slc
logo
Home   |    News
මැයි 11, 2020
“දක්ෂතාවලට කොරෝනා බාධාවක් නොවෙයි” වෘත්තීය තලයට දිමුත්ගෙන් වැඩි බරක්

Sri Lanka Cricket

ලොව පුරා පැතිරෙමින් තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස 2 කට ආසන්න කාලයක් පුහුණුවීම්වල නිරත වීමේ හැකියාව නොමැති වුවත් යළිත් සිය සුපුරුදු දක්ෂතාවයන් වලට අවතීර්ණවීමේ හැකියාව වෘත්තීය ක්‍රීඩකයින්ට තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සමඟ සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ටෙස්ට් සහ එක්දින දෙඅංශයේ නායකයා එවැනි තත්ත්වයකට මුහුණදීම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයකුට ජානගතව තිබිය යුතු බවද සඳහන් කර සිටියේය.

“ක්‍රීඩාවේ නියැළෙද්දී ක්‍රීඩකයකුට හොඳ කාල වලදී වගේම නරක කාලවලදීත් කණ්ඩායමේ රැඳී සිටීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් කොවිඩ් 19 වැනි වසංගත වලදී ආකාර ගණනාවකින් ක්‍රීඩාව වෙනස් කරනවා කියන තැනයි මම ඉන්නේ. නමුත් ක්‍රීඩාවෙන් ඉහළට පැමිණීමේදී වෘත්තීයභාවය කියන්නේ ඔහුගේ ජානවලින් පැමිණිය යුතු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදි” යැයි කරුණාරත්න පවසයි.

රෝගී වසංගතය පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය විවෘත වන දිනයක් තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් එළැඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල බලධාරීහු බලාපොරොත්තුවෙන් පසුවෙති. කෙසේ වෙතත් ඉදිරි ක්‍රිකට් කාල සටහන සඳහා සූදානම් වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු කළමනාකාරීත්වයද පුහුණුවීම් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටිති.

නියැළෙන කාර්යයෙහි සිය උපරිමය ලබා දීමට උත්සාහ දරන්නකු ලෙස පුහුණුකරු මිකී ආතර් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන පුහුණුකරුවෙකි. එහෙත් අදාළ සාකච්ඡාවේදී මිකී ආතර් පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායකයා මිකී ආතර් යනු එතරම්ම කලබලයක් නැති පුද්ගලයෙක් බව සඳහන් කර සිටියි. “ඔව්. මිකී කියන්නේ එතරම් කලබලයක් නැති පුද්ගලයෙක්”යැයි පවසන දිමුත්, “ඔහු ඔහුටම ආවේණික ක්‍රමයකට කණ්ඩායමකට වඩාත්ම අවශ්‍ය වන විශ්වාසය ක්‍රීඩකයින් තුළ ගොඩනැංවීමට සමත්වෙලා තියෙන කෙනෙක්. ඒ වගේම ඔහුගේ ජාත්‍යන්තර මට්ටමේ සැලසුම් සහ ක්‍රීඩකයින්ට සිදුකිරීමට නියමිත භූමිකාව කුමක්ද යන්න පිළිබඳව ඔහු නිතරම අවධානය යොමු කරන කෙනෙකි. කණ්ඩායමේ ක්‍රීඩකයින් වුණත් ක්‍රීඩා කරද්දී ඉතා උද්යෝගයකින් කටයුතු කරනවා”යි සඳහන් කර සිටියි.

“ඇත්තටම මේ දේවල් නිසා නායකයකු වශයෙන් මගේ කාර්යයන් සියල්ල පහසු කරනවා. කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ අපි ලද ජයග්‍රහණය ඊට හොඳම උදාහරණයක්”යිද දිමුත් අවධාරණය කරයි. 

දිනේෂ් චන්දිමාල්ගෙන් පසු ශ්‍රී ලංකාවේ 17 වැනි ටෙස්ට් නායකයා බවට පත් වුණු දිමුත් නායකත්වය දරන ලද පළමු තරගාවලියේදීම දකුණු අප්‍රිකාව ඔවුන්ගේ නිජබිමේදී 2-0 ක් ලෙස පරාජය කිරීමට සමත්විය. මෙම තරගාවලි ජය සටහන් වූයේ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන්ව ඔවුන්ගේ මව්බිමේදී පරාජය කරන ලද පළමු අවස්ථාව ලෙසිනි. මෙය දිමුත්ගේ ක්‍රිකට් දිවියේ තවත් එක් සංදිස්ඨානයක් වූ බව මෙම සාකච්ඡාවේදී සඳහන් කර සිටියේය.

“ඇත්තටම කාටද අමතක වෙන්නේ තමන් ටෙස්ට් වරම් දිනා ගත්ත දවස සහ පළවැනි ශතකය ලබා ගත් දිනය. ඒ වගේම තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය පරාජය කරලා ලබපු ජයග්‍රහණය. ඒ වගේම මගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව ඔවුන්ගේ රටේදීම පරාජයට පත් කිරීමට හැකි වීම මගේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය අවස්ථාවක් විදියටයි මම සලකන්නේ”යි දිමුත් පවසයි. 

නායකයකු ලෙස ඇති සැලසුම් පිළිබඳව අදහස් දැක්වීමේදී, “ශ්‍රේණිගත කිරීම්. ඇත්තටම නායකයකු විදියටත් ක්‍රීඩකයකු විදියටත් මගේ තියෙන එකම වචනය. මම හිතන්නේ ශ්‍රී ලංකාව සියළුම අංශයේ ශ්‍රේණිගත කිරීම්වලදී පළමු සිව්දෙනා අතරට පැමිණිය යුතුයි කියලා. ඒ වගේම ක්‍රීඩකයෙක් තමන්ගේ දවස හොඳින් ක්‍රීඩා කරනවා නම් ලෝක කුසලානය දිනන්න පුලුවන් කියන විශ්වාසය මට තියෙනවා”යි පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ටෙස්ට් පිල එම පස්වැනි ස්ථානයේත්, එක්දින අංශයේ 8 වැනි ස්ථානයේත් පසුවෙති. ලසිත් මාලිංග විසින් නායකත්වය දරනු ලබන විස්සයි-20 තරග අංශයේ ශ්‍රී ලංකාව 7වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

නවසීලන්තයට එරෙහිව 2012 වසරේදී ටෙස්ට් වරම් දිනා ගන්නා දිමුත් 2015 වසර වන විට ටෙස්ට් පිලේ ස්ථාවර ආරම්භක පිතිකරුවාගේ ස්ථානය තම නම වෙනුවෙන් වෙන්කර ගන්නේය. සිය මංගල ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියද දෙවැනි ඉනිමේදී ලකුණු 60 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල කඩුලු 10 ක ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට දායකත්වය ලබා දෙන්නේය.

පළමු ඉනිමට වඩා පන්දුවට පහර දීමට අසීරු යැයි සැලකෙන දෙවැනි ඉනිමේදී පිතිකරුවකු ලෙස වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට දිමුත් සමත්වීම ඔහු තුළ ඇති දක්ෂාතාවයේ විශේෂත්වය වේ. මෙය ඔහුට කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීම සඳහා වූ ප්‍රධානම මං පෙත් විවර කරන සිදුවීමක් බවට පත්විය. මෙම දක්ෂතාවය හේතුවෙන් බහුතරයක් විස්තර විචාරකයින් දිමුත්ව හඳුන්වනු ලබන්නේ දෙවැනි ඉනිමේ විශේෂඥ පිතිකරුවා ලෙසිනි. හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන්ගෙන් පසු එක් වසරක වැඩිම ශතක සංඛ්‍යාවක් ලද ශ්‍රී ලංකා පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වන්නේ 2017 වසරේදී ශතක 3 ක් වාර්තා කර ගනිමිනි. ඔහුට ඉදිරියෙන් සිටින ඩිල්ෂාන් එක් වසරකදී ශතක 4 ක් ලබාගැනීමට සමත්ව සිටියි. 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar