slc
Home   |    News
දෙසැම්බර් 27, 2020
ආබාධිත ධනංජයට තරගාවලියම අහිමි වෙයි

sinhala editor

දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හි පැවැත්වෙන පළවැනි ටෙස්ට් තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී කලවයේ ආබාධයකට මුහුණ දුන් මැද පෙළ පිතිකරු ධනංජයද සිල්වාට යළිත් මෙම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.

තරගයේ පළමු දිනයේදී ලකුණු 79 ක් ලබා සිටියදී පාදයේ ආබාධයකට ගොදුරු වුණු ධනංජය පන්දුවට පහර දීම පසෙක තබා පිටියෙන් ඉවත්ව ගිය අතර පසුව පරීක්ෂණයකට මුහුණ දුන්නේය. එම්. ආර්. අයි. පරීක්ෂණ වාර්තාව අනුව ඔහුගේ කලවා ප්‍රදේශය දෙවැනි මට්ටමේ මස් පිඬු ඉරී යෑමකට ලක්ව තිබෙන බවට හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය මත ඔහුට සති 2 ක පමණ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටිය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.

ලකුණු 54 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 185 දක්වා ඉහළ දමමින් සිටියදී ලුතෝ සිපම්ලාගේ පන්දුවකට කෙටි ලකුණක් කරා යෑමේදී මෙම ආබාධයට ගොදුරු විය. පිටිය තුළ දැඩි වේදනාවකින් පෙළුණු ධනංජය පසුව ක්‍රීඩකයින්ගේ සහායෙන් පිටියෙන් පිටතට ගියේය.

පිතිකරුවකුට අමතරව දඟ පන්දු යවන්නකු ලෙසින්ද කටයුතු කරන ධනංජය ද සිල්වාගේ සේවය කණ්ඩායමට අහිමිව යෑම දරාගත නොහැකි පාඩුවක් වනු ඇත. මෙම තත්ත්වය මත කණ්ඩායමට එක්ව සිටින අනෙක් එකම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගට පන්දු යැවීමේදී වැඩි වගකීමක් පැවැරී තිබේ.

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest