slc
Home   |    News
මාර්තු 4, 2020
කුසල් සහ වනිඳුගේ උත්සාහය අපතේ යයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Pallekele

ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 56 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස සංචාරක කොදෙව් පිල පෙරමුණ ගෙන සිටියි.

කොදෙව් පිල ලබා දුන් ලකුණු 197 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදුන් ඔෂේන් තෝමස් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.1 කදී ලකුණු 171 කට සීමා කළහ. එහිදී කැපී පෙනුණු ඔෂේන් තෝමස් අධිවේගී පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙකුම දවා ගත්තේය. 

තෝමස්ගේ විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම මෙන්ම කඩුලු 5 ක් දවා ගන්නා ලද පළමු අවස්ථාව බවට සටහන් වූ එම දක්ෂාතවයේදී අවිෂ්ක ප්‍රනාද්දුව දවා ගනිමින් සිය කඩුලු දඩයම ඇරඹීය. අනතුරුව යවන ලද ඊළඟ පන්දුවේදී ෂෙහාන් ජයසූරිය දවා ගත් දකුණත් වේග පන්දු යවන්නා කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ ආසන්නයට පැමිණියේය. කඩුලු ත්‍රිත්වය වෙනුවෙන් එවන ලද පන්දුවේදී කුසල් මෙන්ඩිස් ආරක්ෂා වීමට සමත් වුවත් ඊළඟ පන්දුවේදී කුසල්ද තෝමස්ගේ ගොදුරක් ලෙසින් ශ්‍රී ලංකාව තවත් අසීරුතාවයට ඇද දමමනි. 

ලකුණු 56 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී පිටියට එක්වූ කුසල් පෙරේරා සහ වනිඳු හසරංග ශ්‍රී ලංකාව වැටී සිටි ආගාධයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් පන්දු 57 කදී වේගවත් ලකුණු 87 ක් රැස් කළහ. තම විවාහ උත්සවයට සහභාගිවීමෙන් හෝරා 24 ක් ගතවීමට මත්තෙන් අද තරගයට ක්‍රීඩා කරන ලද කුසල් පෙරේරා පන්දු 38 කදී ලකුණු 66 ක් ලබා ගත්තේ තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් කර ගනිමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් වනිඳු හසරංග එක්සි තරගාවලියේදී මෙන්ම සාර්ථක වෙමින් පන්දු 34 කදී ලකුණු 44 ක් රැස් කර ගත්තේය.

මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව හේතුවෙන් අවසන් පන්දු 30 තුළදී ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ලකුණු 56 ක් පමණි. එහෙත් රොව්මන් පවෙල් සහ ඩ්වයින් බ්‍රාවෝ විසින් වනිඳු සහ කුසල් දවා ගැනීමට සමත්වීමත් සමඟ එතෙක් වෙලා දෙපිළටම විවෘතව තිබූ තරගයේ වැඩි වාසි කොදෙව් පිල වෙත දෝලනය විය.

වේගයෙන් ලකුණු රැස් කළ කොදෙව් පිතිකරුවන් අතරින් ෆේබියන් ඇලන් (නොදැවී 03), හැරුණු කොට සෑම පිතිකරුවකුම ලකුණු 10 සීමාව ඉක්මවමින් ලකුණු රැස් කළහ.  ඒ අතරින් සිව් දෙනෙකුම ලකුණු 30 සීමාව ඉක්මවාලූයේ කොදෙව් ලකුණු පුවරුව ලකුණු 200 සීමාවට ආසන්නයට රැගෙන යමිනි.

ලෙන්ඩ්ල් සීමන්ස් අර්ධ ශතකයක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අන්ද මන්ද කරවන තරමේ පිතිහරඹයක නියැළුණු ඇන්ඩ්‍රෙ රසල් සහ නායක කිරන් පොලාර්ඩ් පිළිවෙළින් ලකුණු 35 සහ 34 බැගින් ලබා ගත්හ. රසල් තම ලකුණු 34 සඳහා පන්දු 14 කටද පොලාර්ඩ් පන්දු 15 කට මුහුණ දුන්හ.

ලොව විස්සයි-20 ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයකු වන පොලාර්ඩ් අද සහභාගිවූයේ සිය 500 වැනි විස්සයි-20 තරගයටය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් තම ඉනිම සරසා ගත් පොලාර්ඩ් තම 500 වැනි තරගයට සදාතනික මතකයක් එක් කර ගන්නා ලද්දේ එම තරග අංශයේ ලකුණු 10,000 සීමාවද ඉක්මවා යමිනි.

පොලාර්ඩ් තරමටම වේගත් වුණු ඇන්ඩ්‍රෙ රසල් සිය ලකුණු 35 දැවැන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 14 කදී ලබා ගත්තේය. 13 වැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දීමට පැමිණි රසල් රැස් කරන ලද ලකුණු අතර 32 ක්ම හයේ සහ හතරේ පහර වලින් රැස් කරගන්නා ලද ඒවාය. සිදුවන්නට යනදේ වටහා ගත් ලසිත් මාලිංග පන්දුව අතට ගෙන එතෙක් දැවැන්ත පහර එල්ල කරමින් ලකුණු රැස් කළ රසල්ගේ ඉනිම නිමා කළ නමුත් මේ දඩබ්බර පිතිකරුවා ඒ වන විටත් ශ්‍රී ලංකා පිලට නොසෑහෙන ලෙස හානි සිදුකර තිබුණේය.

ආරම්භයේ සිටම ඉනිම අවසන් වන තෙක්ම පන්දුවට පහර දුන් ලෙන්ඩ්ල් සීමන්ස් කොදෙව් ඉනිමේ ගොඩනැංවුණු සෑම කඩුලු සම්බන්ධතාවයකටම සහභාගිවිය. ප්‍රථමයෙන්ම බ්‍රෙන්ඩන් කිං සමඟ ඉනිම ඇරැඹි සීමන්ස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී වේගවත් ලකුණු 74 ක් එක් කළේය. කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් කොදෙව් ආරම්භක පිතිකරුවෝ අධිවේගී පන්දුවාර 6 ඇතුළත ලකුණු 58 ක් රැස් කරගත්හ.

මාලිංග විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයට හතරේ පහරක් ද සමඟින් ලකුණු ලබා ගැනීම ඇරඹූ දකුණත් පිතිකරුවන් දෙදෙනා අතරින් බ්‍රෙන්ඩන් කිං, සීමන්ස් අර්ධ ශතකය රැස් කර ගැනීමට ප්‍රථම දැවී ගියේය. එක්දින තරගාවලියේ සිට කණ්ඩායමේ සිටියද පළමු වරට තරගයකට ක්‍රීඩා කරන ලද බ්‍රෙන්ඩන් කිං ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් හි පන්දු රැකි වනිඳු හසරංග වෙත උඩ පන්දුවක් දී කිං දැවී යන විට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 25 කදී ලකුණු 33 ක් රැස් කරගෙන සිටියේය.

අනතුරුව නිකොලොස් පූරාන් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක් එක් කළ සීමන්ස්,  ඇන්ඩ්‍රෙ රසල් සහ නායක කරන් පොලාර්ඩ් සමඟ එක්වෙමින් තෙවැනි සහ සිව්වැනි කඩුලු සඳහා පිළිවෙළින් ලකුණු  43 ක් සහ ලකුණු 45 ක් වශයෙන් ලකුණු 88 ක් එක් කරන ලද්දේ පන්දු 39 ක් පමණක් වැය කරමිනි.

සීමන්ස් ඉනිම නිමා වන විට පන්දු 51 කදී ලකුණු 67 ක් ලබා සිටියේය. අද දිනයේදී තම 8 වැනි විස්සයි-20 අර්ධ ශතකය රැස් කරගත් දකුණත් ආරම්භක පිතිකරුවා ඒ වෙනුවෙන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 කින් තම ඉනිම සරසා ගත්තේය.


Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest