slc
logo
Home   |    News
මාර්තු 1, 2020
දෙවැනි වතාවටත් කොදෙව්වන්ට ලකුණු 300 ට වැඩි ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Pallakele

තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විත තරගාවලි අවසාන කර ගැනීම වෙනුවෙන් ඉතිරි අවසන් තරග අවස්ථාව බවට පත්වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු 300 කට එහා ඉලක්කයක් ලබා දීමට අද (මාර්තු 01 දා) සමත්වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඉසුරු උදානව අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට දවා ගැනීමට ජේසන් හෝල්ඩර් සමත්වද්දී ලකුණු 307 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.  ආරම්භයේ සිට අවසානය දක්වාම වගකීම කුමක්ද යන්න නිසියාකාරව වටහා ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මැද පෙළ ශක්තිමත් කළ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා ලකුණු 300 කට එහා ඉලක්කයකට මූලික පදනම එක් කළහ.

පන්දු 47 කදී ලකුණු 51 ක් රැස් කරමින් සිය 5 වැනි අර්ධ ශතකය රැස් කරගත් ධනංජයත් පන්දු 31 කදී වටිනා ලකුණු 38 කින් ඉනිම පෝෂණය කළ තිසර පෙරේරා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් වනිඳු හසරංගගේ වේගවත් පිතිහරඹයත් නිසා අවසන් පන්දුවාර 10 ඇතුළත ලකුණු 88 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියැව ලැබිණ.

ශ්‍රී ලංකා ඉනිම අවසන්වීමට පන්දු 21 කට පෙර පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ජේසන් හෝල්ඩර් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු 2 ට 6 සහ 4 පහර බැගින් එල්ල කරමින් පන්දු 09 කදී ලකුණු 16 ක් රැස් කළේය. වනිඳු විසින් එල්ල කරන ලද එම හයේ පහර ඉනිමේ එල්ල වුණු වර්ණවත්ම පහර බවට අවිවාදිතය. පිට ඉන්නට ඈතින් ඇදී ආ පන්දුවේ මාවත වඩා එහාට ගොස් එල්ල කරන ලද එම පහර ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් ඇදී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 300 සීමාවද සටහන් කරමිනි.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 60 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ. පළමු පන්දු වාරය යැවූ ෂෙල්ඩන් කොට්‍රල් පළමු පන්දුවාරය නිලකුණු පන්දු වාරයක් බවට පත් කිරීමට සමත් වුවත් වැඩි කලබලයක් නොපෙන්වූ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දු එන තෙක් ඉවසිලිවන්ත වූහ. දුර්වල පන්දු ලද සැනින් පහර පිට පහර එල්ල කළ දකුණත් වමත් පිතිකරු සුසංයෝගය පළමු පන්දුවාර 10 අවසන් වන විට හතරේ පහර 9 කින් ශ්‍රී ලංකා ඉනිම සරසාලූහ. ඉන් පහර 5 ක් අවිෂ්කගේ පිත්තෙන් වාර්තාවූ ඒවාය.

මුලු ලකුණු සංඛ්‍යාව 88 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුවත් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යුගල ඉනිමේ මැද පන්දුවාර වල වගකීම භාර ගත්හ. ඔවුන් පන්දුවට පහර දෙද්දී කොදෙව් පන්දු යවන්නන් ඉතා හොඳන් පන්දු යැවූ බැවින් ලකුණු රැස් කිරීම තරමක් මන්ද ගාමී විය. එහෙත් ඉතා පරෙස්සමින් ලකුණු පන්දුවට පහර දුන් කුසල්ලා යුගලය තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක් කළහ.

පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 07 ක් ලබා සිටියදී අකුණු සැරක වේගයෙන් යුතුව කුසල් පෙරේරා එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිටි රොස්ටන් චේස් අතින් ගිලිහී යෑමේ වාසියෙන් සිය ඉනිම ලකුණු 44 ක් බවට පරිවර්තනය කරගත්තේය. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් අද තරගයේද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 48 කින් සමන්විත වූ කුසල් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් විණ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee