By Chamila Karawita
කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දින 4 කින් දකුණු අප්‍රිකානු පිල සමඟ පළමු ටෙස්ට් තරගයට සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන මාස 10 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි.
අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඉකුත් ජනවාරි මස පැවැති තරගාවලියේදීය. තරග 2 කින් සමන්විත එම තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවර සමත් විය.
ලොව වේගවත්ම තණතීරු සහිත රටක් ලෙසින් සැලකෙන දකුණු අප්‍රිකාවේ තරග වැදීම සෑම කණ්ඩායමකට අභියෝගයක් නමුත් අවසන් වරට දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රාහී මානසිකත්වයත් සමඟ ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ වද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට සහභාගිවී සිටින ටෙස්ට් තරග 9 න් එක් ජයග්‍රහණයක් පමණක් වාර්තා කර සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ලද පරාජයන් 2 ද සමඟිනි.
හිටපු නායක ෆෆ් ඩුප්ලෙසිස් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ කණ්ඩායමට නිත්‍ය නායකයකු නොමැති වීම, කොවිඩ් ආසාධනය වීම හරහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අපහසුව මෙන්ම සිය ප්‍රධානතම වේග පන්දු යවන්නා වන කගිසෝ රබඩා සේවය කණ්ඩායමට අහිමිව තිබීම, දකුණු අප්‍රිකානු පිල තුළ කිසියම් ව්‍යාකූලත්වයක් ඇති කරවීමට හේතු ලෙසින් සැලකිය හැක.
මේ සියළු කාරණා සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වන මිකී ආතර් මහතා දැනුවත්ව සිටියද, ප්‍රතිවාදීන් කිසිසේත් අඩු තක්සේරුවෙන් සැලකීමට ඔහුගේ සූදානමක් නැත. අන්තර්ජාලය හරහා සිදුකරන ලද අදහස් දැක්වීමකදී මිකී ආතර් මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේය.
“දකුණු අප්‍රිකාව ඉතා හොඳ කණ්ඩායමක්. ඔවුන් ඉතා හොඳින් මෙහෙයවනු ඇත. ඔවුන් ඉතා හොඳින් පුහුණුවීම් කරනවා. ඔවුන් ඉතා හොඳින් සූදානම් වෙනවා” යි මිකී ආතර් පවසයි.
දකුණු අප්‍රිකානු ජාතිකයකු වන මිකී ආතර් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ හෙයින්, ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව තරගයකට යෑමේදී ඔවුන් භාවිතා කරනු උපක්‍රම සම්බන්ධව ඔහු තුළ තිබීම ශ්‍රී ලංකාවට හිමි අතිරේක වාසියක් ලෙස සඳහන් කළ හැක. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී වෙනනම ‘උගුලක්’ ඇටවීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවනු ඇත.
“ඔවුන් කියන්නේ කිසි විටෙකත් අපිව අත් නොහරින බවයි. නමුත් මමත් මෙහි තණතීරුවල තත්ත්වයන් ගැන හොඳින් දන්නවා. මෙය සාමාන්‍යයෙන් මන්දගාමීව ආරම්භ වන අතර තෙවැනි සහ සිව්වැනි ඉනිම වලදී පන්දුව වේගවත් සහ ඉපිලීමකින් යුක්ත වෙනවා. තණතීරුවේ මතු පිට දෙස බැලීමේදී කාසියේ වාසිය දිනා ගන්නේ නම් පන්දුවට පහර දීම සම්බන්ධව නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාව තියෙනවා”යි තමන් සතු දැනුම සම්බන්ධව ආතර් සත්කාරකයින් අනතුරු හැඟවීය.
සිය අදහස් දැක්වීමේදී තම කණ්ඩායමද ප්‍රතිවාදීන්ට එරෙහි සටනට සූදානමින් සිටින බව සඳහන් කර සිටි ප්‍රධාන පුහුණුකරු පැයට කිලෝ මිටර් 140 කට වඩා වේගයෙන් පන්දු යැවිය හැකි තුරුම්පු තමන් සතුව වන බව සඳහන් කරමින් ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීරව ඉස්මතු කර පෙන්වීය. කාලයක් තිස්සේම ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කරනු ලබන සුරංග ලක්මාල් අත්දැකීම් සහ දක්ෂතාවලින් සමන්විත ප්‍රධානම පන්දු යවන්නා බවද හේ සඳහන් කර සිටියේය. සමස්ථ සංචිතය වේග පන්දු යවන්නන් 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර විශ්ව ප්‍රනාන්දුද විකල්පයන් සොයා යෑමේදී හොඳ උදාහරණ බවද ආතර් සිය අදහස් දැක්වීමේදී පවසා සිටියේය.
“අවසන් වර ශ්‍රී ලංකාව තරග වැදි තණතීරුවලට වඩා මේ වතාවේ ලැබිලා තියෙන තණතීරු තනිකර වෙනස්. නමුත් මම අද අද උදේ මම සෙන්චූරියන් තණතීරුව දැක්ක හැටියට නම් ඒක ගොඩක් හොඳ තණතීරුවක් වෙයි කියලා අපේක්ෂා කරන්න පුලුවන්” යි පවසන ආතර්, “සෑම අංශයක්ම ආවරණය වෙලා තියෙන්නේ. අපි කණ්ඩායමේ ක්‍රීඩකයින් 21 දෙනෙක් ඉන්නවා. ඒ අතර අපි ගාව හොඳ වේග පන්දු යවන්නන්, ඒ වගේම දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඒ වගේම මට විශ්වාසයක් තියෙනවා අපේ උඩ පිතිකරුවන් 6 දෙනා මේ තත්ත්වයන් හොඳින් හසුරුව ගනියි කියලා”යි වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මිකී ආතර් පත්වීමෙන් පසු ක්‍රීඩකයකු අසාර්ථක වුණු පළියට තරගාවලියෙන් තරගාවලියට ක්‍රීඩකයින් මාරු කිරීමේ ක්‍රමවේදය නතර කරන ලදී. දීර්ඝ කාලයක් කණ්ඩායම තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා දෙමින් කණ්ඩායම තුළ විශ්වාසයක් ගොඩ නඟා ගැනීම සඳහා ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීමට මිකී ආතර් කටයුතු කළේය. මේ හරහා ක්‍රීඩකයින් කණ්ඩායම පරිණතත්වයකට පැමිණීමට අවකාශ උදාවී තිබේ.
“හැම තරගාවලියක්ම අපිට හරි වැදගත්. අපි කණ්ඩායමක් විදියට කිසියම් දැක්මක නියැළිලා ඉන්නේ. ඒක නිසා අපිට ඕනේ අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා තව තවත් දියුණු කරගන්න ගමන් කණ්ඩායමක් විදියට ස්ථාවර වෙන්න. ඔබ ක්‍රීඩා පිටියේ තරග කීපයක් ජය ගැනීමට අවස්ථාව ලැබුණොත් විශ්වාස කියන එක මොන දේටත් වඩා බලවත් කියන එක මම දන්නවා. අපිට ඒ විශ්වාසයත් එක්ක ඊළඟට තියෙන එංගලන්ත තරගාවලියට යන්න පුලුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක් වෙයි. ඒ නිසා මේ තරගාවලිය අපිට හරිම වැදගත්. අවසන් වතාවේදී අපි ඔවුන්ව ඔවුන්ගේ රටේම පරාජය කළා” යි තම කණ්ඩායම සතු විශ්වාසය පිළිබඳව ආතර් අදහස් දැක්වීය.
“අපි අපේ පුහුණුවීම් ආරම්භ කළා. විශේෂයෙන්ම පුහුණු දැල් වල භාවිතයෙන්. කණ්ඩායමකට ක්‍රීඩකයින් 7 දෙනෙක් විදියට බෙදිලා තමයි අපේ පුහුණුවීම් සිදුකළේ. ඒ කණ්ඩායම් සමාන විදියට බෙදලා කළේ. අපි ගොඩක් උත්සාහ කරනවා මෙහි තත්ත්වයන් වලට ඉක්මනින් අනුගත වෙන්න. ඒ සඳහා අපි ලොකු කැපවීමකින් පුහුණුවීම් වල නියැළෙනවා. එල්.පී.එල්. එකට කළින් අපි දවස් 10 ක් හොඳ පුහුණු සැසියක් ලබාගත්තා. මේ තරගාවලියට කළින් විස්සයි-20 තරගාවලියකට ක්‍රීඩා කළත් එල්.පී.එල්. වලදී වුණු හොඳම දේ තමයි කාලෙකට පස්සේ ක්‍රීඩකයින්ට තරගකාරී තරගාවලියකට ක්‍රීඩා කරන්න අවස්ථාව උදාවීම” යි ආතර් අදහස් දක්වයි.
දකුණු අප්‍රිකාව ඔවුන්ගේ නිජ බිමේදී පරාජයට පත් කළ පළමු ආසියානු රට බවට පත් වුණු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහඟු කාර්යයක් ඉටු කළ ඕෂධ ප්‍රනාන්දුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන බව පවසන ආතර්, “ඕෂධ විතරක් නොවෙයි. අපිට ඇන්ජලෝ (මැතිව්ස්) අහිමි වෙලා තියෙනවා. එහෙම වුණාට කණ්ඩායමේ ඉදිරි 6 දෙනා ගැන මට අදහසක් තියෙනවා. නමුත් ආක්රමණකාරී උපායකට යනවා නම් ඒ සදහා අපිට සම්පත් තියෙනවා. විශේෂයෙන් අපිට අපේ සංයුතිය වෙනස් කරන්න පුලුවන්. එතැනදි පන්දු යවන්නන් 5 දෙනෙක් සමඟ කඩුලු රකින්නා එක්ක පිතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩා කරවන්නත් පුලුවන්. තවත් විදියක් තමයි වේග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයකු සමඟින් දඟ පන්දු යවන්නකුද කැටුව සංයුතිය සැකසීම. කොහොම වුණත් අපිට දව දින කීපයක් තියෙනවා සංයුතිය කොහොමද කියන එක ගැන බලන්න” යැයි ආතර් පවසයි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල යෑමට තීරණය කිරීමේදී ඒ සඳහා බලපෑ කාරණා අතර ප්‍රධානම තැනක් ගනු ලැබුවේ ක්‍රීඩකයින්ගේ සෞඛ්යාරක්ෂිත භාවය පිළිබඳවය. මේ සඳහා වැඩි අවධානයක් යොමු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෛද්‍ය දමින්දා අත්තනායක මහත්මිය සහ පුහුණුකරු මිකී ආතර්ව කළින්ම පිටත් කර හැරීමට පියවර ගනු ලැබීය.
“ඇත්තම කියනවා නම් මෙහෙ ජෛව පරිසරය ඉතාම හොඳයි. මාත් වෛද්‍යවරියත් ඒ ගැන බලන්න කළින්ම ආවා. ඇත්තටම ඔවුන් දීලා තියෙන ක්‍රමවේදය ඉතා හොඳයි. කොහොම වුණත් මේ වසංගත තත්ත්වයත් එක්ක ඉදිරියට යනවා නම් මේ තමා ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම සාමාන්‍ය තත්ත්වය. ඔවුන් අවශ්‍ය ආරක්ෂාව ලබා දීලා අපිව හොඳින් බලා ගන්නවා. දවස් 3 කට වතාවක් පරීක්ෂණවලට ලක් කරනවා”යි දකුණු අප්‍රිකාවේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත භාවයන් පිළිබඳව ආතර් සඳහන් කර සිටියේය.