slc
Home   |    News
මාර්තු 9, 2020
එංගලන්ත පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක් ලබති

Sri Lanka Cricket

Chamila Karawita reporting from Katunayake

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැති තුන් දින පුහුණු තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (09 දා) දිනයේ ද රිසිසේ පන්දුවට පහර දුන් සංචාරක එංගලන්ත පිතිකරුවෝ ටෙස්ට් තරගාවලියට පෙර සාර්ථක පිතිකරණ පෙරහුරුවක් ලබා ගත්හ. දෙපිළේම නායකයින්ගේ කැමැත්තෙන් අවසන් හෝරාව එළැඹීමට ප්‍රථම තරගය නතර කර දමන විටත් පන්දුවට පහර දෙමින් සිටි සංචාරකයෝ කඩුලු 7 ක් දැවී  ලකුණු 320 ක් ලබා සිටියහ. 

ලකුණු 39 කට කඩුල්ලක් දැවී දිනය ඇරඹූ එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් සියළුම පිතිකරුවන් ලකුණු 23 සීමාව ඉක්මවා ලීමට සමත් වූ අතර ඉන් දෙදෙනකු අර්ධ ශතක වාර්තා කළහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සැක් ක්‍රෝව්ලි පන්දු 99 කදී ලකුණු 91 ක් ලබා ගත්තේ තුන්දින තරගයේදී එක්දින තරගයක සිරිය රැගෙන එමිනි. දුර්වල පන්දු දුටු තැන රිදෙන්න පහර එල්ල කළ දකුණත් පිතිකරුවා දැවී යන විට සිය ඉනිම හතරේ පහර 17 කින් වර්ණවත් කරගෙන සිටියේය.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වූ ජෝ ඩෙන්ලි ප්‍රියමාල් පෙරේරාගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ කඩුල්ල අහිමි කර ගත්තේය. පිට ඉන්නට පිටින් චාමික කරුණාරත්න විසින් යොමු කරන ලද පන්දුවට ඩෙන්ලි එල්ල කරන ලද පහර තෙවැනි ස්ලිප් ස්ථානය අසළින් ඇදී යනු දුටු දෙවැනි ස්ලිප් ස්ථානයේ පන්දු රැකි ප්‍රියමාල් පෙරේරා ගුවනට පනිමින් එය තනි අතට රැක ගත්තේ තරගය වාර්තා කිරීමට එංගලන්තයේ සිට පැමිණ සිටින මාධ්‍යවේදීන්ද පුදුමයට පත් කරමිනි. මෑත කාලයේ ක්‍රීඩා පිටියක දකින්නට නොලැබුණු ගණයේලා වූ එම උඩ පන්දු රැකීමෙන් ඩෙන්ලිගේ ඉනිම ලකුණු 27 කට සීමා වූ අතර  කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 67 කදී නිමාවට පත් කරමිනි.

ඉනිමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූයේ ඔලී පෝප්ය. පන්දු 115 කට මුහුණ දුන් පෝප් හතරේ පහර 6 ක් සමඟ ලකුණු 77 ක් රැස් කර ගනිද්දී වේගවත් පිතිහරඹයක නියැළුණු බෙන් ස්ටෝක්ස් පන්දු 42 කදී ලකුණු 43 ක් ලබා ගත්තේය. ලකුණු වේගය වැඩි කරමින් පන්දුවට පහර දීමට බෙන් ස්ටෝක්ස් ගත් උත්සාහය ව්‍යවර්ථ වූයේ දුවිඳු තිලකරත්නගේ පන්දුවකට සංගීත් කුරේ අතට උඩ පන්දුවක් ලබා දීමෙනි.

දිවිනිඳු තිලකරත්නගේ පන්දුවකට සෑම් කරන් එල්ල කරන ලද පහර මිඩ් ඕෆ් කළාපයේ පන්දු රැකි චාමික කරුණාරත්න විසින් රැක ගැනීමත් සමඟ නතර කර දැමුණු තරගයේදී  කවිෂ්ක අංජුල ලකුණු 45 කට කඩුලු 2 ක්ද දුවිඳු තිලකරත්න ලකුණු 62 කට කඩුලු 2 ක්ද දවා ගනිමින් පන්දුවෙන් දක්ෂතා දැක්වීමට සමත්ව සිටියහ.

ලබන 19 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත පිලට හිමි සිව්දින පුහුණු තරගය ලබන 12 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වනු ඇත.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest