විදෙස් ක්‍රීඩකයින් හැරුණු කොට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීමේදී (Player Draft) දේශීය තරග පිටියේ තරග වදිනු ලබන ක්‍රීඩකයින් 258 දෙනෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.
තරගාවලියට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 5 හිමිකරුවන් හෝ එම හිමිකාරීත්වය විසින් නම් කරන ලද පුහුණුකරුවන් සහ කළමනාකරුවන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ක්‍රීඩක තේරීමේදී, කාණ්ඩ 4 ක් යටතේ දේශීය ක්‍රීඩකයින් ඉදිරිපත් කර තිබුණි. එහිදී වර්ගීකරණය කරන ලද සියලුම ක්‍රීඩකයින් අදාළ තේරීමේදී ප්‍රදර්ශනය කිරීමට තරගාවලි සංවිධායකයින් කටයුතු කරන ලද අතර ඒ හරහා සෑම ක්‍රීඩකයකුටම තෝරා ගැනීම වෙනුවෙන් සමාන අවස්ථාවක් හිමිවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරන ලද දේශීය සංඛේතාත්මක හෙවත්රී සුවිශේෂී ක්‍රීඩකයින් හැරුණු විට කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා වූ සියළුම අයිතීන් ඒ ඒ කණ්ඩායම්වල හිමිකාරීත්වය සතු වේ.
ඒ අනුව දේශීය ක්‍රීඩකයින් පහත සඳහන් නිර්ණායක යටතේ වර්ගීකරණයට ලක් කොට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
‘Gold Local’ (ගෝල්ඩ් ලෝකල්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ප්‍රධානතම ගිවිසුමට ඇතුළත්ව සිටින ජාතික තලයේ සහ දේශීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ සමස්ථ ක්‍රීඩකයින් 21 දෙනෙකු මෙම කාණ්ඩයට ඇතුළත් විය.
‘Classic Local’ (ක්ලැසික් ලෝකල්) – මෙම කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 36 දෙනෙකු ක්‍රීඩක කණ්ඩායම් තේරීම සඳහා රැගෙන ගිය අතර එයටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටින ජාතික සහ දේශීය ක්‍රීඩකයින් ඇතුළත්ව සිටියහ.
‘Emerging Local’ (එමර්ජින් ලෝකල්) – නැගී එන දේශීය කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 109 දෙනෙකු අදාළ තෝරා ගැනීම සඳහා යොමු කර තිබූ අතර දේශීය ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු සිදුකරනු ලබන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් විසින් එම ක්‍රීඩකයින් අදාළ ක්‍රීඩක තෝරා ගැනීමට ඇතුළත් කරන ලදී. මෙම කාණ්ඩය යටතේ සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීමට අනිවාර්යය විය. ‘Supplementary Local’ (සප්ලිමෙන්ටරි ලෝකල්) – ‘පරිපූරක දේශීය’ කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් අනූ දෙදෙනෙකු (92) ක්‍රීඩක තෝරා ගැනීමට ඇතුළත් කර තිබූ අතර එම ක්‍රීඩකයින් දේශීය ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයින් සහ නැගී එන ක්‍රීඩකයින්ගෙන් සමන්විත විය. මෙම කාණ්ඩය අයත් සියළුම ක්‍රීඩකයින්ද තෝරා පත් කරන ලද්දේ ක්‍රීඩා සමාජ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේය.