slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2020
හැමෝම කතා කරන ධනංජය ලක්ෂාන් ‘ගාල්ල’ දිනෙව්ව හැටි…

sinhala editor

Chamila Karawita

තරගාවලිය ආරම්භයේ ඔහු කණ්ඩායමට වතුර ටික හෝ හිස් වැසුම සපයන සාමාජිකයන්ගේ ලැයිස්තුවේවත් නොවීය. කණ්ඩායමේ සිටි නායකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨයින් දිගින් දිගටම අසාර්ථක භාවයට පත්වීම නිසා තරග බිමට පිවිසීම සඳහා ඔහුට වාසනාව උදාවිය. ජාත්‍යන්තර තරගයක අත්දැකීමක් නොමැති වුවත් කුඩා කල සිටම සිත තුළ වූ දැඩි අධිෂ්ඨානශීලී ශක්තිය එලෙසින්ම පවත්වාගෙන යෑමට සමත්වීම මත අත්දැකීම් ඇති සාමාජිකයින් සමඟ හරි හරියට තරග කරමින් කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය උපරිම දේ දීමට ඔහු සමත්විය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට කෝඩු කාරයකු වුවද ඔහු සතු නිර්භීතත්ත්වය නිසාම නොපෙනෙන මානයක තිබූ අවසන් මහ තරග වරම පවා තම කණ්ඩායමට උදාකර දීමට මේ යෞවනයාට සමත්වූවේය. ඔහු නමින් ධනංජය ලක්ෂාන්ය.

තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන මෙම තරුණ ක්‍රීඩකයා, මුලු මහත් ලෝකයම කතා කරන මාර්තෘකාවක් බවට පත් වන්නේ ගෝල් ග්ලැඩියේටර් පිල අවසන් මහ තරගය දක්වා රැගෙන යෑමට පිටිය තුළ පෑ වික්‍රමය නිසාය. ගාල්ල රිච්මන්ඩ් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන ධනංජය ලක්ෂාන්ගේ දක්ෂතා නොවන්නට ලංකා ප්‍රිමියර් ලග් ක්‍රිකට් තරගාවලියේ ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ කලමුබ් කිංග්ස් කණ්ඩායමයි. තම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් සියල්ල තරග නරඹන්නන් බවට පත් වද්දී අවසන් පිතිකරුවන් සමඟ එක්ව ධනංජය දැක්වූ සුපිරි පිති හරඹය තරගය නැරඹූවන්ගේ සිත් සතන් තුළින් කලකට ඈත්ව නොයයි.

ධනංජයගේ පිතිහරඹය හේතුවෙන් තරගාවලියෙන් ඉවතට විසිවූයේ ලොව අංක 1 ලීග් තරගාවලිවල ක්‍රීඩා කළ ‘ලීග් කප්පිත්තන්’ගෙන් සමන්විත කණ්ඩායමකි. අවසන් පන්දුවාරයේදී ගෝල් ග්ලැඩියේටර් ජයග්‍රහණය සඳහා ලකුණු 15 ක් ලබාගගත යුතුවිය. පන්දුවාරය සඳහා සූදානම්ව සිටියේ ඉහතින් සඳහන් කළ ‘ ලීග් කප්පිත්තන් අතර මෙරට කප්පිතා වන ඉසුරු උදානය.

‘කෝඩුකාරයකු’ නිසාදෝ පීඩනය යන්න කුමක්දැයි තවමත් හඳුනාගෙන නැති ලක්ෂාන් එම අභීයෝගයට ප්‍රති උත්තර සපයන ලද්දේ ලකුණු 2-2-6 සහ 1 වශයෙන් ලබාගනිමිනි. අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් සිය සහායකයා වුණු අනෙක් ලක්ෂාන් වන සඳකැන්ට ඉලක්කය පහසුකර දුන්නේ පන්දු 2 කදී ලකුණු 5 ක් ලෙසිනි. ජයග්‍රාහී ලකුණු 4 සඳකැන්ගේ පිත්තෙන් වාර්තා වද්දී පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 23 කදී ලකුණු 31 ක් ධනංජය ලබා සිටියේ පන්දු යවමින් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්ව සිටින අතරේදීය.

“බැට් කරන්න පුලුවන් ඔක්කොම අය අවුට් වෙලා තිබුණ නිසා අන්තිමටම පන්දුවට පහර දෙන්න ඉතුරු වෙලා හිටියේ මම විතරයි. ඇත්තටම මට ඕන වුණේ අන්තිම වෙනකම්ම තරගය අරගෙන යන්න. ඒ වෙලාවේදී අවධානමක් අරගෙන තරගය ඉවර කරන්න තමයි මම උත්සාහ කළේ” යි ගාල්ලේ ඉපිද ගාලු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමෙන් අනතුරුව ධනංජය ලක්ෂාන් පැවැසීය.

“මං හිතන්නේ ඉසුරු අයියා (උදාන) මේ වගේ සිටුවේෂන් වලදි ගොඩක් බෝල් කරලා තියෙනවා.  ඊට කළින් තික්ෂිලගේ ඕවරයේදී මම අමීර්ටත් කිව්වේ (මොහොමඩ් අමීර්) කොහොම හරි පාරක් ගහන්න කියලා.  අවාසනාවකට ඒ වෙලාවේ අමීර්ට බෝල 5 ක් මිස් වෙනවා. එහෙම වුණත් මම මගේ උත්සාහ අත හැරියේ නෑ” යි එම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද ධනංජය ලක්ෂාන් සඳහන් කර සිටියේය.

“වාසනාවකට දුන්න උඩ පන්දුව අත ඇරගත්තා. ඊට ප්සසේ කොහොම හරි අන්තිම බෝල් 2 ට ලකුණු 4 ක් ගහන ගාණට ගෙනාවා. එතැනදි මම (ලක්ෂාන්) සඳකැන් අයියට කිව්වේ කොහොම හරි අන්තිම බෝලෙට ගහන්න මට චාන්ස් එක අරන්දෙන්න, මේක මම කොහොම හරි ඉවර කරන්නම් කියලා. වාසනාවකට සඳකැන් අයියා තරගය දිනෙව්වා” යි අවසන් පන්දුවාරයේදී පිටිය තුළ වූ සැලසුම පිළිබඳව ධනංජය ලක්ෂාන් කරුණු ගෙන හැර පෑවේය.

තරගාවලිය සඳහා නම් කරන ලද අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් අතරින් පළමු වරට තරග බිමට පිවිසීමට වාසනාව ලද්දේ ලක්ෂාන් ධනංජයයි. ඒ කලම්බු කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති සිව්වැනි තරගයටය. පන්දුවාර 5 කට සීමා වුණු එම තරගයේදී පන්දුවාරයක් යැවීමට හෝ පන්දුවකට පහර දීමට ලක්ෂාන්ට අවස්ථාවක් නොවීය.

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා සොයා යෑමේ මූලික අරමුණ ඇතිව සංවිධානය කරන ලද අභිනව එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩකයින් අතර කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත්වීමට ධනංජය ලක්ෂාන් සමත්ව සිටියි.

“මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන අපේ පුහුණුකරුට(මොයින් ඛාන්). මොකද අතිරේක ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමට ඇවිල්ලා ඉන්නකොට මාව කණ්ඩායමට ගත්තට. ඒ වගේම අතිරේක ක්‍රීඩකයෙක් වෙලා ඉඳලා තරගයක් දිනවන්න පුලුවන් තරමට දක්ෂතාවය දක්වන්නට හැකිවීම ගැන මම සතුටු වෙනවා”.

“මම හැම තිස්සේම බැලුවේ තරගය දිනවන්න. මාව කණ්ඩායමට ගන්නකොට තරග 3 ක් 4 ක් පැරදිලා තිබ්බේ.  ඇත්තටම මට ඕන වුණේ තරගය දිනවන්න. ඒ දේ සාර්ථක වුණා” යි පවසන තුන් ඉරියව් ක්‍රීඩකයා, එල්.පී.එල්. තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්තූතිය පුද කිරීමටද අමතක නොකළේය.

“මේ වගේ තරගාවලියක් ලංකාවේ සංවිධානය කෙරුව එක ගැන සතුටු වෙනවා. මොකද මම වගේ තරුණ ක්‍රීඩකයින්ට මේ වගේ තරගාවලියක් තියෙන එකෙන් තමයි ගොඩක් දේවවල් ඉගෙන ගන්න පුලුවන් වෙන්නේ. එයි ස්තූතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතුයි” යැයි ලක්ෂාන් පවසයි.

පිතිකරුවකුට අමතරව පන්දු යවන්නකු ලෙසින්ද දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ධනංජය ලක්ෂාන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි වන්නේ වැඩිම කඩුලු ලාභියා වන ලක්ෂාන් සඳකැන්ට පමණි. ධනංජය සහ මොහොමඩ් අමීර් කඩුලු 10 බැගින් බිඳ හෙළමින් එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර අමීර්ට වඩා කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය ධනංජයගේ අඩුවෙන් සටහන් වීමද කැපී පෙනෙයි.

“අපේ කණ්ඩායම හරිම නිදහස්. මොකද ගොඩක්ම ඉන්නේ අලුත් ක්‍රීඩකයින්. අපි තරගයකට ආවම ඔක්කොම එකා වගේ තමයි ඉන්නේ. ඒක නිසා පීඩනය කියන එක මට දැනුනෙම නෑ. මම ගොඩක් වෙලාවට ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන අයියත් එක්ක කතා කරනවා. එයාලා මට ලොකු සපෝර්ට් එකක් දෙනවා. ඒ වගේමයි මොහොමඩ් අමීර්. එයා හැම තිස්සේම මම බෝල් කරන්න ආවම එයාගේ තියෙන අත්දැකීම් වලින් මට කියලා දෙනවා. මේ ඔක්කොගෙම සහය මට ලැබුණු නිසා තමයි මෙතරම් ඉදිරියට එන්න හම්බ වුණේ”යි නවකයකු ලෙසින් පීඩනය කෙසේ හසුරාගත්තේද යන්න පිළිබඳව කරන ලද විමසීමේද ධනංජය ලක්ෂාන් පිළිතුරු ලබා දුන්නේය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest