slc
logo
Home   |    News
මාර්තු 23, 2020
කොරෝනාවට එරෙහි සටනට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලක්ෂ 250 ක්

Sri Lanka Cricket

මුළු ලෝකයටම සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කරමින් පැතිර යන Covid – 19 හෙවත් කොරෝනා වෛසරයට එරෙහිව ශ්‍රී ලාංකික ජනතාව බේරා ගැනීම වෙනුවෙන් රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළට සහයෝගයක් වශයෙන් මූල්‍ය ප්‍රදානයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය තීරණය කර තිබේ.

රුපියල් මිලියන 25 ක් හෙවත ලක්ෂ 250 ක මුදලක් ඒ වෙනුවෙන් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාව ඒකමතිකවම තීරණය කර තිබෙන අතර එම මුදල් ඉදිරි දින කීපය ඇතුළත රජයට වෙත භාර දීමට නියමිතව තිබේ.

මීට අමතරව රට තුළ හට ගෙන තිබෙන සෞඛ්‍ය ගැටළුවල බරපතලම කම අවබෝධ කරගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මූල්‍ය ප්‍රධානයට අමතරව ඊට එරෙහි සටන් කිරීම සඳහා රජයට සහායක් ලෙසින් තවත් පියවර කිහිපයක්ම ගෙන තිබීමද විශේෂත්වයක් වේ.

මෙම වසංගත තත්ත්වය මැඬලීමට නම් ජනතාව හැකි තරම් එක් රොක් වන ස්ථානය අවම කළ යුතු වන බවට සෞඛ්‍ය අංශ විසින් සිදුකරන ලද දැනුවත් කිරීමට අකුරටම පිළිපදිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වනු ලබන සියළුම දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන තිබේ. එපමණක් නොව ජාතික තලයේ මෙන්ම පළමු පන්තියේ ක්‍රීඩකයින්ගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සේවය කරනු ලබන සියළුම සේවකයින්ගෙන් මෙම උවදුර මැඬලීම වෙනුවෙන් කටයුතු කරනු ලබන කාලය තුළ රජයේ නියෝගවලට අවනත වෙමින් ගෘහස්ථව රැඳී සිටින ලෙස ද දැනුම් දීමට පියවර ගෙන තිබේ.

එම කටයුතු එවන් තත්ත්වයක පවතිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ද ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂාකාරී ලෙසින් නිරන්තර සහයෝගය ලබා දෙන ලෙස ක්‍රීඩා ලෝලීන්ව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. ක්‍රීඩකයින් සිදුකරන ලද එම සියළු දැනුවත් කිරීම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල මාධ්‍යයන් ඔස්සේ ද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

එමෙන්ම පවත්නා වසංගතකාරී තත්ත්වයෙන් ගොඩ ඒම වෙනුවෙන් ජාතික කර්තව්‍යයකට උරදී සිටින රජයේ සෞඛ්‍ය අංශ නිලධාරීන්,  ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ඒ සඳහා දායකත්වය ලබා දෙනු ලබන සියළු පාර්ශ්වයන් පැසසුමට ලක් කිරීමටද මෙය අවස්ථාවක් කර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියේ අපේක්ෂාව බවට පත්ව තිබේ.

මේ අතර මෙම වසංගත තත්ත්වයෙන් ආරක්ෂාකාරීව සිටටීම සඳහා වූ සියළු පූර්වාරක්ෂක පියවර ගනිමින් තමන්ගේ ආරක්ෂාව සහතික කරගන්නා ලෙස ශ්‍රී ලංකාව පුරා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික ක්‍රීඩා සමාජ, දිස්ත්‍රික් සහ පළාත් සංගම්වල පාර්ශ්වකරුවන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර සිටියි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest