මෙන්ඩිස් සිය ඉනිම තම එක්දින තරග දිවියේ 8 වැනි ශතකය බවට පරිවර්තනය කර ගත්තේ මුහුණ දුන් 107 වැනි පන්දුවේදීය. මෙය 2017 වසරේ මාර්තු මසින් පසු මෙන්ඩිස් ශතකයක් රැස් කරන ලද පළමු අවස්ථාව ලෙසින් සටහන් විය. අල්සාරි ජෝෂප්ගේ පන්දුවක් හමුවේ ෂායි හෝප් වෙත උඩ පන්දුවක් ලබා දී මෙන්ඩිස් දැවී යන විට හතරේ පහර 12 ක්ද සමඟින් පන්දු 119 කදී ලකුණු 119ක් ලබා සිටියේය.
මෙම සම්බන්ධතාවය පැවැත්වෙන අතරතුර කඩුලු අතර දිව යෑම ඉතා විශිෂ්ඨ මට්ටමක පැවැතීම විශේෂත්වයක් විය. තරගය පැවැත්වෙන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ හතරේ සීමාව යාර 90 ක සීමාවෙන් පැවැතීම නිසා හයේ පහරක් එල්ල කිරීම යනු දැඩි අසීරු කටයුත්කි. ඒ බව හොඳින් වටහාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ හයේ පහර එල්ල කිරීම වෙනුවට හතරේ පහර වලින් සහ කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කර ගැනීමට වැඩි උනන්දුවක් ලබා දුන්හ. ඒ අනුව සමස්ථ ඉනිම හතරේ පහර 33 කින් පමණක් සමන්විත වුණු අතර එයට අතිරේක ලකුණු 15 එකතු කළ විට ලකුණු පුවරුවේ රැඳී ලකුණු 345 න් 198 ක්ම කඩුලු අතර දිව යෑමෙන් ලබාගත් ලකුණු විය. ඒ අනුව මෙම ඉනිම එක්දින තරග අංශයේ එකම හයේ පහරක් හෝ වාර්තා නොවී රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.
මෙන්ඩිස්ට නොදැවැනි වුණු අවිශ්ක ප්‍රනාන්දු හතරේ පහර 10 ක් සමගින් පන්දු 123 කදී ලකුණු 127 ක් ලබා ගත්තේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මංගල ශතකය වාර්තා කළ අවිෂ්ක අද රැස් කරගන්නා ලද්දේ දෙවැනි ශතකය වේ. එයද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව රැස් කිරීම කැපී පෙනෙයි.
ක්‍රීඩාංගණය හරහා ඇදී යැන දැඩි සුළං සහිත තත්ත්වය පන්දු යවන්නන්ට වාසි දායක ලෙසින් හැසිරුණද ඒ සියල්ල දෙවැනි තැනට ඇද දමමින් පන්දුවට පහර දුන් මෙන්ඩිස් සහ නායක පොලාර්ඩ්ගේ තෙවැනි පන්දුවාරයේදී මිඩ් ඕෆ් කළාපයට ඉහළින් හතරේ පහර 4 ක් එල්ල කරමින් ලකුණු 19 ක් උදුරා ගත්හ. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය පාලනය කිරීම කොදෙව් නායකයාට කෙතරම් අසීරු වූයේද කිවහොත් ඒ සඳහා පන්දු යවන්නන් 7 දෙනෙකුගේම සහාය ලබා ගත්තේය.
මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ෆේබියන් ඇලන් විසින් ඉසුරු උදාන ලබා දුන් පහසු උඩ පන්දුව අත හැර නොදමන්නට ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූ ෂෙල්ඩන් කොට්‍රල්ට කඩුලු 5 ක් පහසුවෙන්ම දවා ගැනීමට අවස්ථාව තිබිණ. ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට කෝට්‍රල්ගේ නම ඉදිරියෙන් ලකුණු 67 කට කඩුලු 4 ක්ද අල්සාරි ජෝෂප් ලකුණු 57 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූහ.

