slc
logo
Home   |    News
මාර්තු 12, 2020
කරන්න ඕන දේ ගැන විවෘත අදහසක් තියෙනවා – රූට් | ප්‍රතිවාදීන්ගේ තීරණයට අපි හිස නැමි යුතුයි – දිමුත්

Sri Lanka Cricket

By Chamila Karawita

ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාවේ ලොකුම තුරුම්පුව දඟ පන්දුව බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රතිවාදී රටවල් මෙරටට පැමිණ තරග කිරීමේදී කණ්ඩායම සතු පන්දු යවන්නන්ට සුදුසු ලෙසින් තණතීරුව සකස් කොට ඔවුන් අමාරුවේ දැමීම ශ්‍රී ලංකාව කලක පටන් ජයග්‍රහණය සඳහා  සිදුකරගෙන යනු ලබන උපක්‍රමය බවට පත්විය. ඒ හරහා වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණද එය පාරා වළල්ලක් වුණු අවස්ථාද නැතිවා නොවේ. එංගලන්ත කණ්ඩායම 2018 වසරේදී ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරය එවැනි තරගාවලියකි.

තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය එංගලන්තය ජය ගනු ලැබුවේ 3-0 ක් ලෙස සත්කාරකයින්ව අන්ත පරාජයට පත්කරමිනි. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 60 න් 4 ක් දුවද්දී දැවී යෑම් ලෙස සටහන් වද්දී පන්දු යවන්නන් විසින් දවා ගන්නා ලද කඩුලු 56 න් 48 ක්ම එංගලන්ත දඟ පන්දු යවන්නන් විසින් දවා ගැනීමට සමත්වූහ. එම කඩුලු ලාභීන් අතර ජැක් ලීච් කඩුලු 18 ක්, මොයින් අලී කඩුලු 18 ක් සහ අදෙල් රශීඩ් කඩුලු 12 ක් බැගින් දවා ගත්හ.

එවන් වූ වට පිටාවක ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා යළිත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම සතු එකම ප්‍රධාන පන්දු යවන්නා වන්නේ ජැක් ලීච් පමණි. මොයින් අලී සහ අදෙල් රශීඩ් මෙම කණ්ඩායමට ඇතුළත් නොවන අතර ඒ වෙනුවට ආධුනික පන්දු යවන්නන් දෙදෙනකු වන ඩොම් බෙස් සහ මැට් පාකින්සන් කණ්ඩායමට එක්ව සිටිති. බෙස් ටෙස්ට් තරග 4 කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 11 ක් දවාගැනීමට සමත්ව තිබෙන නමුත් පාකින්සන් තවමත් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කොට නොමැත.

“ඇත්තටම අපි ගිය වර ලැබුණු තණතීරුවලට වඩා තරමක් වෙනස් තණතීරු තමයි මේ තරගාවලියේදී අපේක්ෂා කර සිටින්නේ. නමුත් අපි කළ යුතු දේ පිළිබඳව විවෘත මනසකින් සිටිනවා” යැයි සිය දඟ පන්දු බල ඇණිය පිළිබඳව අදහස් දක්වන එංගලන්ත නායක ජෝ රූට් “ඇත්තටම එය සෙසු පන්දු යවන්නන්ටත් තමන්ට කළ හැකි දේ පෙන්වීම සඳහා මේ තරගාවලිය හොඳ අවස්ථාවක් වෙනවා” යැයි සඳහන් කර සිටියේය.

දෙරට අතර වන පළමු ටෙස්ට් තරගය ලබන 19 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වන අතර ඒ පිළිබඳව වූ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී එංගලන්ත නායකයා සිය අදහස් පළ කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි රූට්, “මොවුන් මෙවැනි තත්ත්වයන් යටතේ වැඩි තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර නැති වුණත්  තරගාවලිය ආරම්භයට පෙර පැවැත්වෙන පුහුණු තරග අපිට හරි වැදගත්. ඒ හරහා දෙයක් කළ හැකි කියන විශ්වාසය අපිට ලබා ගන්න පුලුවන්. ඒ තරග වලදී ඔවුන් දක්ෂතා දැක්වීමට සමත් වුණොත්, ඔවුන්ට තරගාවලියේ කරන්න පුලුවන් මොකද්ද කියන එක ගැන විශ්වාසයක් ගොඩ නඟා ගැනීමේ හැකියාව පවතිනවා” යි පවසා සිටියේය.

“අවසන් වතාවේ අපි ශ්‍රී ලංකාවට ආවේ අවුරුද්දේ වෙනස් කාලයෙක්. ඒ වකවානුව තෙත් සහ ගිගුරුම් සහිත වැසි ඇති වුණු මෝසම් වැසි සමය. නමුත් මේ වතාවේ ඒ තත්ත්වයන් තනිකරම වෙනස්. ඒ අනුව මේ තරගාවලියේදී අපි තරග වැදීම සඳහා හොඳ ක්‍රමෝපායක් සොයා ගත යුතුයි. මේ සංචාරයේදී අපි සමඟ සිටින සමහර ක්‍රීඩකයින් ක්‍රීඩා කරන හැටි අපි දැකලා තියෙනවා. අපි අපි ගැන බලාපොරොත්තුවෙන තරමට මේ තරගාවලියෙදි අවතීර්ණ වන්න ඒ වගේ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා” යැයි ද එංගලන්ත නායකයා සඳහන් කර සිටියි.

මෙම තරගාවලියට පමණක් නොව මේ වන විට ලොව බොහෝමයක් රටවලට දැවැන්ත තර්ජනයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරස් තත්ත්වයෙන් මිදීම සඳහා විශේෂ ක්‍රමවේදයන් භාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන එංගලන්ත කණ්ඩායම,  ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය දක්වා යෑමට මෙම තරගාවලිය මනා පිටිවහලක් වන බව සඳහන් කර සිටියි.

“මම හිතනවා ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට යෑම යනු විශාල ජයග්‍රහණයක් කියලා” යැයි පවසන රූට් “දීර්ඝ කාලීනව අප කෙරෙහි විශාල අවධානයක් යොමු කෙරුවා නම් අපි බැලුවේ දිගින් දිගටම දක්ෂතා අතර රැඳී සිටිමින් අපි කරගෙන යන ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යන්න. ඒ හා සමානව අප කණ්ඩායම සඳහා තෝරාගෙන සිටින ක්‍රීඩකයින්ට දීර්ඝ කාලීනව රැඳෙමින් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියටම යන්න පුලුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ අනුව මේ වගේ වැදගත් තරග අවස්ථාවන් වලදී අපි හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා” යි සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් තත්ත්වයෙන් මිදීම පිළිබඳව ද අදහස් දක්වා සිටි ජෝ රූට්, “කොරෝනා වෛරස් තත්ත්වයෙන් මිදී සිටීමට අපි විශේෂ ක්‍රමවේද සැලසුම් කරලා තියෙනවා. මේ සංචාරය අතරතුර අපි කාටවත් අතට අත දෙන්න යන්නේ නෑ. ඒ වෙනුවට වෙනත් ක්‍රමයකින් ආචාර කරන්න අපි හිතාගෙන ඉන්නවා. ඒ වගේම ප්‍රේක්ෂකයින් අතරටත් වැඩි පුර කාලය ගත නොකරන්න කියලා අපිට උපදෙස් ලැබිලා තියෙනවා”යි පැවැසීය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේ අසුන්ගෙන සිටි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද අදහස් දක්වමින්, “එංගලන්ත කණ්ඩායම තීරණය කාලා තියෙනවා අතට අත නොදෙන්න. නමුත් ඔවුන් වෙනම ආචාරශීලීත්වයක් අනුගමනය කරනවා. අපිත් අපේ කණ්ඩායමේ විදියට එක එක දේවල් අනුගමනය කරනවා. කණ්ඩායමක් විදියට ප්‍රතිවාදීන්ගේ තීරණවලටත් අපි හිස නමන්න ඕන. මොකද ක්‍රිකට් වගේම අපිට ඒ වෛරස් එකෙන් මිදීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා. මං හිතන්නේ ඔවුන් ගත් ඒ ක්‍රියාමාර්ගය එක අතකින් හොඳයි කියලායි” යනුවෙනි.

ප්‍රධාන පුහුණුකරු ධුරයට මිකී ආතර් පත්වීමත් සමඟ කණ්ඩායම තුළ එකම ක්‍රීඩකයින් පිරිසකට අවස්ථාව සලසා ලීම කැපී පෙනෙන්නක් වන අතර එය මේ තරගාවලියේදී කෙතරම් වැදගත් වන්නේද යන්න පිළිබඳව ද ශ්‍රී ලංකා නායකයා අදහස් පළ කර සිටියේය.

“මං හිතන්නේ ස්ථාවර කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්න ගොඩක්ම ලේසියි. එක්දින තරගාවලියේදීත් අපි ඒ දේ කරන්න තීරණය කළේත් ඒකයි. එතකොට ක්‍රීඩකයින් තුළ මානසික්ත්වය හොඳ ස්ථාරවත්වක පවත්වාගෙන යෑමට ඉවහල් වෙන නිසා. මේ තත්ත්වය හරහා ක්‍රීඩකයින් තුළත් තරගයකට ක්‍රීඩා කරලා අනිත් තරගයට ක්‍රීඩා නොකරයි කියන අවධානමක් තිබුණා. දැන් ඒ අවධානම නැහැ”යි සඳහන් කර සිටි දිමුත් “අපි එකම ක්‍රීඩකයින් පිරිසක් එක්ක ඉදිරියට යනවා. ඒ අතරේ නවකයින්ටත් අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දෙයින් ක්‍රීඩකයින්ගේ මානසික්තවය වගේම ආත්ම විශ්වාසයත් හොද අතකට පත් වෙනවා. එතකොට ඔවුන්ගේ උපරිම දක්ෂතාවයන් එළියට ගැනීමේ හැකියාව තියෙනවා”යි වැඩිදුරටත් කරුණු විස්තර කර සිටියේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest